slc
logo
Home   |    News
අප්‍රේල් 6, 2020
විස්සයි-20 ලෝක කුසලාන දිනා අදට වසර 6 යි | සටනේ අවසන් පැය 24 ගැන මාලිංග මතක් කරයි

Sri Lanka Cricket

By Chamila Karawita

ලෝක සිතියමේ පෑන් තුඩකට තරමට සීමා වී තිබෙන ශ්‍රී ලංකාව, ක්‍රිකට් වංශ කතාවේ ප්‍රධාන රටවල් අතර සදාතනික වන්නේ 1996 වසරේ පැවැති ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුවය යන්න නොරහසකි. අර්ජුණ රණතුංගගේ නායකත්වයෙන් යුතුව ජයග්‍රහණය කරන ලද එම ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව නායකයින් කිහිප දෙනෙකුම ශ්‍රී ලංකාව මෙහෙයවූහ. ඒ අතරින් කිහිප දෙනෙකු ලෝක කුසලාන අවසන් මහ තරග 4 ක් කරා ශ්‍රී ලංකාව රැගෙන ආවද එකම අවස්ථාවක හෝ ජයග්‍රහණ කරා තම කණ්ඩායම රැගෙන යෑමට අපොහොසත් විය. එහෙත් නොසිතූ මොහොතක කණ්ඩායමේ නායකත්වයට පත් වන ලසිත් මාලිංග 2014 වසරේදී නැවතත් ලෝක කුසලාන ජයග්‍රහණයක පහස විඳගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන් හට ලබා දීමට සමත්වූවේය.

බංග්ලාදේශයේ මීර්පූර් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව අතින් පරාජයට පත්වන ලද්දේ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුතු ප්‍රබල ඉන්දීය කණ්ඩායමයි. එදා දිනා ගන්නා ලද ලෝක කුසලානයට අද දිනය හෙවත් අප්‍රේල් මස 06 වැනිදා වන විට හරියටම වසර 6 ක් සම්පූර්ණ වනු ඇත. මෙරට ක්‍රිකට් වංශ කථාවේ දෙවැනි වරටත් රන් අකුරින් ලියැවුණු මෙම ලෝක කුසලාන ජයග්‍රහණය පිළිබඳව අප නොකියැවුණු, නොලියැවුණු තැන් බොහෝය. ඒ පිළිබඳව දැන ගැනීම සඳහා හරිම සුදුස්සා වන්නේ අදටත් විස්සයි-20 තරග අංශයේ නායකයා වන ලසිත් මාලිංගය. නායකත්වයට පත්වීම, බලාපොරොත්තු සඵල වීම, අවසන් පෙර දින රාත්‍රිය, කාසියේ වාසිය, පිටියේ සැලසුම් සහ ජයග්‍රහණ රාත්‍රිය සැමරීම ආදී කරුණු පිළිබඳව මාලිංගගෙන් විමසා සිටියෙමු. එහි රස මුසු තැන් බොහෝය.

මේ ලෝක කුසලානය අමුතුම එකකි. පිටත්ව ගිය කණ්ඩායමේ නායකයා වූයේ දිනේෂ් චන්දිමාල්ය. එහෙත් නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට නොහැකිවීම නිසා තරගාවලිය අතරතුරදී ඔහු තරග තහනමකට ලක්වන්නේය. චන්දිමාල්ට තහනම් වන්නේ එක් තරගයක් පමණි. එහෙත් චන්දිමාල් වෙනුවට කණ්ඩායමට ආ ළහිරු තිරිමාන්න දක්ෂතා අතරට පැමිණීමත් එතෙක් උප නායකයා ලෙස කටයුතු කළ ලසිත් මාලිංග නායකත්වයේ වගකීම නිසි ලෙස ඉටු කිරීමට සමත්වීම නිසාත් අවසන් පූර්ව සහ අවසන් මහ තරගවලදී අකමැත්තෙන් වුවද චන්දිමාල්ට සිදුවූයේ අතිරේක ක්‍රීඩකයන් සඳහා වූ බංකුවේ සිට තරග නැරඹීමටය. යම් ලෙසකින් ලෝක කුසලානය පරාජයට පත්වූයේ නම් තත්ත්වය වෙනත්ම පැත්තකට හැරීමට ඉඩ තිබිණ. එහෙත් බලාපොරොත්තු වූ සියල්ල එලෙසම සිදුවිය. මාලිංග එම සුවිශේෂී  මතක කැටි වූ ඒ සුවිශේෂී පැය 24 පිළිබඳව ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ සමඟ බෙදා ගනු ලැබුවේ බොහෝ දෙනෙකු අසා නොමැති කතාවකිනි.

“ඇත්තටම ඒ මතකය ගැන කියනවා නම් මේ දේ ටිකක් කළින් වුණු සිදුවීමක්. දවසක් මම පුහුණුකරුවන් සහ තවත් කීප දෙනෙක් ඉන්න තැනකදි කිව්වා බය වෙන්න එපා 2014 වර්ල්ඩ් කප් එක මං කැප්ටන් කරලා දිනාගෙන එනවා කියලා. මං දන්නේ නෑ මොන හේතුවක් නිසා එදා මම ඒ දේ කිව්වද කියලා. එතකොට මං කැප්ටන් වෙන්න හිතලවත් නැහැ. කොහොම හරි නවසීලන්තය එක්ක තිබුණ තරගය ජය ගත්තට පස්සේ තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ සනත් අයියා (ජයසූරිය) ඇවිල්ලා මට කිව්වා දිගටම කැප්ටන් කරන්නේ මම කියලා”.

“මේ ජයග්‍රහණයේදී මුලින්ම කියන්න ඕන අපිට ලෝක කුසලානය දිනන අඩිතාලම දාල දුන්නේ දැම්මේ රංගන (හේරත්) අයියා. ඒ තරගයෙදි අපි ගැහුවේ ලකුණු 120 ක් වගේ අඩු ලකුණු සංඛ්‍යාවක්. ඒත් රංගන අයියා තනියම මැච් එක දිනෙව්වා. ඒ දේ වුණේ නැත්නම් අපිට මේ ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න වෙන්නේ නෑ. මේ ජයග්‍රහණයේ පළමු ගෞරවය හිමිවිය යුත්තේ රංගන අයියට කියන එක මම කියන්න ඕන. එයා තමයි ඒ තරගයේදී කඩුලු 6 ක් අරගෙන අපිට නොසිතූ ජයග්‍රහණයකට පාර කැපුවේ” යැයි ලෝක කුසලාන මතක පෙළහර මාලිංග දිග හැරියේය.

සැබැවින්ම එම ලෝක කුසලාන ගමනේ අවසන් කණ්ඩායම් 4 ට පිවිසීම සඳහා සුපිරි කණ්ඩායම් 10 යටතේ පැවැති නවසීලන්තය සමග තරගයේ ජය ශ්‍රී ලංකාවට තීරණාත්මක විය. එම වැදගත් තරගයේදී ශ්‍රී ලංකාව රැස් කරන ලද්දේ ලකුණු 119 ක් පමණි. එහෙත් සුපිරි පන්දු යැවීමක නිරත වුණු රංගන හේරත් තරගය තනි උරට ගෙන තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේ ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට මං පෙත් විවර කරමිනි.

මාලිංග පවසන අන්දමට ශූරතාව කරා යෑමට අවශ්‍ය අධිෂ්ඨානය සහ විශ්වාසය ගොඩනැගෙන්නේ එකි ජයග්‍රහණයෙන් පසුව බවයි. ලෝක කුසලාන ජය ගැනීම සඳහා සියලු පිඹුරු පත් සැකසෙන්නේ අවසන් තරගය ක්‍රියාත්මක දින උදෑසන නොව ඊට පෙර දින රාත්‍රියේදීයි. මාලිංග පවසන අන්දමට එම සාකච්ඡාව සඳහා ස්ථානය වී ඇත්තේද මාලිංගගේ කාමරයයි.

“මට මතකයි එදා රෑ පන්දු යවන්නන් සියලුම දෙනා මගේ කාමරයේ හිටියා. කොච්චර ජ්‍යෙෂ්ඨයෙක් වුණත් රංගන අයියත් (හේරත්) ඒ අතර හිටියා. එතැනදී අපි බැලුවේ ප්‍රතිවාදී පිල පීඩනයකට පත් කරනවාට වඩා අපේ හැකියා‍වෙන් කොහොමද පන්දු යවන්නේ කියන එක. විශේෂයෙන්ම පීඩනයක් ආවොත් කවුද ඒ වෙලාවට පන්දු යවන්න ගේන්නේ. මොන වගේ තැන්වලටද අපි පන්දු යැවිය යුත්තේ වගේ දේවල්. ඒ වගේම අපි අවස්ථානුකූලව හැසිරෙන්න කොහොමද කියන එක ගැනත් ගොඩක් කතා කළා”.

“විශේෂයෙන්ම අපි උත්සාහ කළේ ඒ ඒ ක්‍රීඩකයන්ට හිමි වගකීම මොකද්ද කියන එක ගැන අවබෝධය ලබාදෙන්න. ඒ දේ ගොඩක් සාර්ථක වුණා. ඒ තරගයෙදි අපි යැව්වේ අවසන් පන්දුවාර 4 යැව්වේ කොහොමද කියන එක ගැන අදටත් ලෝකය කතා කරනවා. එක පාරටම ඒ දේවල් කරන්නත් බැහැ. නමුත් කළ යුතු දේ අපි වටහා ගත්තා. අපේ දක්ෂතාවය ඕන වෙලාවක අපිට යොදා ගන්න පුලුවන් කියන මානසිකත්වයේ අපි හිටියා. ඒත් දක්ෂතා ඒකාකාරීව පවත්වාගෙන යන එකයි අමාරු. අපි අවධානය යොමු කළේ අන්න ඒ දේවල් ගැන” යැයි මාලිංග පවසයි.

ඉන්දීය කණ්ඩායම යනු අයි. පී. එල්. තරගාවලිය නිසා විස්සයි-20 තරග කප්පිත්තන් බවට පත්ව සිටින කණ්ඩායමකි. එබැවින් පමණට වඩා තෙම්පරාදුව සිටින ඉන්දීය පිල සතුව සිටියේ ලොව භයානකම පිතිකරු බලඇණිය යැයි කීමේ කිසිම වැරැද්දක් නැත. මාලිංග පැවැසූ පරිදිම එම අවසන් පන්දුවාර 4 සඳහා මුහුණ දුන්නේ ඉන්දීය පිලේ ප්‍රබලතම පිතිකරුවන් තිදෙනෙකුය. 2011 ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලද යුවරාජ් සිං, වත්මන් නායක විරාට් කෝලි සහ මහේන්ද්‍ර සිං දෝනිය. පිතිකරුවන් අතර දැවැන්තයන් වුවද ඔවුන්ට අවසන් පන්දු 24 තුළදී  රැස්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ ලකුණු 19 ක් පමණි. මෙහි 18 වැනි සහ 20 වැනි පන්දුවාර යවන ලද්දේ අප කථා නායක මාලිංග වන අතර එහිදී පිළිවෙළින් ලකුණු 04 ක් සහ 07 ක් වශයෙන් ලබා දෙමින් මෙම ලෝක කුසලානයේ වැඩි වගකීමක් ඉටු කරන ලද පන්දු යවන්නා බවටද පත්වීය.

“ගොඩක්ම බැලුවේ හයේ, හතරේ ඒවා නොදී ඉන්න. ඒ අරමුණින් පන්දු යැව්වොත් අපිට කඩුලු ලබාගන්න අවස්ථාවක් නැති බව අපි දැනගෙන හිටියා. හැබැයි අපිට වෙන ඩැමේජ් එක අඩුයි කියන විශ්වාසෙන් අපි හිටියා. අවසානයේ අපි ඒ දේ කළා. ඔච්චර දක්ෂ පිතිකරුවන් හිටිය ඉන්දීය පිල කඩුලු 4 කදී ලකුණු 130 කට සීමා කරන්න අපිට එදා පුලුවන් වුණා. ඒකයි මං කළිනුත් කිව්වේ ඔවුන්ගේ දක්ෂතා ගැන හිතනවාට වඩා අවධානය යොමු කළ යුත්තේ අපේ දක්ෂතා ගැනයි කියලා”.

එදින රාත්‍රියේ හෝ තරගය පැවැති දින උදෑසන හෝ ඉන්දීය කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකු මුණ නොගැසුණු බව පවසන මාලිංග, කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමද අපූරු සිදුවීමක් බව පවසයි.

“මට මතකයි කවුරු හරි මට කිව්වා දෝනි එක්ක ටොස් එක දිනන එක හරි අමාරුයි කියලා. එයා කවදාවත් මේ වගේ ලොකු තරගවලදී ටොස් එක පරාද වෙන්නෙ නෑ කියලා. ඒ වෙලාවෙදි ඒ කියපු කෙනාට මං කිව්වා ‘රයිට්, ඕ.කේ. මෙදා පාර බලන්න ටොස් එක අනිවාර්යයෙන්ම මම දිනනවා කියලා. ඒ වෙලාවේ මාත් එක්ක නිරෝෂන් කියලා අපේ ඇනලයිසර් කෙනෙකුත් හිටියා. කිව්ව විදියටම මගේ වාසනාවට එදා මම ටොස් එක ජයග්‍රහණය කළා. ඒකත් මේ ලෝක කුසලානෙ පොඩි පොඩි සුන්දර මතකයන් අතරට එකතු වුණු කරුණක්”.

“ඉන්දීය පිළ ගත්තහම අපි දන්නවා එයාලා හඹා යන්න ගොඩක් කැමැති කට්ටිය. ඒ නමුත් වර්ල්ඩ් කප් ෆයිනල් එකක් වගේ ගත්තොත් ලකුණු පුවරුවේ ලොකු ස්කෝර් එකක් තිබුණොත් ඕනෑම කණ්ඩායමක් පීඩනයට පත්වෙනවා. වාසනාවට ටොස් එක දිනුවා. ඒ තීරණය ගොඩක් සාර්ථක වුණා” යැයි වචන අතරින් වූ මුවඟ රැඳි සිනහවත් සමග මාලිංග පවසයි.

“මට මතක විදියට ෆයිනල් එක දවසේ අපිට එච්චරම පීඩනයක් තිබුණේ නෑ. ගොඩක්ම සෙමි ෆයිනල් මැච් එකේ තමයි පීඩනය තිබුණේ. මොකද ඊට කළින් අවුරුද්දේ අපි පැරදුණ කොදෙව් පිල අපේ ප්‍රතිවාදීන් බවට පත්වෙලා තිබුණ නිසා. තරගය දවසේ කිසිම දෙයක් මම මගේ ක්‍රීඩකයන්ට කිව්වේ නෑ. මොකද කියන්න තියෙන දේවල් ඔක්කොම කළින් දවසේ රෑ කියලා තිබුණ නිසා. ඒ තරමටම මට ඔවුන් ගැන විශ්වාසයක් තිබුණා. මට තිබුණේ ඔවුන්ට සුභ පතන එක විතරයි” යැයි තරගයේ පීඩනය සම්බන්ධව මාලිංග අදහස් දැක්වීය.

මෙරට පහළ වුණු අග්‍රගන්‍ය ක්‍රීඩා දෙපළක් වන හිටපු නායක මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ දශක 2 කට ආසන්න ක්‍රිකට් දිවියේ සමුගැන්ම සටහන් වුණු මෙම ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ඔවුන්ගෙන් ලැබුණු සේවය කියා නිම කළ නොහැකි බවද මාලිංග පවසයි. “මං පන්දු රකින තැනේ හැටියට ෆීල්ඩර් කෙනෙක් දැම්මොත් ඒ ඈන්ගල් එක හරිද කියලා බැලුවේ කුමාර් අයියා. එයා විකට් කීපර් නිසා හොඳට පේනවා. ඒ වගේම මම පන්දු රකින්නන් යොදවන්නේ කොහොමද කියන එක මහේල අයියා හොඳට දන්නවා. ඒක නිසා මං ගත්ත ගොඩක් තීරණ එයත් එක්ක ගැලපුණා. සීනියර්ස්ලා හිටියා කියලා කැප්ටන්ලා හිටියා කියිලා කිසිම කරදයක් මට තිබුණේ නෑ. ඒක තමයි මේ ජයග්‍රහණයේ රහස” යැයි මාලිංග  පවසයි.

මෙම තරගයේදී ලකුණු 77 ක් ලබමින් වැඩිම ලකුණු ලද පිතිකරුවා බවට පත්වූ විරාට් කෝලි ලකුණු 11 ක් ලබා සිටියදී හේරත්ගේ පන්දුවකට ලබා දුන් උඩ පන්දුව මාලිංග අතින් ගිලිහී නොයන්නට මෙම ලකුණු සංඛ්‍යාව මීට වඩා අඩුවීමට ඉඩ තිබුණි. එහෙත් ඒ පිළිබඳව මාලිංග දරන්නේ ඊට හාත්පසින්ම වෙනස් අදහසකි.

“නෑ. අපි හැම තිස්සෙම බැලුවේ ලකුණු නවත්තන විදිය ගැන. කෝලි 77 ක් ගැහුවත් අපිට පුලුවන් වුණා ඔවුන්වට ලකුණු 130 කට නවත්වන්න. එක පිතිකරුවකු කොච්චර ලකුණු ගැහුවත් එයාට අන්තය නොදී අනිත් අයව පීඩනයකට පත් කරන එකයි අපේ සැලසුම වෙලා තිබුණේ. විරාට් කියන්නේ හොඳ පිතිකරුවෙක්. ඒත් ඒ ටීම් එක ගත්තහම ඒ වගේ අය ගොඩක් හිටියා. ඉතිං අපිට එයා අවුට් කරගත්තා කියලා නිදහස් වෙන්න බැහැ. ඒ කැච් එක අත ඇරුණු එක හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද එහෙම නැතුව (සුරේෂ්) රයිනා වගේ ඇවිල්ලා පහර එල්ල කරලා ලොකු ලකුණු සංඛ්‍යාවක් රැස් කළා නම් මේ තත්ත්වය එහෙම් පිටින්ම වෙනස් වෙන්න තිබුණා” යැයි මාලිංග කියයි.

තිසර පෙරේරා එල්ල කරන ලද හයේ පහරත් සමග ශ්‍රී ලංකාව ඉදිරියේ කඩුලු 6 ක ජයග්‍රහණයක් සනිටුහන් විය. ඒ වන විටත් අනෙක් අන්තයේ සිටි කුමාර් සංගක්කාර ලකුණු 52 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකාවට සුවිශේෂී වූ එම ජයග්‍රහණයේ තමන් ඇතුලු කණ්ඩායමට අත්‍යවශ්‍යම තිබූ ජයග්‍රහණයක් බවද මාලිංග පවසයි. ඒ පිළිබඳව මතකය මාලිංග වචනවලට පෙරැළුවේ මේ අයුරිනි.

“ක්‍රීඩකයන් ඉඳලා සපෝර්ට් ස්ටාෆ් එක වෙනකම් හැමෝටම ආසාවක් තිබුණා ලෝක කුසලානයක ජයග්‍රහණය සෙලිබ්‍රේට් කරන හැඟීම ගන්න. මොකද ඒ කණ්ඩායමේ හිටපු කිසිම කෙනෙක් ඒ වෙනකොට ලෝක කුසලානයක් දිනපු අත්දැකීමක් ලබාගෙන නොතිබුණු නිසා. ඒ සතුට මම වැඩියෙන්ම දැක්කේ කුමාර් සහ මහේල අයියලගෙන්. මොකද අපි දිනුවට පස්සේ අපිට මෙඩ්ල් එකක් පැලැන්දුවා. ෆයිනල් මැච් එක ඉවර වුණේ රෑ 10 ට 11 ට විතර. මැච් එකෙන් පස්සේ ටීම් එකේ අයට තිබුණ පාටියෙදි ඒ මෙඩ්ල් එක මහේල අයියා ගැලෙව්වේ උදේ 7 ට”.

“අවුරුදු 20 කට වැඩිය රටට ක්‍රීඩා කරලා එයාලට තිබුණ ඒ සතුට එහෙම නම් අනිත් අය ගැන තව කියන්න දෙයක් නෑ. ලෝක කුසලානයක් ජයග්‍රහණය කරනවා කියන්නේ අමුතුම හැඟීමක්. ඒ හැඟීම ආයේ වචනවලට පෙරලන්න අමාරුයි. මට මතකයි ජයග්‍රහණය වෙනුවෙන් තිසර එල්ල කරපු හයේ පහරත් එක්ක අපි ග්‍රවුන්ඩ් එකට ගිය විදිය. අපි කරපු කියපුවා ගැන ඒ වෙලාවේ කිසි ගාණක් තිබුණේ නෑ. ඒත් පස්සේ ටී. වී. එකෙන් පෙන්නනකොට තමයි දැක්කේ කවුරුවත් ඒ දේවල් කළේ හිතලා නොවන බව” යැයි කට කොනකට ආ සිනහවද සමගින් ලෝක කුසලාන ජයග්‍රහණයක වූ සුන්දර මතක පෙළ මාලිංග අහවර කළේය.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar