slc
Home   |    News
ඔක්තෝබර් 5, 2020
NPL අභිනව ශූරතාව ජැෆ්නා ග්ලැඩියේටර්ස් ට

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සවිබල ගැන්වීමෙන් උතුරු පළාත් ක්‍රිකට් සංගමය සහ වව්නියා දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය එක්ව පළමු වතාවට සංවිධානය කරන ලද උතුරු ප්‍රිමියර් ලීග් (NPL)ක්‍රිකට් තරගාවලියේ අභිනව ශූරයින් ලෙස කිරුළු පැළඳීමට ජැෆ්නා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්විය.

වව්නියාව නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී මුල්ලයි පැන්තර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 134 ක දැවැන්ත ජයක් වාර්තා කළ ජැෆ්නා ග්ලැඩියේටර්ස්, ශූරතා කුසලානට අමතරව මුදලින් ලක්ෂ 2 ක මුදලක්ද දිනා ගනු ලැබීය. අනුශූරතාවයට පත් මුල්ලයි පැන්තර්ස් පිලට මුදලින් රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් හිමිවිය.

වසර 30 කට අධික කාලයක් තිස්සේ පැවැති කුරිරු යුද්ධය නිමාවට පත් වීමත් සමඟ පළමු වතාවට උතුරට ක්‍රිකට් වසන්තය කැඳවමින් පැවැති මෙම තරගාවලිය සඳහා උතුරු පළාතේ දිස්ත්‍රික් 5 වන වව්නියාව, යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම් යන දිස්ත්‍රික් නියෝජනය කරමින් කණ්ඩායම් 5 ක් මූලික වටය යටතේ ලීග් ක්‍රමයට තරග වැදුණහ. එහිදී එලිමිනේටර් තරග වටයද ඇතුළුව පැවැති අවසන් වටයේ තරගවලදී මුල්ලයි පැන්තර්ස් සහ ජැෆ්නා ග්ලැඩියේටර්ස් අවසන් මහ තරග වරම උදා කරගත්හ.

ප්‍රධාන ආරාධිතයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා සහභාගි වුණු මෙම අවසන් මහ තරග අවස්ථාවේදී ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න, මානව සම්පත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු මේජර් ටනේෂ් ඩයස්, ජාතික ක්‍රිකට් සංවර්ධන ප්‍රධානී කමල් ධර්මසිරි යන මහත්වරුන් ආරාධිත අමුත්තන් ලෙසින් සහභාගිවූහ. මීට අමතරව මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සාමාජිකයන් වන භානුක රාජපක්ෂ සහ විශ්ව ප්‍රනාන්දුද සහභාගිවූහ.

පන්දුවාර 20 තරගයක් ලෙසින් පැවැති මෙම අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා ග්ලැඩියේටර්ස් පිල නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 7 කට ලකුණු 191 ක් ලබා ගැනීමට සමත්වූ නමුත් එය හඹා යෑමේදී මුල්ලයි පැන්තර්ස් පිලට පන්දුවාර 12.3 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 53 ක් පමණි.

ජැෆ්නා ග්ලැඩියේටර්ස් පිල වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ සූරියකුමාර් අජිත් අවසන් මහ තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේය. ලකුණු 13 කට කඩුලු 3 ක් දවා ගනිමින් පන්දුවෙන් දැක්වූ දස්කම් වලට අමතරව පන්දු 32 කදී වේගවත් ලකුණු 57 ක් ලබාගත් අජිත්, අවසන් මහ තරගයේ දක්ෂතම පිතිකරු සම්මානයෙන්ද පිදුම් ලැබීය. ඔහුට අමතරව නායක එස්. නිරෝෂන් පන්දු 37 කදී ලකුණු 50 ක්ද රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වූවේය.

ඊට අමතරව තරගාවලිය තුළ සමස්ථ කඩුලු 15 ක් දවා ගත් ජැෆ්නා ග්ලැඩියේටර්ස් පිලේ ටී. ප්‍රදීප් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින්ද,  සමස්ථ තරගාවලියේ පිත්තෙන් ලකුණු 180 ක් පන්දුවෙන් කඩුලු 8 ක් බිඳ හෙළීමට සමත් වූ මුල්ලයි පැන්තර්ස් කණ්ඩායමේ ඒ. අන්චයන් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest