slc
Home   |    News
පෙබරවාරි 19, 2020
ශ්‍රී ලංකාවට එරෙහි සැලසුම් ගැන කොදෙව් පුහුණුකරුගෙන් ඉඟියක්

Sri Lanka Cricket

By Chamila Karawita

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා කඳුවුරු බැඳීමේදී පන්දු යැවීමේ අංශය වැඩි දියුණු කර ගැනීම පිළිබඳව අවධානය යොමු කර සිටි බව පවසන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පිල් සීමන්ස් එසේ වුවහොත් තරගාවලිය සුභදායක ලෙසින් අවසන් කර ගැනීමේ අවස්ථාව පවතින බව සඳහන් කර සිටියේය. 

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 22 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැත්වෙන තරගයෙන් ආරම්භ වන අතරෙ ඒ පිළිබඳව අද (19 දා) පැවැති මාධ්‍ය හමුවේදී කොදෙව් පුහුණුකරු ඉහත අදහස් පළ කර සිටියේය. තරගාවලිය යටතේ පැවැත්වෙන දෙවැනි තරගය ලබන 26 වැනිදා හම්බන්තොටදීද තෙවැනි තරගය මාර්තු 01 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත. 

මෙම තරගාවලියට ප්‍රථම කොදෙව් කණ්ඩායම අසල්වැසි ඉන්දීය කණ්ඩායම සමඟ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගිවූ නමුත් එම තරගාවලිය 2-1 ක් ලෙස ඉන්දියාව හමුවේ පරාජයට පත්විය. නමුත් පරාජය වුණු තරගවලදීද කොදෙව් කණ්ඩායම තියුණු තරගයක් ලබා දීම විශේෂත්වයක් විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සීමන්ස්, අවධානය යොමු කර සිටි කරුණු අතර තරගයේ මැද භාගයේදී වැඩි වශයෙන් කඩුලු ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කර සිටි බවද සඳහන් කර සිටියේය.

ජයග්‍රහණයට ආසන්නයටම විත් පරාජය වීමේදී නිවැරදි කරගත යුත්තේ කුමන අංශයක්ද යන්න පිළිබඳව මාධ්‍ය විසින් කරන ලද විමසීමේදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි සීමන්ස්, “ඇත්තටම ඉන්දියාව සමඟ තරගාවලිය අපි පරාජයට පත්වුවත් ඒ තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කළා. නමුත් ඒ තරගාවලියේදී දැක්ක අඩුපාඩුවක් තමයි පන්දු යැවීමේ අංශය. මේ තරගාවලියේදී ඒ අංශය තව ටිකක් වැඩි දියුණු විය යුතුයි. අපි ඒ ගැන අවධානය යොමු කරලා පන්දු යැවීමේ අංශය වැඩිදියුණු කර ගැනීම පිළිබඳව අවධානය යොමු කළා. ඒ වෙනුවෙන් මෙහෙ එන්නත් කළින් පුහුණුවීම් කළා. මෙහේ ඇවිල්ලාත් ගොඩක් මහන්සි වුණා. විශේෂයෙන්ම අපි අවධානය යොමු කරලා තියෙන්නේ තරගයේ මැද හරියේදි කඩුලු දවා ගැනීම පිළිබඳව. එහෙම කරගන්න පුලුවන් වුණොත් අපි බලමු තරගාවලියේ අවසානය කොහොම වෙයිද කියලා”යි පැවැසීය.

“අන්තිම මාස 3 ක පමණ කාලයේදී සුදු පන්දුවට ක්‍රීඩා කරන කණ්ඩායම් ගොඩක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මේ තරගාවලිය අවසන් වන විට අපි ඉන්දියාව සමඟ තරග කරපු තත්ත්වයට වඩා හොඳින් ක්‍රීඩා කළොත් අපිට තරගගාවලිය ජය ගැනීමේ අවස්ථාව තියෙනවා. අන්න ඒ දේ ගැන තමයි අපි අවධානය යොමු කරලා තියෙන්නේ” පිල් සීමන්ස් කරුණු දක්වයි. 

මෙම මාධ්‍ය හමුව සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිලේ එක්දින සහ විස්සයි-20 නායක කිරන් පොලාර්ඩ් ද සහභාගි වී සිටි අතර එහිදී අදහස් දැක්වූ කොදෙව් නායකයා, මේ දිනවල මෙරට කාලගුණය තරමක් රස්නය සහිත බව දැන ගෙන සිටි බවත් තරගාවලියට කල් තියාම පැමිණියේ ඒ සඳහා හොඳින් සූදානම් වීමට බවද පවසා සිටියේය.

“දේශගුණයට අපි හැඩ ගැසෙමින් ඉන්නවා. අපි දැන ගෙන සිටියා මේ තත්ත්වය. අන්න ඒ නිසයි අපි කළින්ම මෙහේ එන්න තීරණය කළේ. විශේෂයෙන්ම මේ තත්ත්වය කායික මෙන්ම මානසික වශයෙන් අභියෝගයක් වෙයි කියලා අපි දැනගෙන සිටියා. මෙහේ ඇවිල්ලා අපි ඉතා හොඳ පුහුණු සැසි කීපයකටම සහභාගිවුණා. ඔව්. කිව්වා වගේම මේ රස්න ගතිය වැඩියි. ඒත් අපේ කැරිබියන් දූපත් වල වගේ තැඹිලි මෙන්ම පළතුරු ආහාරයට ගනිමින් උෂ්ණ සහිත තත්ත්වය තරමක් දුරට පාලනය කර ගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා”  යි පොලාර්ඩ් වැඩිදුරටත් පැවැසීය. 

මේ අතර මෙම තරගාවලියේදී සිය ශක්තීන් පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ සහ නවක ක්‍රීඩකයින්ගේ සංකලනයෙන් යුතු විසිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තමන් සතුව සිටින බවත් කණ්ඩායමේ අවශ්‍යතාවය අනුව ඒ ඒ ක්‍රීඩකයින් යොදා ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කර සිටියේය.

පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් සහභාගි නොවුණත් තරගාවලියට සහභාගිවුණු නවක ක්‍රීඩකයින් දක්ෂතා දැක්වීමට සමත්වීම කණ්ඩායමක් වශයෙන් විශාල ශක්තියක් වී තිබෙන බවද එක්දින නායකයා මෙහිදී අවධාරණය කර සිටියේය. 

“පාකිස්තානු තරගාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සහභාගි නොවුණත් දැන් සියළුම ක්‍රීඩකයින් එකතු වෙලා තියෙනවා. ඒ වගේම පාකිස්තානයට එරෙහි තරගාවලියට සහභාගිවුණු ක්‍රීඩකයින් ගොඩක් හොඳට ඒ තරගාවලියට ක්‍රීඩා කරලා තියෙනවා. ඒ නිසා අපිට මේ වන විට හොඳ ශක්තිමත් සංචිතයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නම් කරලා තියෙන ක්‍රීඩකයින් 20 දෙනා මේ වන විට ගොඩක් හොඳින් පුහුණුවීම් කරලා තියෙනවා. සෑහෙන බලාපොරොත්තුවෙක් තියෙනවා මේ තරතාවලිය ගැන” යැයි සඳහන් කර සිටි දිමුත්, “වෙස්ට් ඉන්ඩීස් කියන්නේ ගොඩක් හොඳ කණ්ඩායමක්. අපි දැක්කා පසුගිය කාලයේදී ඔවුන් ගොඩක් හොඳ දක්ෂතා දක්වලා තියෙනවා. ඒ වගේ ගොඩාක් හොඳ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කණ්ඩායමට නැවත පැමිණිලා තියෙනවා. ඇත්තටම මේක ගොඩක් හොඳ තරගාවලියක් වෙයි. සියළුදෙනාම හොඳ තරගාවලියක් දෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා”යි වැඩිදුරටත් පැවැසීය. 

මේ වන විට ආරම්භක පිතිකරුවකු වශයෙන් කිසියම් ස්ථාවරයක් ගොඩ නගා ගැනීමට සමත්ව සිටින ධනුෂ්ක ගුණතිලක ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන නමුත් එම හිදැස වසා ගැනීම සඳහා කණ්ඩායම සතුව දක්ෂ ආදේශකයින් පසුවන බවද කරුණාරත්න අවධාරණය කර සිටියේය.

“ධනුෂ්කට කොන්දේ ආබාධයක් නිසා තරගාවලිය අහිමි වෙලා තියෙනවා. නමුත් අපිට ආරම්භක පිතිකරුවකු විදියට අවිශ්ක ප්‍රනාන්දු සංචිතයේ ඉන්නවා. දික්වැල්ලත් අසනීප වුණත් ඔහුගේ තත්ත්වයත් දැන් සුව අතට හැරිලා තියෙනවා. ගොඩක් වෙලාවට පළමු තරගයේදී මාත් එක්ක ඉනිම ආරම්භ කරන්න අවිශ්ක ප්‍රනාන්දුට අවස්ථාවක් තියෙනවා” කරුණාරත්න පැවැසීය.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest