slc
Home   |    News
ජනවාරි 14, 2021
පළමු දිනයේදී කඩුලු 12 ක් බිඳ වැටෙති

sinhala editor

Chamila Karawita reporting from Galle

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය මුණ ගැසුණු පළමු ටෙස්ට් තරගය බවට පත් වෙමින් අද (14 දා) ඇරැඹි ටෙස්ට් තරගයේදී පිතිකරුවන්ට සහයෝගයක් දෙනු ඇතැයි අපේක්ෂිත ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කඩුලු 12 ක් දවා ගැනීමට දෙපිළේ පන්දු යවන්නෝ සමත්වීම විශේෂත්වයක් විය. පළමු දිනය ඇතුළතදී එංගලන්ත පන්දු යවන්නෝ කඩුලු 10 ක් දවා ගැනීමට සමත් වද්දී දිනය අවසන් වන විට පන්දු යවමින් සිටි ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සංචාරක කණ්ඩායමේ කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වී සිටියහ.

පළමු දිනය තරගය නවතා දමන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 2 කට ලකුණු 127 ක් ලබා ගෙන සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 135 ක ලකුණු සංඛ්‍යාව අභිබවා යෑමට එංගලන්ත පිලට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 8 ක් පමණි.

ලසිත් ඇඹුල්දෙණිය විසින් එංගලන් ආරම්භක පිතිකරුවන් වුණු සැක් ක්‍රෝලි සහ ඩොම් සිබ්ලිගේ කඩුලු ලකුණු 17 ක් තුළ දවා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා ගත් නමුදු අනතුරුව පිටියට පිවිසි නායක ජෝ රූට් සහ වසරකට පසුව කණ්ඩායමට එක්ව සිටින ජොනී බෙයාර්ස්ටෝ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක සම්බන්ධතාවයක් පවත්වමින් එංගලන්ත පිල අවධානමෙන් මුදවා ගත්හ.

එම සම්බන්ධතාවය අතරතුරදී නායක ජෝ රූට් ලකුණු 66 ක් ලබා ගනිමින් තරගාවලියේ පළමු අර්ධ ශතක ලාභියා බවට පත්වූවේය. ටෙස්පට්න්දු දිවියේ 50 වැනි අර්ධ ශතකය ලෙසින් පන්දු 115 කදී වාර්තා වුණු රූට්ගේ ලකුණු 66 ක ඉනිම සඳහා ඔහු හතරේ පහර 5 ක් එල්ල කළේය. ඔහුට අනගි සහායක් ලබා දුන් ජොනී බෙයාස්ටෝ පන්දු 91 කදී ලකුණු 91 ක් ලබා දෙවැනි දිනය වන හෙට දිනත් පන්දුවට පහර දීමට අවස්ථාව වෙන් කරගත්තේය.

එංගලන්ත පිලේ පිට දඟ පන්දු යවන ඩොම් බෙස්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අද දැවී ගිය ලකුණු 135 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් පළමු ඉනිමේදී රැස් කරන ලද අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා පොත් අලුත් කරවීය. මෙය ශ්‍රී ලංකාව තුළ මෙතෙක් පවත්වා තිබෙන ටෙස්ට් තරග අතුරින් පළමු ඉනිමේ දැවී ගිය සිව්වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් වේ.

ළහිරු තිරිමාන්න සහ කුසල් මෙන්ඩිස්ව 7 වැනි පන්දුවාරයේදීම දවාගැනීමට වේග පන්දු යවන ස්ටුවර්ට් බ්‍රෝඩ් සමත්වීම නිසා ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භයම අසාර්ථක විය. මෙම තරගයට පෙර ක්‍රීඩා කරන ලද ඉනිම 3 දීම ලකුණු ලබා ගැනීමට නොහැකිව සිටින කුසල් මෙන්ඩිස් අද දිනයේදීත් ලකුණු නොලබා දැවී යෑම කැපී පෙනුණි. පිට ඉන්නට මඳක් ඈතින් එළියට දෝලනය වී ආ පන්දුව මෙන්ඩිස්ගේ පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රැකි ජොස් බට්ලර්ගේ දෑත් අතර සැඟ වෙද්දී මෙන්ඩිස් පිට පිටම සිව්වැනි වතාවටත් ලකුණු නොලබා දැවී ගියේය.

අද දිනයේදී තම ටෙස්ට් තරග දිවියේ දෙවැනි වතාවට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණු ඩොම් බෙස්ගේ පළමු කඩුල්ල ලෙසින් කුසල් පෙරේරා දැවී ගියේ ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 25 ක් බවට පත් කරමිනි. කඩා වැටුණු ඉනිම ගොඩ ගැනීමේ උත්සාහයක නිරත වුණු ඇන්ජලෝ මැතිව්ස් සහ තරගයේ තාවකාලික නායකයා ලෙසින් කටයුතු කරන දිනේෂ් චන්දිමාල් දිවා ආහාරය තෙක් සිය කඩුලු ආරක්ෂා කර ගනිමින් ලකුණු පුවරුව 65 ක් දක්වා ඉහළ දැමූහ. එහිදී මැතිව්ස් සිය ටෙස්ට් තරග දිවියේ ලකුණු 6000 සිමාවද චන්දිමාල් 4000 සීමාවද ඉක්මවා යෑම කැපී පෙනුණි.

සියල්ල කණපිට පෙරළුණේ දිවා ආහාරයෙන් පසුවය. ජේම්ස් ඇන්ඩර්සන්වද බංකුවේ තබමින් මෙම තරගයට ක්‍රීඩා  කිරීමට වරම් ලද ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ තෙවැනි කඩුල්ල ලෙසින් මැතිව්ස් දැවී යෑම ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීමට මුල් විය. පිට ඉන්නට එළියෙන් ඇදී ගිය පන්දුවකට එලවා පහර එල්ල කිරීමට ගොස් මැතිව්ස් දැවී යෑමත් සමඟ සිව්වැනි කඩුල්ලේ සබඳතාවය පමණක් නොව ඊට පන්දු 2 කට පසු එතෙක් වෙලා තමන් සමඟ ලකුණු 56 ක සබඳතාවයක් පැවැත්වීමට දායක වුණු දිනේෂ් චන්දිමාල්ද දැවී ගියේය.

දිගින් දිගටම කඩුලු බිඳ වැටුණු නමුත් කඩුලු අතර සාර්ථක සම්බන්ධතා ගොඩ නැංවීම පසෙක තබා මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන් පහරවල් කරා යෑමට නොපසුබට වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ඉනිම තේ පානයට පෙරම අවසන් විය. පිතිකරුවන් ලකුණු ලබා ගැනීමට කෙතරම් නොඉවසිලිමත් වූවේද කිවහොත් ඉතා හොඳින් පන්දු යවමින් සිටි ජැක් ලීච්ගේ පන්දුවක වනිඳු හසරංග රිවර් ස්වීප් පහර පවා එල්ල කිරීමට පෙළැඹීම පුදුමය දනවන්නක් විය. ඒ පහරින්ම වනිඳු හසරංග දැවී යෑමද කැපී පෙනුණි.

දකුණු අප්‍රිකාවට එරෙහිව වොන්ඩරස්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඇඟිල්ලේ ආබාධයකට ලක්වුණු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තවමත් සුව අතට පත් නොවීම හේතුවෙන් අද ඇරැඹි තරගයට ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටි අතර කණ්ඩායම මෙහෙයවීම දිනේෂ් චන්දිමාල්ට පැවැරී තිබුණි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest