slc
logo
Home   |    News
දෙසැම්බර් 22, 2019
ජ්‍යෙෂ්ඨයෝ පසුබසිද්දී ඕෂධ මංගල ශතකය ලබයි

Sri Lanka Cricket

 Chamila Karawita reporting from Karachi 

ජයග්‍රහණය සඳහා ලකුණු 476 ක අසීරු ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු සිය ටෙස්ට් මංගල ටෙස්ට් ශතකය ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනගද්දී ඉදිරි පෙළ පිතිකරුවන් ලකුණු අතරට ඒමට හෝ කඩුල්ලේ රැඳී සිටීමට අපොහොසත්වීම මත කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය (22 දා) නිමා වනවිට කඩුලු 2 කට ලකුණු 212 ක් ලබා දැඩි අසීරුතාවයකට පත්ව සිටියි. 

කඩුලු 7 ක්ම දැවී ගොස් ඇති බැවින් තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන හෙට (23 දා) දිනයේදී තරගය ජය පැරදුමෙන් තොරව හෝ අවසන් කර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට පවතින්නේ අවම ඉඩ කඩකි. පළමු ඉනිමේදී ලකුණු 80 ක් පිටුපසින් සිටියද තෙවැනි සහ සිව්වැනි දින ඇතුළත පාකිස්තානු කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම ශතක ලබා ගැනීමට සමත්වීම නිසා අනපේක්ෂිත වාසියක් හෙවත් ලකුණු 476 ක දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකාව හමුවේ තැබීමට පාකිස්තානු පිලට අවස්ථාව උදාවිය.

ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරගයක් බැවින් මෙම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වනු ලබන්නේ ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින තෙවැනි ස්ථානය තවදුරටත් රැක ගැනීමටය. එහෙත් විශේෂඥ පිතිකරුවන් ලෙස කණ්ඩායමට එක්වී සිටින්නන් ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වීම මත ගොඩ ගත නොහැකි ගැඹුරකට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ඇද වැටී තිබේ. 

කඩුලු 3 කට ලකුණු 555 ක් ලබා තිබියදී දිවා ආහාරයෙන් පසු පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට අවකාශ සලසා ලමින් පාකිස්තානය ඉනිම අත්හිටුවීය. ක්‍රීඩා කර ඇති ඉනිම අතරින් වැඩිම  ලකුණු සංඛ්‍යාවක් සිව්වැනි ඉනිමේදී වාර්තා කර ගැනීමට සමත්ව සිටින දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් දෙදෙනාම එක් ලකුණක් ඇතුළත දැවී යෑම නිසා ආරම්භයම අසීරුතාවයට පත්විය. එම තත්ත්වය මැනවින් ප්‍රයෝජනයට ගත් පාකිස්තානු පන්දු යවන්නෝ තේ පානයට පෙර ඇන්ජලෝ මැතිව්ස් වද තේ පානයෙන් පසු පළමු ඉනිමේ ගැලවුම්කරුවා වූ දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වාගේ කඩුලු දවා ගනු ලැබුවේ මුලු ලකුණු සංඛ්‍යාව 96 ක්ව තිබියදීය.

ශ්‍රී ලංකාව බලාපොරොත්තු තබා තිබෙන කුසල් මෙන්ඩිස් ද අද ලකුණු නොලබා දැවී ගියේ පන්දුව පැමිණෙන මාවතට අවතීර්ණ නොවී පිත්ත පමණක් හුවා දැක්වීමේ වරද නිසාය. මෙම ඉනිමට පෙර පාකිස්තානයේ ක්‍රීඩා කරන ලද ඉනිම 2 දීම කුසල් දැවී ගියේ මේ ආකාරයෙන්ම වුවත් එය නිවැරදි කර ගැනීමට නොහැකි වීම කණගාටුදායක තත්ත්වයක් ලෙසින් සඳහන් කළ හැක. 

ජ්‍යේෂ්ඨයින් දැවී යද්දී සිය අන්තය ආරක්ෂා කරගත් ඕෂධ ප්‍රනාන්දු නිරෝෂන් දික්වැල්ල සමඟ එක් වෙමින් ලකුණු 104 ක සම්බන්ධතාවයක් එක් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ගෞරවාන්විත සංඛ්‍යාවකට රැගෙන ආහ. එහිදී ඕෂධ සහයෝගය දුන් දික්වැල්ල සිය 14 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරන ලද්දේ ලබා ගත් ලකුණු අතරින් වැඩි සංඛ්‍යාවකට රිවර් ස්වීප් පහර එල්ල කරමිනි.

ටෙස්ට් තරග 35 (මේ තරගයද සමඟ) කට ක්‍රීඩා කර ඇතත් තවමත් ශතකයක් ලබා නැති නිරෝෂන් දික්වැල්ලට අද දිනයේදී එය සපුරා ගැනීමට හොඳින්ම අවකාශ තිබුණද සිව්වැනි දිනට තරගය නිමා කිරීමට මිනිත්තු කීපයකට පෙර එල්ල කරන ලද රිවර් ස්වීප් පහරිම ඔහුට පාරා වළල්ලක් බවට පත්වූයේ පිත්තෙන් ගිලිහුණු පන්දුව කඩුල්ල වෙත ගොස් බිඳී යෑමෙනි. හැරිස් සොහෙල්ගේ පන්දුවකට දික්වැල්ලගේ වටිනා ඉනිම නිමා වන විට පන්දු 76 කට මුහුණ දෙමින් ලකුණු 65 ක් ලබා සිටියේය. දිනය අවසන් වීමට යැවීමට නියමිතවූ අවසන් පන්දුවාරයේදී ඩිල්රුවන් පෙරේරා දැවී යන විට සිය අන්තම ආරක්ෂා කරගත් ඕෂද හතරේ පහර 13 ක්ද සමඟ ලකුණු 102 ක් ලබා සිටින්නේ පන්දු 175 කට මුහුණ දෙමිනි.

සිව්වැනි දිනය තුළ පන්දුවට පහර දුන් පාකිස්තානු ඉනිම තවත් ශතක 2 කින් වර්ණවත් කිරීමට නායක අසාර් අලී සහ බාබර් අසාම් සමත්වූහ. එම ශතක 2 වාර්තා වීමත් සමඟ පිතිකරණ අනුපිළිවෙළේ පළමු පිතිකරුවන් සිව් දෙනා ශතක වාර්තා කිරීමට සමත් වූ අතර එවැනි දක්ෂතාවයක් දැක්වූ ලොව දෙවැනි කණ්ඩායමට බවට පත්වීමටද පාකිස්තානු කණ්ඩායමට අද අවස්ථාව උදාවිය. 

ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම ශතක වාර්තා කර ඇති විරළ වාර්තාවේ පළමු හිමිකරුවා බවට පත්ව සිටින්නේ ඉන්දීය කණ්ඩායම වන අතර ඔවුහු බංග්ලාදේශයට එරෙහිව ඩකාහි පැවැති ටෙස්ට් තරගයේදී ප්‍රථමයෙන්ම මෙම දක්ෂතාවය දැක්වීමට සමත්ව තිබේ. 2007 වසරේ පැවැති එම ටෙස්ට් තරගයේදී ඉන්දියාව වෙනුවෙන් දිනේෂ් කාර්තික්, වසීම් ජෆර්, රාහුල් ඩ්‍රාවිඩ් සහ සචින් ටෙන්ඩුල්කාර් ශතක වාර්තා කරන ලද පිතිකරුවන් බවට පත්වූහ.

කඩුලු 2 කට ලකුණු 395 ක්ව තිබියදී සිව්වැනි දිනය ඇරඹූ පාකිස්තානු කණ්ඩායම දිවා ආහාරය තෙක් යවන ලද පන්දුවාර 26 ඇතුළත ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ලකුණු 160 ක් උදුරා ගැනීමට සමත්වූහ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වුණු බාබර් අසාම් මුහුණ දුන් 131 වැනි පන්දුවේදී තම සිව්වැනි ටෙස්ට් ශතකය වාර්තා කර ගත්තේ දිවා ආහාරයට පන්දු 4 ක් ඉතිරිව තිබියදීය. මෙම ශතකය බාබර් අසාම් පිට පිටම රැස් කරන ලද දෙවැනි ශතකය මෙන්ම අවසන් ටෙස්ට් තරග 4 දී වාර්තා කරන ලද තෙවැනි ශතකය බවට පත්වීමද කැපී පෙනුණි. 

ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට යෑමේදී කඩුලු රකින දික්වැල්ල ස්ටම්ප් කර ගැනීමට සමත්වීම නිසා සිව්වැනි දිනයේදී දැවී ගිය එකම පිතිකරුවා වූයේ පාකිස්තානු නායක අසාර් අලීය. ඉකුත් කාලය පුරාම ලකුණු අතරට පැමිණිමට නොහැකිව සිටි පාකිස්තානු නායකයා දැවී යන විටත් පන්දු 157 කට මුහුණ දෙමින් ලකුණු 118 ක් රැස් කරගෙන සිටියේ තම ඉනිම හතරේ පහර 13 කින් සරසා ගනිමිනි. තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 16 වැනි ශතකය ලෙසින් සටහන් වුණු අලීගේ එම ශතකය ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසු තම මව්බිමේදීද නායකත්වයට පසු රැස් කරන ලද පළමු ශතකය වශයෙන්ද සටහන් විය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee