slc
logo
Home   |    News
ජූනි 16, 2026
නිලක්ෂිකාගේ නොසැලෙන ඉනිමෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

sinhala editor

එංගලන්තයේ ක්‍රියාත්මක 2026 අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ අද (16 දා) පැවැති තීරණාත්මක තරගයකදී වත්මන් ලෝක ශූරියන් වන නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 5න ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම තරගාවලිය යටතේ අවසන් පූර්ව වටයට පිවිසීමේ තම බලාපොරොත්තු තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත්වූවේය.

අවසන් පන්දු දෙක ඉතිරිව තිබියදී ලකුණු 151ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 19.4කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 153ක් රැස් කරමින් අමතක නොවන ජයග්‍රහණයක් වාර්තා කළහ. මෙම ජයග්‍රහණය වාර්තා පොත්වල සටහන් වූයේ පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් නවසීලන්ත පිලට එරෙහිව වාර්තා කරන ලද පළමු ජයග්‍රහණය ලෙසිනි.

මෙම ජයග්‍රහණයේ ප්‍රධාන නායිකාව බවට පත්වූයේ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද නම් කෙරුණු නිලක්ෂිකා සිල්වාය. පන්දු 37කින් නොදැවී ලකුණු 54ක් රැස් කළ ඇය හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකා ඉනිම අවසානය දක්වා මෙහෙයවූවාය. ඇයගේ ප්‍රහාරාත්මක ඉනිමට ලකුණු 145.94ක ප්‍රහාරක වේගයක් ද හිමි විය.

ඇයට අනගි සහායක් ලබා දුන් කෞෂානි නුත්‍යාංගනා පන්දු 14කින් නොදැවී ලකුණු 24ක් රැස් කළ ඇය හතරේ පහර 3ක් එල්ල කරමින් ලකුණු 171.42ක විශිෂ්ට ප්‍රහාරක වේගයක් වාර්තා කළාය. කඩුලු රැකීමේදී ද දක්ෂතා දැක්වූ ඇය නවසීලන්ත ඉනිමේදී උඩපන්දු 3ක් රැකගැනීමට සමත් වූවාය.

ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නායිකා චමරි අතපත්තු පන්දු 19කින් ලකුණු 27ක් රැස් කළ අතර ඇයගේ ඉනිමට හතරේ පහර 4ක් සහ එක් හයේ ඇතුළත් විය. ඇයට අනගි සහායක් ලබා දුන් විශ්මි ගුණරත්න ලකුණු 17ක් ලබා ගත්තාය. කෙසේ වෙතත් ලකුණු 55ට කඩුලු 4ක් බිඳ වැටීමත් සමඟ ශ්‍රී ලංකාව දැඩි පීඩනයකට ලක්විය.

එම අවස්ථාවේදී කවිෂා දිල්හාරි සමඟ එක් වූ නිලක්ෂිකා සිල්වා ඉනිම යළි ගොඩනැගූ අතර, දිල්හාරි ලකුණු 17ක් රැස් කරමින් වැදගත් දායකත්වයක් ලබා දුන්නාය. පසුව නුත්‍යාංගනා සමඟ එක්ව නිලක්ෂිකා ජයග්‍රහණය තහවුරු කළාය.

ඊට පෙර පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 150ක් රැස් කළේය. එහිදී නායිකා මෙලී කර් පන්දු 36කින් ලකුණු 45ක් සහ සොෆී ඩිවයින් පන්දු 30කින් ලකුණු 45ක් රැස් කරමින් ඉනිමට ශක්තියක් එක් කළහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී කවිෂා දිල්හාරි ලකුණු 35කට කඩුලු 2ක් දවා ගත් අතර, මිථලි අයෝධ්‍යා, සුගන්දිකා කුමාරි, නිමාෂා මීපගේ සහ චමරි අතපත්තු කඩුල්ල බැගින් දවා ගත්හ.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පිළිමලුන් වටය සඳහා වන තරගයේ ප්‍රබල තත්ත්වයකට පත්ව ඇති අතර, වත්මන් ශූරියන් වන නවසීලන්තයට අවසන් පූර්ව වටයට පිවිසීමේ මාවත දැඩි ලෙස අභියෝගාත්මක වී තිබේ.

පීඩනය හමුවේ නොසැලුණු නිලක්ෂිකා සිල්වාගේ අගනා ඉනිමත්, කණ්ඩායමේ සටන්කාමී ආත්මයත් හේතුවෙන් වාර්තා වූ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ මතකයේ රැඳෙන විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

නවසීලන්ත කණ්ඩායමට පරාජය සඳහා ප්‍රධාන හේතුවක් වූයේ ඔවුන්ගේ දුර්වල පන්දු රැකීමයි. නිලක්ෂිකා සිල්වා ලකුණක් ලබා සිටියදී ලබාදුන් පහසු උඩපන්දුවක් අතහැර දැමීම තරගයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්විය. එමෙන්ම අවසන් ඕවරවලදී ද ඔවුන්ගේ පිටියේ පන්දු රැකීමේ දුර්වලතා ශ්‍රී ලංකා පිතිකාරිනියන්ට වාසිදායක විය.

නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 6 ක් දැවී ලකුණු 150 යි – (මෙලී කර් 45, සොෆී ඩිවයින් 45, ජෝරජියා ප්ලිමර් 18, මැඩී ග්‍රීන් 18*, කවීෂා දිල්හාරි 35/2, මිතලි අයෝද්‍යා 24/1, සුගන්ධිකා කුමාරි 28/1, චමරි අතපත්තු 21/1 නිමාෂා මීපගේ 26/1)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 153 යි – (නිලක්ෂිකා සිල්වා 54, කෞෂානි නුත්‍යාංගනා 24, චමරි අතපත්ත 27, විශ්මි ගුණරත්න 17, හර්ෂිතා සමරවික්‍රම 05, හසිනි පෙරේරා 02, නැන්සි පටෙල් 23/2, බ්‍රී ඉලිංග් 33/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee