slc
logo
Home   |    News
පෙබරවාරි 20, 2021
විස්සයි-20 පුහුණුවේදී දිමුත්ගෙන් වේගවත් ලකුණු 89 ක්

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර සූදානමක් ලෙසින් පැවැත්වෙන පුහුණු තරග යටතේ අද (20 දා) කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති විස්සයි-20 පුහුණු තරගයේදීද ලකුණු අතරට පැමිණි දිමුත් කරුණාරත්න ලකුණු 89 ක් වාර්තා කරමින් පිතිකරුවන් අතර කැපී පෙනුණි.

පන්දු 53 කින් සමන්විත වුණු දිමුත්ගේ ඉනිම සඳහා හයේ පහරක් සහ හතරේ පහර 14 ක් ඇතුළත් විය. මුහුණ දුන් 29 වැනි පන්දුවේදී අර්ධ ශතකය සම්පූර්ණ කරගත් වමත් ආරම්භක පිතිකරුවා, දුෂ්මන්ත චමීරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ල වැදීම හේතුවෙන් ශතකය අහිමි කර ගත්තේය.

තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට කරුණාරත්න සමත් වුවද ලකුණු 195 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේදී අෂේන් බණ්ඩාර හැරුණු කොට සෙසු පිතිකරුවන්ගේ දායකත්වය නොලැබී යෑම මත දසුන් ශානකගේ කණ්ඩායම හමුවේ ලකුණු 19 ක පරාජයකට මුහුණ දීමට සිදුවිය. අෂේන් බණ්ඩාර පන්දු 31 කදී ලකුණු 41 ක් රැස් කර ගත්තේය.

පන්දු යැවීමේදී කැපී පෙනුණු දුෂ්මන්ත චමීර පන්දුවාර 3 ක් යවමින් ලකුණු 23 කට කඩුලු 4 ක් දවා ගනිමින් කරුණාරත්නගේ කණ්ඩායමේ ජයග්‍රාහී ගමන නවතාලීය. ඔහුට අමතරව නුවන් ප්‍රදීප් ලකුණු 18 කට කඩුලු 2 ක් දවා ගත්තේය. මොවුන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දිමුත් කරුණාරත්නගේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 175 ක් පමණි.

කොදෙව් සංචාරයට පෙර ක්‍රීඩකයින්ට අවශ්‍ය රිද්මය ගොඩ නඟා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන පුහුණු තරග මාලාව යටතේ ඊයේ පැවැති එක්දින තරගයේදී ලකුණු 149 ක් රැස් කරගත් දිනේෂ් චන්දිමාල් සහ ලකුණු 51 ක් රැස් කරගත් දසුන් ශානක අද දිනයේදී යළිත් විස්සයි-20 තරග රටාවට අනුගත වෙමින් අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වූහ.

එහිදී චන්දිමාල් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමඟින් පන්දු 38 කදී ලකුණු 55 ක්ද දසුන් ශානක පන්දු 27 කදී වේගවත් ලකුණු 62 ක් රැස් කළේය. හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වුණු ශානක, මුහුණ දුන් 23 වැනි පන්දුවේදී අර්ධ ශතකය ඉක්මවා යෑමට සමත්වූවේය.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 14 ක් ලබා සිටියදී ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ ලකුණු 14 කට දැවී ගියද අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් පැතුම් නිස්සංක ලකුණු 41 ක් ලබා ගනිමින් සාර්ථක රිද්මයක් ගොඩ නඟා ගත්තේය. පන්දු 27 කින් සමන්විත පැතුම්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් වර්ණවත් විය.

කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 23 වැනිදා අළුයම පිටත්ව යෑමට නියමිතය.

දසුන් ශානක XI පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 194 යි – (දසුන් ශානක 62*, දිනේෂ් චන්දිමාල් 55, පැතුම් නිස්සංක 41, ධනුෂ්ක ගුණතිලක 14, කමිදු මෙන්ඩිස් 13, ළහිරු කුමාර 35/2, ලක්ෂාන් සඳකැන් 24/1, විශ්ව ප්‍රනාන්දු 32/1)

දිමුත් කරුණාරත්න XI පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 175 යි – (දිමුත් කරුණාරත්න 89, අෂේන් බණ්ඩාර 41, ඕෂද ප්‍රනාන්දු 10, තිසර පෙරේරා 14, දුෂ්මන්ත චමීර 23/4, නුවන් ප්‍රදීප් 19/2, වනිඳු හසරංග 39/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee