slc
logo
Home   |    News
අප්‍රේල් 24, 2024
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග

Sri Lanka Cricket

බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) තායිලන්තය සමඟ තරග වදී.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී මැයි 01 වැනිදා උගන්ඩාව සමඟත් මැයි 03 වැනිදා අමෙරිකාව සමඟත් තරග වදී.

මේ තරගාවලියේ අවසාන පූර්ව තරග දෙක මැයි 05 වැනිදා පැවැත්වෙන අතර අවසාන තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මැයි 07 වැනිදාය. අවසාන තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක බංග්ලාදේශයේ ලෝක කුසලාන කාන්තා විස්සයි 20 අවසාන තරගයට සුදුසුකම් ලබයි.

පසුගියදා දකුණු අප්‍රිකාවේ තරග වැදුණු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එම තරගාවලියෙන් පසුව කෙළින්ම අබුඩාබි බලා පිටත්ව ගියේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වීම සඳහාය.

මේ වන විටත් ලෝක කුසලාන කාන්තා අවසාන තරගාවලියට කණ්ඩායම් හයක් තේරී සිටින්නේ 2023 වසරේ අන්තර් ජාතික ක්‍රිකට් සමුළුවේ කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානයේ සිට හයවන ස්ථානය තෙක් තේරුණු කණ්ඩායම් ඊට ඇතුළත් කර ගැනීමෙනි. බංග්ලාදේශය ඊට තේරී ඇත්තේ සත්කාරක රට ලෙසටය.

 අබුඩාබි නගරයේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම

චමරි අතපත්තු (නායිකා) විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හෂිනි පෙරේරා, අවිශ්කා සංජීවනී, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය, හංසිමා කරුණාරත්න, කාව්‍යා කවිඳි, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්ධිකා කුමාරි සහ ශෂිනි ගිම්හානි

 ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තරග (මූලික වටය)

අප්‍රේල් 25 – ශ්‍රී ලංකාව – තායිලන්තය – අබුඩාබි ටොලරන්ස් ඕවල්  සවස 4.30ට

මැයි 01 – ශ්‍රී ලංකාව – උගන්ඩාව – අබුඩාබි සෙයියඩ් ක්‍රීඩාංගණය

මැයි 03 – ශ්‍රී ලංකාව – අමෙරිකාව – අබුඩාබි ටොලරන්ස් ඕවල්

මැයි 05 – (අවසාන පූර්ව තරග දෙක I සහ  II) ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවොත්

මැයි 07 – (අවසාන තරගය)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee