slc
logo
Home   |    News
මාර්තු 30, 2021
කොදෙව් පළමු ඉනිම 354 න් නවතියි

sinhala editor

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ආරම්භයේදී බටහිර ඉන්දීය කොදෙව් අවසන් කඩුලු 3 දවා ගනිමින් ඉනිම නිමා කිරීම සඳහා උදෑසන සැසියම ඉවසා සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූ අතර එහිදී තවත් ලකුණු 67 කින් පළමු ඉනිම ඉහළ දමා ගැනීමට කොදෙව් පිතිකරුවෝ සමත්වූහ. දුෂ්මන්ත චමීර විසින් කොදෙව් කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙසින් නායක ක්‍රෙග් බ්‍රැත්වයිට්ගේ කඩුල්ල දවා ගන්නා විට බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම ලකුණු 354 ක් ලෙසින් සටහන්ව තිබිණ.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ බ්‍රැත්වයිට් අද දිනයේදී සිය 9 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කර ගනිමින් තම ඉනිම ලකුණු 126 ක් දක්වා ඉහළ දමා ගත්තේය. ඔහුට අමතරව රකීම් කෝන්වෝල් ද අද දිනයේදී සිය ටෙස්ට් තරග දිවියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කර ගත්තේය.

පන්දුවාර 6 ක් පමණක් පරණ වී තිබූ දෙවැනි නව පන්දුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් කළින්ම කොදෙව් පළමු ඉනිම නවතා දමනු ඇතැයි අපේක්ෂිත වුවත්, දිවා ආහාරය වන තෙක්ම තරගය රැගෙන ගියේය. පළමු ටෙස්ට් තරගයේ පරිදිම වැඩිම හානියක් සිදුකරන ලද්දේ රකීම් කෝන්වෝල් විසිනි.

නායකයාට මනා සහයෝගයක් ලබා දුන් කොදෙව් දැවැන්තයා සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ විශ්ව ප්‍රනාන්දු වෙත උඩ පන්දුවක් දී දැවී යන විට පන්දු 92 කදී ලකුණු 73 ක් රැස් කරගෙන සිටියේ සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් වර්ණවත් කර ගනිමිනි. මෙය කෝන්වෝල් විසින් පිට පිට ඉනිම දෙකකදී රැස් කරන ලද දෙවැනි අර්ධ ශතකය ලෙසින් සටහන් විය.

ශ්‍රී ලංකාවේ අවාසනාවටත් කොදෙව් පිලේ වාසනාවටත් හිටි කෝන්වෝල් – බ්‍රැත්වයිට්ගේ 8 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය එම ඉනිමේ වාර්තා වුණු හොඳම සම්බන්ධතාවය (103) බවට පත්වූවා පමණක් නොව ශ්‍රී ලංකාවට දැඩි හානියක් සිදුකරන ලද සම්බන්ධතාවයක් ලෙසින් සටහන් විය. මෙම සම්බන්ධතාවයේදී වැඩිම හානියක් සිදුකළ කෝන්වෝල් එම කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ලකුණු 103 න් 73 කම හිමිකරුවා බවට පත්වූවේය. සුරංග ලක්මාල්ගේ සිව්වැනි කඩුල්ල ලෙසින් කෝන්වෙල් දැවී යද්දී පිටියට පිවිසි කෙමාර් රෝච් ද 9 වැනි කඩුල්ල වෙනුවෙන් නායකයා සමඟ එක්ව ලකුණු 26 කින් ඉනිම පෝෂණය කළේය.

කෙමාර් රෝච්ගේ කඩුල්ල දවා ගත් දුෂ්මන්ත චමීර ඊළඟ පන්දුවාරයේදී යළිත් බ්‍රැත්වයිට්ව දවා ගනිමින් කොදෙව් පළමු ඉනිමේ ලකුණු දඩයම නිමා කර දැමුවේය. පිට ඉන්නට මඳක් පිටතින් පිතව කඩුල්ල තුළට ආ පන්දුවට පහරක් එල්ල කිරීමට යෑමේදී එය පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ල වැදී යෑම නිසා පිටියෙන් ඉවත්විය. ඒ සැණකින්ම දිවා භෝජනය සඳහා තරගය නතර කර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

ඉනිමේ කැපී පෙනෙනම පන්දු යවන්නා වූ සුරංග ලක්මාල් ලකුණු 94 කට කඩුලු 4 ක් දවා ගනිද්දී දුෂ්මන්ත චමීර ලකුණු 69 ක් ඇතුළත කඩුලු 3 ක් දවා පන්දු යැවීමෙන් කැපී පෙනිණ.

Active filters

Recent Posts

  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]
  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]

Pin It on Pinterest

USD United States (US) dollar