slc
logo
Home   |    News
අප්‍රේල් 23, 2021
ශ්‍රී ලංකා පිතිකරුවෝ සාර්ථක හඹා යෑමක

sinhala editor

ශ්‍රී ලංකා පිතිකරුවෝ සාර්ථක හඹා යෑමක

Chamila Karawita reporting from Pallakele

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී තෙවැනි දිනය වූ අද (23 දා) කඩුලු 7 ක් දැවී බංග්ලාදේශය ලබා ගත් ලකුණු 541 ට පිළිතුරු සොයා යන ශ්‍රී ලංකා කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 229 ක් ලබා ලබා සාර්ථක හඹා යෑමක් සඳහා වන අඩිතාලම දමා ගත්හ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට බංග්ලාදේශ පළමු ඉනිම අභිබවා යෑමට අවශ්‍ය වන්නේ තවත් ලකුණු 312 ක් පමණි.

කඩුලු 7 ක් අතැතිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලිකම බලාපොරොත්තුව වන්නේ පිට පිටම ඉනිමක පරාජයෙන් බේරීම සඳහා අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ගැනීමය. ඒ සඳහා තවත් ලකුණු 112 ලබාගත යුතුව තිබේ. අවසන් පන්දුවට සීමා ඉරෙන් ඉදිරියට පැන ධනංජය ද සිල්වා එල්ල කරන ලද හතරේ පහරත් සමඟ සිව්වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාවය ලකුණු 39 ක් දක්වා පරිවර්තනය විය.

දිමුත් කරුණාරත්න පන්දු 211 කට මුහුණ දෙමින් ලකුණු 85 ක් ලබා සිය 11 වැනි ටෙස්ට් ශතකය පෙනෙන මානයට පැමිණ සිටියි. ඔහුට අනගි සහායක් ලබා දෙමින් සිටින ධනංජය ද සිල්වා පන්දු 30 කදී ලකුණු 26 ක් ලබා සිව්වැනි දිනටත් පන්දුවට පහරදීමේ අවස්ථාව උදාකරගෙන සිටිති. මොවුන් දෙපළ කඩුල්ලේ රැඳී සිටීම ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු වැඩි කරවන්නක් බවට පත්ව තිබේ.

තරගයේ අවසන් පැය භාගය ඇතුළත පන්දුවේ හැසිරීම තරමක වික්ෂිප්ත හැඟීමක් ඇති කරවන්නක් විය. ඇදහිය නොහැකි ඉපිලීමක් සහිතව තරමක් දඟ කැවුණු තයිජුල් ඉස්ලාම් විසින් යවන ලද 71 වැනි පන්දුවාරයේ පන්දු 2 ක් ඇතුළත පන්දුවට පහර දුන් සහ පන්දු යැවූ කණ්ඩායම් දෙකම තෙවැනි විනිසුරුගේ සහයෝගය ලබා ගැනීම කැපී පෙනින. එහිදී සීමා ඉරෙන් ඉදිරියට පැණ පහරක් එල්ල කිරීමට යෑමේදී එය කරුණාරත්නගේ පා ආවරණයේ වැදුණු අතර අතර දැවී යෑමක් සඳහා කරන ලද ඉල්ලීම රුචිර පල්ලියගුරුගේ මහතා සනාථ කර සිටියේය. එහෙත් පුණරූපණවලට අනුව එය පා ඉන්නෙන් ඈතට යන බව පෙන්නුම් කිරීම නිසා තවදුරටත් පිටියේ රැඳී සිටීමේ වාසනාව දිමුත්ට හිමිවිය. ඊට පන්දු දෙකකට පසුද නැවතත් එවැනිම ආකාරයේ ඉල්ලීමක් දිමුත්ට එරෙහිව සිදු කළද ප්‍රධාන විනිසුරු ලබා දුන් තීරණයේ වෙනසක් කෙසේ වෙතත් තෙවැනි විනිසුරු විමසීම සඳහා හිමි අවස්ථා 3 න් එක්ක් බංග්ලාදේශ පිලෙට අහිමිවූවේය.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී තණතීරුවේ වාසිය පන්දු යවන්නන්ට හිමිවූ බව පැහැදිළිවම පෙන්න්නට තිබූ කරුණක් වූ හෙයින් එහිදී ඔවුන් සමඟ එකට එක කිරීමට නොගොස් පාදයක් පසුපසට ගෙන ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා නායකයා කටයුතු යෙදූ හෙයින් තරගය අවසන් වන තෙක්ම බරපතල හානියක් ශ්‍රී ලංකා ඉනිමට සිදු නොවීය.

බංග්ලාදේශ පිල ලබා දුන් දැවැන්ත ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 114 ක් එක් කළහ. එහෙත් තේ පානයට පෙර යවන ලද අවසන් පන්දුවේදී ළහිරු තිරිමාන්න කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

මෙහෙදි හසන් විසින් මැද ඉන්නේ සිට කඩුල්ල තුළට එවන ලද පන්දුවට ආරක්ෂිත පහරක් එල්ල කිරීමට යෑමේදී පන්දුව පිත්ත පරයා පා ආවරණයේ වැදිණ. කරන ලද ඉල්ලීමට ප්‍රධාන විනිසුරු රුචිර පල්ලියගුරු මහතා එය දැවී යෑමක් ලෙස සංඥා කළද සිය නායකයාගේ අවසරය මත එම තීරණය තිරිමාන්න අභියෝගයට ලක් කළේය. පුණරූපණවලට අනුව එය පා ඉන්නේ අගිසි කොටසේ වැදීයන්නක් ලෙස දිස්වූයෙන් ප්‍රධාන විනිසුරුගේ තීරණයෙහි වෙනසක් සිදු නොවීය.

පළමු කඩුල්ල වෙනුවෙන් අද දිනයේදී ලකුණු 114 ක සම්බන්ධතාව හැරුණු කොට කොදෙව් පිලට එරෙහිව අවසන් වතාවටත් ක්‍රීඩා කරන ලද ඉනිමේදීද මොවුන් යුගලය ලකුණු 100 කට අධික සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත්වූහ. එම දක්ෂතාවය වාර්තා පොත් අතරට එක් වූයේ අවුරුදු 14 කට පසු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයක් පිට පිට ඉනිම දෙකකදී ලකුණු 100 කට වඩා ලකුණු සම්බන්ධතාවයක් පැවැත්වූ පළමු අවස්ථාව වශයෙනි. තිරිමාන්නගේ 10 වැනි අර්ධ ශතකය ලෙසින් සටහන් වුණු ලකුණු 58 කින් සමන්විත මෙම ඉනිම සඳහා ඔහු පන්දු 125 කට මුහුණ දුන්නේය. එම ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත් විය.

තෙවැනි දිනය ආරම්භයේදී තවත් මිනිත්තු 90 ක කාලයක් පිති හැසිරවූ බංග්ලාදේශ පිතිකරුවෝ යොමු කරන ලද පන්දුවාර 18 දී තවත් ලකුණු 67 ක් ඉනිමට එකතු කරගත්හ. බංග්ලාදේශ කණ්ඩායම ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තුළ කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවටද පත්විය. 2017 වසරේ ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කරන ලද ලකුණු 487 මීට පෙර වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්විය.

අද දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා වූයේ ලිටන් දාස් වන අතර ඔහු 8 වැනි අර්ධ ශතකය වාර්තා කර ගැනීමත් සමඟ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට දැවී ගියේය. කඩුලු රැකී දික්වැල්ල උඩ පන්දුවක් රැක ගැනීමෙන් ලිටන් පිටියෙන් ඉවත් වූ අතර අනතුරුව ක්‍රියාත්මක වුණු විශ්ව ඔහුගේ සිව්වැනි ගොදුර වශයෙන් තයිජුල් ඉස්ලාම්ව දවා ගත්තේය. පළමු දින දෙකේදීම කඩුලු දවා ගැනීමට නොහැකි වුණු සුරංග ලක්මාල් ඉනිමේ යවන ලද 35 වැනි පන්දුවාරයේදී පළමු කඩුල්ල වශයෙන් මෙහෙදි හසන්ගේ කඩුල්ල දවා ගත්තේය.

173 වැනි පන්දුවාරයේ අවසානයත් සමඟ බංග්ලාදේශ ඉනිම හමාර කිරීමට නායකයා තීරණය කරද්දී තම අන්තය ආරක්ෂා කරගත් මුෂ්ෆිකර් රහීම් ලකුණු 68 ක් ලබා සිටියේය. 23 වැනි අර්ධ ශතකය ලෙසින් සටහන් වුණු රහීම්ගේ ඉනිම සඳහා පන්දු 156 ක් වැය කර තිබුණේ ඉන් එක් වතාවක් හයේ පහරක්ද 5 වතාවක් හතරේ පහරද එල්ල කරමිනි. මෙම ඉනිමේදී බංග්ලාදේශ පිතිකරුවන් 5 දෙනෙකු ලකුණු 50 ට වැඩියෙන් ලබා ගැනීමට සමත්වූ අතර එය බංග්ලාදේශ ටෙස්ට් තරග ඉතිහාසයේ එවැනි දක්ෂතාවයක් වාර්තා වුණු තුන්වැනි වතාව ලෙසින් සටහන් විය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]

Pin It on Pinterest

USD United States (US) dollar