slc
logo
Home   |    News
මාර්තු 3, 2020
පොලාර්ඩ්ගේ 500 වැනි තරගයේදී දෙපිළම ගෞරවය රැක ගැනීමේ සටනක

sinhala editor

Chamila Karawita reporting from Pallakele

මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී හෙට (04 වැනිදා) ආරම්භ වන පළමු විස්සයි-20 තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දැඩි අභියෝගාත්මක තරගයකි. එක්දින තරගාවලියේදී පවත්වාගෙන ආ ජයග්‍රාහී රිද්මය එලෙසින් පවත්වාගෙන යෑමට හැකි වන්නේද යන කුකුස ශ්‍රී ලංකාව තුළත්, වත්මන් විස්සයි-20 ලෝක ශූරයින් ලෙසින් ලබා සිටින ගෞරව ආරක්ෂා කර ගැනීමට හැකි වන්නේද යන සැකය කොදෙව් කණ්ඩායම තුළත් පැවැතීම එකී තත්ත්වයට හේතුවී තිබේ.

එක්දින සහ විස්සයි-20 යනු ආකෘතීන් දෙකක් යටතේ පැවැත්වෙන ක්‍රීඩාවකි. එසේ වුවත් එක්දින තරගාවලියේදී ලද අමිහිරි පරාජය නිසා හෙට පැවැත්වෙන පළමු විස්සයි-20 තරගය සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිල අවතීර්ණ වන්නේ එක්දින තරගාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්වීමේ වාඩුව ලබා ගැනීමේ අරමුණිනි. එහෙත් ඔවුන් හමුවේ පවතින දැවැන්තම ගැටළුව බවට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය උපරිම දක්ෂතාවයෙන් යුතුව ක්‍රීඩා කරමින් සිටීමයි.

ශ්‍රී ලංකාව

විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ සිටිමින් හෙට ආරම්භ වන තරගාවලියට අවතීර්ණ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් කණ්ඩායමේ මෙන්ම විස්සයි-20 ආකෘතියේ අත්දැකීම් රාශියක් ඇති ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් පසුවෙති. කුසල් පෙරේරා ද විස්සයි-20 අංශයේ භයානක පිතිකරුවකු ලෙසින් සැලකේ. එක්දින තරගාවලිය අතරතුර අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් ඉදිරි පෙළ පිතිකරුවන් වශයෙන් සිය පිති මුවහත් කරගෙන සිටින අතර තිසර පෙරේරා සහ වනිඳු හසරංගද තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසින් වැඩි දක්ෂතා දැක්වීමට සමත්ව තිබීම ශ්‍රී ලංකාව කඳවුරේ බලාපොරොත්තු වැඩි කරවන්නක් වී තිබේ.

හෙට තරගය සඳහා අවසන් ක්‍රීඩකයින් 11 දෙනා නම් කිරීමේදී එක්දින තරගාවලියට ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ ස්ථාන 3 ක් බොහෝ විට වෙනස් වන නමුත් ගැටළුවකට පවතින්නේ අංක 6 ස්ථානයේ ක්‍රීඩා කරවන්නේ කවුරුන්ද යන්න පිළිබඳවය. දිමුත් කරුණාරත්න වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු සමඟින් නිරෝෂන් දික්වැල්ල ඉනිම ඇරඹීමට නියමිත බව අනුමාන කළ හැක්කේ පුහුණුවීම් වලදී දික්වැල්ලට නව පන්දුවට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවීමෙනි.  නුවන් ප්‍රදීප් වෙනුවට ලසිත් මාලිංග කණ්ඩායමට පැමිණෙද්දී අංක 6 ස්ථානය සඳහා තරගය පවතින්නේ දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය අතරය.

හෙට තරගය සඳහා යොදා ගැනෙන්නේ තෙවැනි එක්දින තරගයට යොදා ගන්නා ලද තණතීරුවය. එම තණතීරුව යනු පන්දුවාර 50 කදී තද අව්රශ්මියන්ද පන්දුවාර 50 ක් පින්නෙන්ද තෙම්පරාදු වුණු තණතීරුවකි. එබැවින් මෙම තණතීරුව බොහෝ විට කඩතොලු ගතියෙන් වැඩි වන බැවින් එහි වැඩි දායකත්වය දඟ පන්දු යවන්නන්ටය. ධනංජයගෙන් කණ්ඩායමට ඉටු වන පිට දඟ පන්දුවේ සේවය මෙන්ම තණතීරුවේ දායකත්වය දඟ පන්දු යවන්නන්ට හිමිවීමට වැඩි ඉඩක් පැවැතීම යනු හෙට තරගයට ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් ෂෙහාන් ජයසූරියට තිබේ. එහෙත් කොදෙව් පිතිකරුවන් යනු දඟ පන්දුවලට දැවැන්ත පහර එල්ල කිරීමට රුචිකත්වයක් මෙන්ම දක්ෂතාවයක් ඇති පිතිකරුවන් බැවින් එම ස්ථානය සඳහා වේග පන්දු යවන්නකු ක්‍රීඩා කරවීමේ වැඩි අවස්ථාවක් පවතියි. ඒ අනුව මෙකී නිර්නායකයන් සියල්ල පිළිබඳ අධානය යොමු කිරීමේදී  අංක 6 ස්ථානය සඳහා දසුන් ශානක ක්‍රීඩා කරනු ඇත.

අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන කුසල් පෙරේරාගේ විවාහ උත්සවය අද දිනට යෙදී තිබූ හෙයින් පුහුණු සැසියට සහභාගිවීමේ අවස්ථාව ඔහුට අහිමි වුවත් හෙට තරගය සඳහා ඔහු ක්‍රීඩා කිරීමේ සූදානමින් පසුවේ.

ලසිත් මාලිංග

හෙට තරගය පිළිබඳව අදහස් දක්වා සිටි විස්සයි-20 නායක ලසිත් මාලිංග, “මං හිතන්නේ ටී-20 කියන ක්‍රීඩාව තුළ අභියෝගය කියන දේ හැම තිස්සේම තියෙනවා. මොකද එන අභියෝගය ඉතා කෙටි කාලීනව එන නිසා. ඉතිං ඒ තත්ත්වය ජයග්‍රහණය කරන්න පුලුවන් නම් බොහෝම ලේසියෙන් දක්ෂතා ඉදිරියට ගේන්න පුලුවන්. නමුත් කිසිම වෙලාවක ඒ කණ්ඩායම අඩු තක්සේරුවෙන් සලකන්න අමාරුයි. මොකද ඔවුන් තරගයක් වෙනස් කරන්න පුලුවන් ක්‍රීඩකයෙන් හය හත් දෙනෙක් ඉන්න කණ්ඩායමක්. ඒක නිසා පන්දු යැවීමේදීත් පිතිකරණයේදීත් හරි පරිස්සමට අපේ තියෙන හැකියාවන් භාවිතා කරන්න ඕනෑ” යැයි සඳහන් කර සිටියේය.

බටහිර ඉන්දීය කොදෙව්

තරග වැදි එක්දින තරග 3 ම ජය ගැනීමට සිටින ශ්‍රී ලංකාව හෙට මුණ ගැසෙන්නේ වත්මන් විස්සයි-20 ලෝක ශූරයින් ලෙස කිරුළු දරා සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම බැවින් තරගය කිසි විටෙකත් සුළුවෙන් තැකිය නොහැක. එක්දින අංශයෙන් සමුගෙන සිටියද ලොව විස්සයි-20 ආකෘතියෙහි ප්‍රධානම චරිතයන් කීපයක්ම හෙට ආරම්භ වන තරගාවලියේදී කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීම ඔවුන්ගේ ශක්ති දෙගුණ තෙගුණ කරවන්නක් බවට පත්ව තිබේ.

නායක කිරන් පොලාර්ඩ්, ඩ්වයින් බ්‍රාවෝ සහ ඇන්ඩ්‍රෙ රසල් ඒ අතරින් ප්‍රධාන තරු බවට පත්ව සිටිති. ලොව දක්ෂතම විස්සයි-20 අංශයේ ක්‍රීඩකයින් ලෙසින් සැලකෙන මොවුන් අතරින් කිරන් පොලාර්ඩ් හෙට සහභාගිවන්නේ සියලුම ආකාරයේ විස්සයි-20 වල තරග එකතුවේ 500 වැනි තරගයට වේ.

වත්මන් විස්සයි-20 ලෝක ශූරයන් වුවද වත්මන් ශ්‍රේණිගත කිරීමට අනුව කොදෙව් කණ්ඩායම 10 වැනි ස්ථානයේ රැඳෙමින් හෙට තරගයට අවතීර්ණ වෙයි. ඉහතින් සඳහන් කළ ප්‍රධාන තරු වලට අමතරව ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී ශතකයක් වාර්තා කිරීමට සමත්ව සිටින ශිම්රන් හිට්මේයර්ද කොදෙව් කණ්ඩායම සතුව සිටීම ඔවුන්ගේ පිතිකරණ ශක්තිය වැඩි කරවන්නක් බවට පත්ව සිටියි. ඕනෑම අවස්ථාවක පන්දුව හයේ සීමාවට යැවිය හැකි පිතිකරුවන් රැසක් කොදෙව් කණ්ඩායම සතු වීම හරහා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හෙට තරගයේදී වැඩි කාර්යය භාරයක් සිදු කළ යුතු වේ.

පිල් සීමන්ස්

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් මාධ්‍ය හමුවට පැමිණී ප්‍රධාන පුහුණුකරු ෆිල් සීමන්ස් සඳහන් කර සිටියේ ආබාධ සම්බන්ධව සැත්කම් කීපයක් කර තිබියදීත් විස්සයි-20 තරග 500 ක් ක්‍රීඩා කිරීමට කිරන් පොලාර්ඩ් හැකියාව ලැබීම මිල කළ නොහැකි වටිනාකමක් එක් කරන සිදුවීමක් වන බවයි. එහිදී වැඩිදුරටත්

“පොලාර්ඩ් කියන්නේ දණ හිසේ සැත්කම් දෙකකට භාජනය වුණ ක්‍රීඩකයෙක්. ආබාධ ගොඩක් තිබිලත් ඒ සියල්ලන්ගෙන්ම බේරිලා තරග 500 ක් ක්‍රීඩා කරනවා කියන්නේ ඇත්තටම මිල කළ නොහැකි වටිනා කමක්. ඒ පිළිබඳව ඔහු ඔහු ගැනම ආඩම්බර විය යුතුයි” යැයි පැවැසූ සිමන්ස්, “ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කීප දෙනෙක්ම කණ්ඩායමට එකතු වෙලා ඉන්නවා. ඔවුන් පසුගිය දින හතර පහ ඇතුළත හොඳ පුහුණුවීමක් ලබා ගත්තා. අපි මේ තරගාවලියට ලෝක ශූරයින් ලෙසින් අවතීර්ණ වුණත්, ශ්‍රේණිගත කිරීම් වල ඉන්න තැන බලද්දී මේ තරගයේ වැඩි වාසියක් හිමි කණ්ඩායමක් විදියට අපේ කණ්ඩායම සලකන්න බැහැ” යනුවෙනි.

අපේක්ෂිත කණ්ඩායම්

බටහිර ඉන්දීය කොදෙව් – 1. ලෙන්ඩ්ල් සිමන්ස්, 2. ෂායි හෝප්, 3. ශිම්රන් හෙට්මේයර්, 4. කිරන් පොලාර්ඩ්, 5. නිකොලොස් පූරාන්, 6. ඩ්වයින් බ්‍රාවෝ, 7. ඇන්ඩ්‍රෙ රසල්, 8. ෆේබියන් ඇලන්, 9. හේඩ්න් වෝල්ෂ්, 10. ෂෙල්ඩන් කොට්‍රල්, 11. ඔෂේන් තෝමස්.

ශ්‍රී ලංකාව – 1. අවිෂ්ක ප්‍රනාන්දු, 2. නිරෝෂන් දික්වැල්ල, 3. කුසල් පෙරේරා, 4. කුසල් මෙන්ඩිස්, 5. ඇන්ජලෝ මැතිව්ස්, 6. ෂෙහාන් ජයසූරිය/දසුන් ශානක, 7. තිසර පෙරේරා, 8. වනිඳු හසරංග, 9. ඉසුරු උදාන, 10. ලක්ෂාන් සඳකැන්, 11. ලසිත් මාලිංග.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar