slc
Home   |    News
මැයි 13, 2021
“පරදින්න බයේ ක්‍රීඩා කළොත් කවදාවත් අපිට දිනන්න බෑ” – කුසල් පෙරේරා

sinhala editor

By Chamila Karawita

තරග ජයග්‍රහණය කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ආ ක්‍රම වේදය මේ වන විට කණ්ඩායමෙන් ගිලිහී තිබෙන බවත්, එය නැවතත් යථා තත්ත්වයට පත් කර ගැනීමට නම් ‘නිර්භීතව’ ක්‍රීඩා කළ යුතු බව කුසල් පෙරේරා අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙසින් පත්වීම් ලැබීමෙන් පසු පැවැති පළමු මාධ්‍ය හමුවේදී කුසල් පෙරේරා ඉහත අදහස් පළ කර සිටියේය. එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යන අතර ඒ සඳහා කුසල්ට ලැබී ඇත්තේ තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමකි. එම කණ්ඩායමට එතෙක් කණ්ඩායමේ සිටි දැවැන්තම නම් හිමි ක්‍රීඩකයින් අතර පසුවන ඇන්ජලෝ මැතිව්ස්ගේ සහාය පවා කුසල්ට අහිමිව තිබේ.

දිමුත් කරුණාරත්නගෙන් පසු නායකත්වයට පත් කුසල් පෙරේරා සිය අදහස් දැක්වීම ආරම්භ කරන ලද්දේ මෙලෙසිනි. “ක්‍රීඩකයින් දක්ෂතා අතින් තමන්ගේ 100% ම දෙන්න ඕන. මොකද කවුරු කෝච් කරත් කවුරු කැප්ටන් කරත් ක්‍රීඩකයින් 11 දෙනෙක් ක්‍රීඩා කරන්න ඕන. එතකොට ක්‍රීඩකයින් 11 දෙනාගෙන් ලැබෙන දේ තමයි අන්තිමට කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාවත් එක්ක තරගය දිනනවද පරදිනවද කියන එක තීරණය වෙන්නේ. වඩාත් වැදගත් වන්නේ අපි කොහොමද ඒ දවසේ උපරිමය දෙන්නේ කියන දේයි’ යැයි කුසල් පෙරේරා සඳහන් කර සිටියි.

දිමුත් කරුණාරත්නගෙන් පසු එක්දින කණ්ඩායමේ නායකත්වයට පත් කුසල් දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවකු ලෙස කටයුතු කර තිබුණද කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාවක් නොලැබිණ.

“අපි කාලයක් තිස්සේ කරන් ආපු දෙයක් මේ වන විට අපේ අතින් ගිලිහී ගොස් තියෙනවා. නමුත් අපි බලන්න ඕන කොහොමද ඒක වෙනස් කරන්නේ කියලා. ඒ වෙනුවෙන් පොඩි පොඩි වෙනස්කම් ක්‍රීඩකයින්ට කරන්න සිද්ධ වෙනවා” යි කුසල් අදහස් දක්වයි.

“මම දකින විදියට අපිට තරග දිනන්න නම් අපි ‘නිර්භීතව” ක්‍රිකට් ගහන්න ඕන. මොකද මැච් එකක් පරදින්න බයේ අපිට දිනන්න බෑ. තමන්ගේ ස්ථානය ආරක්ෂා කරගන්න ක්‍රිකට් ගැහුවොත් වෙන්නේ අපේ උපරිමය කණ්ඩායමට නොලැබී යෑම. නිර්භීතව ක්‍රීඩා කළොත් අපිට සමහර වෙලාවට ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මම කණ්ඩායමේ අයට කියන්නෙත් තමන්ට 100% කින් දෙන්න පුලුවන් දේ බය නැතුව ගිහිල්ලා කරන්න කියලා. සමහර වෙලාවට වරදින්න පුලුවන්. නමුත් ගොඩක් වෙලාවට ඒ දේ හරියන්න පුලුවන්. මොකද අපි පුහුණුවීම් කරනකොට ගොඩක් වෙලාවට කරන්නේ බය නැතුවනේ. ඒ දේම අපි මැදට ගිහිල්ලා කළොත් අපිට සාර්ථකත්වයට පත් වෙන්න පුලුවන්” යැයි නව එක්දින නායකයා තරග ජයග්‍රහණය කිරීමේදී අනුගමනය කළ යුතු මතය ඉදිරිපත් කර සිටියේය.

ඉතා වේගයෙන් පන්දුවට පහර දීමට දක්ෂතාවයක් දක්වන වමත් පිතිකරුවා ටෙස්ට් තරග අංශයේදීද මෙතෙක් ලොව හොඳම ටෙස්ට් ඉනිමට හිමිකම් කියන්නේය. දකුණු අප්‍රිකාවට එරෙහිව 2019 වසරේදී ඩර්බන්හි පැවැති ටෙස්ට් තරගය ජය ගැනීම වෙනුවෙන් කුසල් පෙරේරා පන්දු 200 කදී නොදැවී රැස් කරන ලද නොබිඳුණු ලකුණු 153 ක ඉනිම එම ඉනිම බවට පත්විය. එක්දින තරග අංශයේදීද වේගවත්ම අර්ධ ශතකයට හිමි වාර්තාව සමඟ සම තැන් ගෙන සිටින කුසල්, පිටිය තුළ ‘නිර්භීතව’ ක්‍රීඩා කළ හැක්කේ කෙසේද යන්න වැඩිදුරටත් කරුණු පැහැදිළි කර සිටියේය.

“අපි අපේ පුහුණුවීම් කරන්න ඕන බය නැතුව ක්‍රීඩා කරන්න. තමන්ට 100% ක් විශ්වාසයක් තියෙන්න ඕන ගහන පාර ගැන. එහෙම වුණත් සමහර වෙලාවට ඒ ගහන පාර වරදින්න පුලුවන්. නිර්භීතව ක්‍රීඩා කරන්න නම් තමන්ට තියෙන දක්ෂතාවය කොපමණද කියන එක, ඒ වගේම දුර්වලතාවය මොකද්ද කියන එක දැන ගන්න ඕන. මොකද මට කොයි තැනට වැටුණොත්ද ගහන්න පුලුවන්. කොයිතැනට ගැහුවොත්ද මට අමාරු වෙන්නේ  වගේ අවබෝධතාවයක් තිබ්බොත් අපිට ලේසියි නිර්භීතව පිටියේ හැසිරෙන්න. පන්දු යවන්නෙක් වුණත් දැන ගන්න ඔන කොයි බෝලෙද විකට් ගන්න පුලුවන් කොයි බෝලෙද ඩොට් බෝල් දාන්න පුලුවන් කියලා. අන්න ඒ වගේ අවබෝධතාවක් තිබ්බොත් අපිට නිර්භීතව ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුලුවන්” යි කුසල් වැඩිදුරටත් කරුණු දක්වා සිටියි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 96 කට සහභාගිවී ඇති කුසල් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 31.04 ක් රඳවා තබා ගෙන සිටින්නේ ප්‍රාහාරාත්මක වේගය 92.04 ක් ලෙසින් තබා ගනිමිනි.

“මාව නායකත්වයට පත් කරනකොට ඔවුන් (තේරීම් කමිටුව) හිටියේ නවකයින්ට අවස්ථාව දෙන්න ඕන කියන තැන. එතකොට මගෙන් එයාලා බලාපොරොත්තු වෙන්නේ, නැත්නම් මට ඇඩ්වයිස් කළේ. මම ගොඩක් වෙලාවට ලකුණු 50- 60 ගහලා අව්ටු වෙනවා. එයාලා කියන්නේ මට ඒක ලකුණු 100 දක්වා රැගෙන යන්න කියලා. මාත් ඒක පෞද්ගගලිකවම පිළිගන්නවා. මම 50 ක් හරි 60 ක් හරි ගහලා අවුට් වෙනවට වැඩිය 100 ක් ගැහුවොත් මැච් එකක් දිනන චාන්ස් එක වැඩියි. හැම මැච් එකේම 100 ඒවා ගහන්නත් බෑ. නමුත් අපිට හොඳ ආරම්භයක් එකක් තරගයක වගකීමක් අරගෙන ගහන්න පුලුවන් තරගය හොඳින් ඉවර කරන්න පුලුවන් කියන තැන මමත් ඉන්නවා” යැයි නායකත්වය ලබා දීමේදී තේරීම් කමිටුව තමන්ගෙන් වන බලාපොරොත්තුව පිළිබඳව විස්තර කර සිටියේය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest