slc
Home   |    News
මාර්තු 15, 2021
වනිඳුගේ උත්සාහය අපතේ යයි

sinhala editor

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවාහි පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කළ සත්කාරක කොදෙව් කණ්ඩායම තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගත්තේය.

වනිඳු හසරංගගේ වාර්තාගත ලකුණු 80 ත් සමඟ 7 වැනි කඩුල්ල වෙනුවෙන් අෂේන් බණ්ඩාර සමග එක්ව ගොඩ නංවන ලද ලකුණු @ ක සම්බන්ධතාව හේතුකොට ලකුණු 275 ක ඉලක්කයක් කොදෙව් කණ්ඩායම හමුවේ ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණත් කොදෙව් පිතිකරුවන් මෙල්ල කර ගැනීමට නොහැකි වීම මත අවසන් තරගයද ශ්‍රී ලංකා පිල පරාජයට පත්විය.

ලකුණු 275 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජේසන් හෝල්ඩර් විසින් එල්ල කරන ලද හයේ පහරත් සමඟ ජයග්‍රහණය සනාථ වද්දී කොදෙව් ලකුණු පුවරුවේ කඩුලු 5 ක් සහ පන්දු 9 ක් ඉතිරිව තිබිණ.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුව පහර දෙමින් සිටියදී යළිත් මැද පෙළ අසාර්ථක භාවයට පත් වුණු නමුත්, සුපුරුදු පරිදි පසු පෙළින් පුණර්ජීවනයක් ලබා දීමට වනිඳු හසරංග සහ අෂේන් බණ්ඩාර සමත්විය. මොවුන් දෙදෙනාගේ පිතිහරඹය හේතු කොට ගෙන ප්‍රතිවාදී කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ඔවුන්ගේ දැවැන්ත පහරවල් සහිත පිතිකරුවන්ට වැඩි වගකීමක් භාර වීමයි. කෙසේ වෙතත් පන්දු යැවීමේදී කොදෙව් පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකි වීම කැපී පෙනෙන්නක් විය.

පළමු තරග දෙකේදී ශ්‍රී ලංකා පිලට මහත් වදයක් වුණු ආරම්භක පිතිකරුවනු වන එවින් ලුවිස් සහ නිකලස් පූරාන්ව ඉක්මනින් දවා ගැනීමට පන්දු යවන්නන් සමත් වුවත් අඛණ්ඩව 6 වැනි වතාවටත් ලකුණු 50 සීමාව ඉක්මවා ලමින් ලකුණු 64 ක් ලබාගත් ෂායි හෝප් සහ වසර 5 කට පසුව ශතකයක් රැස් කිරීමට ඩැරන් බ්‍රාවෝ සමත්වීම, තරගයේ බලාපොරොත්තු ශ්‍රී ලංකාවට අතහැර දැමීමට ප්‍රධාන හේතු කාරක වූහ.

පන්දු 132 කින් සමන්විත වුණු බ්‍රාවෝගේ ලකුණු 102 ක ඉනිම ඔහුගේ සිව්වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වශයෙන් සටහන් විය. 2016 වසරෙන් පසු ශතකයක් වාර්තා කිරීමට අපොහොසත්ව සිටි වමත් පිතිකරුවා ලකුණු 50 සීමාව ඉක්මවා ගියේදී වසර 2 කට පසුව වීම විශේෂත්වයකි.

නායක කිරන් පොලාර්ඩ් සමඟ 5 වැනි විකට්ටුව වෙනුවෙන් පන්දු 70 කදී ලකුණු 80 ක් එක් කළ බ්‍රාවෝ යග්‍රහණයට ලකුණු 26 ක් තිබියදී දැවී ගිය නමුත් ඒ වන විටත් පන්දු 23 ක් සහ නායකයා කඩුල්ලේ රැඳී සිටීම මත කොදෙව් ජයග්‍රහණය අසීරු නොවීය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් එක් කිරීමට ධනුෂ්ක ගුණතිලක සහ නායක දිමුත් කරුණාරත්න සමත් වුවත් ඔවුන් දෙදෙනාම අර්ධ ශතක හෝ ඉක්මවාලීමට නොහැකි විය. කෙසේ වෙතත් සුපුරුදු පරිදි මැද පෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට නොහැකි වීම ලකුණු 300 සීමාව කරා යෑමට අපොහොසත් වුණු ප්‍රධාන කරුණ බවට පත්විය.

ලකුණු 151 කට කඩුලු 6 ක් වැටී තිබියදී අංක 8 පිතිකරු ලෙසින් පිටියට පිවිසි වනිඳු හසරංගගේ ඉනිම නොවන්නට ශ්‍රී ලංකාවේ තත්ත්වය මීට වඩා අසීරු වන්නට ඉඩ තිබිණ. ජේසන් හෝල්ඩර් යවන ලද අවසන් පන්දුවාරයේදී හතරේ පහර 3 ත් හයේ පහරත් සමඟ ලබා ගන්නා ලද ලකුණු 20 ත් සමඟ ශ්‍රී ලංකාවට සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවකාශ විවර විය.

පන්දු 60 කදී වාර්තා වුණු වනිඳුගේ නොබිඳුණු ලකුණු 80 ක ඉනිම ශ්‍රී ලංකාව වෙනුවෙන් අංක 8 ස්ථානයේ පන්දුවට පහර දී තිබෙන පිතිකරුවකු විසින් වාර්තා කර ඇති ඉහළම ලකුණු සංඛ්‍යාවේ ශ්‍රී ලංකා වාර්තාව බවට පත්විය. මීට පෙර එම වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගනිමින් එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ ලකුණු 73 ක් ලබා සිටි නුවන් කුලසේකර විය.  

වනිඳුගේ ඉනිම ප්‍රධාන කොට අවසන් පන්දුවාර 5 ඇතුළත ලකුණු 63 ක් ලබා ගැනීමේ අවස්ථාව උදා වුණු අතර එහිදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් වනිඳුගේ පිත්තෙන් එල්ල කර තිබුණේය. 7 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 123 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ඔහුට අනගි සහායක් ලබා දුන් අෂේන් බණ්ඩාර පන්දු 74 කදී හතරේ පහර 3 ක් සහ එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 55 ක් ලබා ගත්තේය. දෙරට අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන මාර්තු 21 වැනිදා ආරම්භ වන අතර ඊට පෙර ශ්‍රී ලංකා පිල දෙදින පුහුණු තරගයකට කූලිජ්හිදී සහභාගිවීමට නියමිතය. එම පුහුණු තරගය 17 සහ 18 යන දෙදිනදී පැවැත්වෙනු ඇත.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest