slc
logo
Home   |    News
දෙසැම්බර් 21, 2019
ආරක්ෂා විය යුත්තේ ආක්‍රමණය කරද්දි මිසක් නිකන් නොවෙයි – හැරවුම් ලක්ෂය ගැන රොමේෂ් කතා කරයි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Karachi 

තෙවැනි දිනය ඇතුළත පාකිස්තානු පිතිකරුවන්ව මෙල්ල කිරීම සඳහා සැලසුමක් තිබුණත් ළහිරු කුමාර හැරුණු කොට සෙසු පන්දු යවන්නන් ඒ සැලසුමට අනුව පන්දු යැවීමට අසමත්වීම තරගයේ වැඩි වාසි පාකිස්තානු කණ්ඩායම වෙත දෝලනය වීමට හේතුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු වන රොමේෂ් රත්නායක මහතා අවධාරණය කර සිටියේය.

පළමු ඉනිමේදී ලකුණු 80 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ පාකිස්තානු කණ්ඩායම තෙවැනි දිනට තරගය නිමා කරන විට ලකුණු 395 ක් රැස් කරගෙන සිටින්නේ කඩුලු 23 ක් පමණක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ පිරිනමමිනි. ලකුණු 57 ක් ක්ව තිබියදී තෙවැනි දිනය ඇරඹූ පාකිස්තානු කණ්ඩායම දිනය අවසන් වන විට තවත් ලකුණු 338 ක් ලබා ගනිමින් දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 315 ක වාසියක් ලබා සිටින්නේ තවත් කඩුලු 8 ක් අත දරාගෙනය. 

තෙවැනි දින අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඉහත අදහස් දක්වා සිටි රත්නායක මහතා, “ඉස්සෙල්ලම කිව යුතුයි පාකිස්තානු පිතිකරුවන්ගේ පන්දුවට පහර දීමේ හැකියාව ගැන. එය අද දිනයේ උපරිමයටම තිබුණා. ඒත් එක්කම අපේ පැත්තෙන් බැලුවොත්, මම හිතන්නේ නෑ සැලසුම් වලට අනුව අපේ පන්දු යවන්නන් පන්දු යැව්වා කියලා. පන්දු යවන්නන් අතින් ගත්තහම ළහිරු කුමාර ඇරෙන්න අනෙක් කිසි කෙනෙක් එයාට හොඳ සහායක් ලබා දෙන්න අපොහොසත් වුණා. එහෙම කරගන්න බැරි වුණ එකත් එක හේතුවක්”යි වැඩිදුරටත් පවසා සිටියේය.

පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් වාර්තාගත සම්බන්ධතාවයක නිරත වුණු අබීඩ් අලී සහ ශාන් මසූඩ් ශතක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූ අතර එම සම්බන්ධතාව තරගයේ වැඩි වාසි පාකිස්තානු පිල වෙත දෝලනය වීමට ප්‍රධාන හේතුවක් විය. එහිදී අබීඩ් අලී ලකුණු 174 ක් ලබා ගනිද්දී ශාන් මසූඩ් ලකුණු 135 ක් වාර්තා කිරීමට සමත්විය. 

“අපේ සැලසුමක් තිබ්බා. අපේ ඉලක්කය වුණේ සෙෂන් (සැසිය) එකකට උපරිමෙන් ලකුණු 70 ක් වගේ ලබා දෙන්න. සෙෂන් එකෙන් සෙෂන් ඒකට ඒක සැලසුම් කළත් අපිට ඒක කරගන්න බැරි වුණා. බැළුවොත් අන්තිම සැසියෙදි  තමයි ටිකක් විතර අනුගමනය කරගන්න පුලුවන් වුණේ. තවත් දෙයක් කියන්න ඕන. තණතීරුවේ හදිසි වෙනස් වීමත් අද දිනයේදී අපේ අවාසියට බලපෑවා”යි රත්නායක මහතා පවසයි. 

ශ්‍රී ලංකා පිලේ සැලසුම එය බව සහාය පුහුණුකරුවා පවසා සිටිද්දී තරග ආරම්භයේ සිට දිවා ආහාරය දක්ව ලකුණු 118 ක්, දිවා ආහාරයේ සිට තේ පානය දක්වා ලකුණු 102 ක් සහ තේ පානයේ සිට දිනය අවසානය දක්වා ලකුණු 103 ක් ලබා ගැනීමට පාකිස්තානු පිතිකරුවෝ සමත්වූහ. ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව එය බවට පත් වද්දී සැලසුමට වඩා ලකුණු 118 ක් වැඩියෙන් රැස් කර ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත්වීම මෙම තරගයේදී ඔවුන්ට හිමිවුණු අතිරේක වාසියක් ලෙසින් සඳහන් කළ හැක.

මේ අතර තරගයේ ඉදිරි සැලසුම පිළිබඳව ද අදහස් දක්වා සිටි රත්නායක මහතා, හැකි තරම් ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය පාලනය කළ යුතු බවත් අවධානය යොමු කළ යුත්තේ ආක්‍රමණය කිරීමේදී ආරක්ෂා වීමට බව පසයි. 

“අපි මුලින්ම කරන්න ඕන කළින් කිව්වා වගේ ලකුණු ලබා ගන්න වේගය පාලනය කරන්න. ඔවුන්ගේ බලාපොරොත්තුව ඇති තරමක් ක්‍රීඩා කරලා දෙන්න වුණත් අපි ඒකට ඉඩ දෙන්න හොඳ නෑ. අපි මේ වෙලාවෙදි ආරක්ෂා වීම ගැනම හිතන්න හොඳ නෑ. ආක්‍රමණකාරී පිළිවෙතක් අනුගමනය කරන්න ඕන. ඒ ආක්‍රමණකාරී වැඩපිළිවෙළ ඇතුළේ තමයි අපි ආරක්ෂා විය යුත්තේ” යැයිද රත්නායක මහතා වැඩිදුරට පවසා සිටියේය. 

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee