slc
Home   |    News
දෙසැම්බර් 16, 2019
ලද අවස්ථාවන් උපරිම ප්‍රයෝජන ගත් ලෝක වාර්තා ලාභියා – අබීඩ් අලී

Sri Lanka Cricket

Chamila Karawita reporting from Rawalpindi 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩකයින් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කණ්ඩායමේ ප්‍රධානම ක්‍රීඩකයින් විවේක ගැන්වීමට පාකිස්තානු තේරීම් වල තීරණය විය. එම තීරණය මත දේශීය තරග මාලාවේ දක්ෂතා දක්වන ලද පිතිකරුවකු වූ අබීඩ් අලීටද ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති තරගාවලියේදී පාකිස්තානු කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උදා විය. සංචිතයට පැමිණීමට අවස්ථාව උදා වුණද අවසන් 11 දෙනාට ක්‍රීඩා  කිරීම වෙනුවෙන් අලීට පැවැතියේ අවිනිශ්චිත තත්ත්වයති. එබැවින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වෙනුවට කණ්ඩායමට යෙදවීමේදී  අබීඩ් අලීගේ නම ඉදිරියෙන් තමන්ටම කියා ලෝක වාර්තාවක් සටහන් කර ගනු ඇතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී පන්දු 119 කදී ලකුණු 112 ක් ලබා ගැනීමට අලී සමත් වූයෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පාකිස්තානු කණ්ඩායම එංගලන්තයට එරෙහිව සහභාගි වුණු එක්දින තරගාවලියට එක්වීමේ අවස්ථාව අලීට උදා විය. එම තරගාවලිය යටතේ එක් තරගයකට පමණක් ක්‍රීඩා කිරීම සඳහා වරම් ලබන අලී නැවතත් ඊට දින කීපයකට පසු එංගලන්තයේදීම පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද පාකිස්තානු කණ්ඩායමට ඇතුළත් නොවන්නේය.

ලද පළමු අවස්තාවේදීම ශතකයකින් සිය ජාත්‍යන්තර තරග දිවිය ආරම්භ කළ මේ දකුණත් පිතිකරුවා වසර 10 කුත් මාස 9 කට පසු පාකිස්තානයට ටෙස්ට් අසිරිය ගෙන දුන් තරගය සිය මංගල ටෙස්ට් තරගය බවට පත් කරගනිමින් ක්‍රීඩා කරන ලද පළමු ඉනිමේදීම තම නම ඉදිරියෙන් ලෝක වාර්තාවක් සනිටුහන් කර ගත්තේය. කාලගුණයෙන් බාධා එල්ල වුණු මෙම තරගයට නව ජීවයක් ලබා දුන් අබීඩ්, එක්දින සහ ටෙස්ට් වරම් ලැබූ පළමු තරගයේදීම ශතක වාර්තා කරමින් ලොව එවැනි දස්කමක් කරන ලද පළමු ක්‍රීඩකයා ලෙසින් නව ලෝක වාර්තාවක් ක්‍රිකට් ඉතිහාසයට එක් කළේය.

අබීඩ් අලී යනු ජාත්‍යන්තර තරග වරම් ලැබීමට පෙර වසර 12 ක් තිස්සේ එරට දේශීය තරගාවලියේදී හොඳින් දක්ෂතා දක්වා ඇති පිතිකරුවෙකි. පළමු පෙළ තරග 106 කට සහභාගිවී ඇති අලී ඉනිමක සාමාන්‍ය 57.43 ක් රඳවා තබා ගනිමින් මුලු ලකුණු 7116 ක් රැස් කිරීමට සමත්ව තිබෙද්දී ඔහුට  ජාතික කණ්ඩායමේ දොර විවර වන්නේ 31 වැනි සපුරා ගනිද්දීය.

ටෙස්ට් සහ එක්දින සිය පළමු ජාත්‍යන්තර අත්දැකීමේදී ශතක රැස් කළ ලොව පළමු පිතිකරුවා ලෙස ඉතිහාස ගත වූ තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අබීඩ් අලී පවසන්නේ තේරීම් වලදී තමන්ව නොසලකා හැරීම පිළිබඳව තමන් කිසි විටෙකත් මැසිවිළි නොනැගූ බවයි. 

මෙම මාධ්‍ය හමුවේදී වඩාත් සංවේදී වෙමින් අදහස් දක්වා සිටි අබීඩ් අලී, “මාව කණ්ඩායමට තෝරා නොගැනීම සම්බන්ධව මම කවදාවත් මැසි විළි නගලා නෑ. ඒ වගේම කාටවත් පැමිණිලි කරන්න ගියෙත් නෑ. ඒ ඉවසීම මට තිබුණා. විශේෂයෙන්ම මගේ කාලය ඒවි කියන විශ්වාසය මට නිතරම තිබුණා. එවිට මට කළ හැකි දේ මම ඔප්පු කරනවා කියන අධිෂ්ඨානයේ හිටියා”යි පවසා සිටියේය.

පාකිස්තානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසින් පන්දුවට පහර දීමට පැමිණි අබීඩ්, මුහුණ දුන් 183 වැනි පන්දුවේදී සංය මංගල ශතකය සම්පූර්ණ කර ගනිමින් කිසිවෙකුටත් යළි බිඳ හෙළිය නොහැකි ඒ සුවිශේෂී ලෝක වාර්තාවට හිමිකම් කීවේය. මෙම ඉනිමත් සමඟ තවත් වාර්තාවන් කීපයක්ම යාවත්කාලීන කිරීමට මේ දකුණත් පිතිකරුවාට අවස්ථාව උදා විය. එනම් වසර 10 කට පසු පාකිස්තානය තුළ ශතකයක් වාර්තා කරන ලද පළමු පිතිකරුවා බවට පත්වීම මෙන්ම 2000 වසරෙන් පසු පිණ්ඩි ක්‍රීඩාංගණයේදී ශතකයක් රැස් කරන ලද පළමු පිතිකරුවා බවට පත්වීමය. අබීඩ් පෙර මෙම ක්‍රීඩාංගණයේදී ශතකයක් වාර්තා කර ඇති අවසන් පිතිකරුවා වන්නේ හිටපු ටෙස්ට් නායක යුනිස් ඛාන් වන අතර ඔහු මීට වසර 19 කට හෙවත් 2000 වසරේදී ශතකයක් වාර්තා කර තිබේ. එම තරගය යුනිස්ගේ මංගල ටෙස්ට් තරගය වශයෙන් සටහන් වීමද කැපී පෙනෙයි. 

අබීඩ්ගේ අනෙක් සහායකයා වූ ශාන් මසූඩ් ලකුණු නොලබාම දැවී ගිය නමුත් අසාර් අලීට එක්වූ අබීඩ් අලී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සම්බන්ධතාවයක් එක් කළේය. අසාර් අලීගේ දැවී යෑමත් සමඟ පිටියට පිවිසි බාබර් අසාම්ට එක්වූ අලී තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 162 ක් එක් කරන ලද්දේ ශතක සම්බන්ධතාවයක් පවත්වමිනි. 

“බාබර් අසාම් කියන්නේ මම ගොඩක් ගරු කරන ක්‍රීඩකයෙක්. සමහර අවස්ථාවන් වලදී මම වැරදි පහර කරා යද්දී ඔහු තමයි මට ගොඩක්ම විශ්වාසය ඇති කළේ මේ ඉනිම ක්‍රීඩා කරන්න. ඇත්තටම ලකුණු 90 සීමාවේ රැඳී ඉන්න කොට මම ටිකක් කලබලයට පත් වුණා. නමුත් ඒ වෙලාවෙදි ඔහු මට ලොකු ශක්තියක් ලබා දුන්නා”යි සිය ශතකය කරා ගිය ගමන පිළිබඳව අදහස් දක්වා සිටියේය. 

ක්‍රිකට් පිටියේදී අබීඩ්ව හඳුන්වනු ලබන්නේ ලෙජන්ඩ් (පුරාවෘත්තය) යන අන්වර්ථ නාමයෙන් වන නමුත් එසේ හැඳන්වීම කෙරෙහි ඔහු දක්වන්නේ උදාසීන බවයික. ක්”ඇත්තටම මම සාමාන්‍ය මට්ටමේ ක්‍රීඩකයෙක්. මට ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් හඳුන්වන නම් වළින් හඳුන්වන්න ඕන නෑ. මම අබීඩ් අලී. ඒක නිසා කරුණාකරලා මීට පස්සේ මාව අබීඩ් අලී විදියට පමණක් ආමන්ත්‍රණය කරන්න”යි මාධ්‍ය වේදීන්ගෙන් මෙන්ම ක්‍රීඩා ලෝලීන්ගෙන් අබීඩ් අලී ආයාචනා කර සිටියේය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest