slc
logo
Home   |    News
මැයි 25, 2021
රහීම්ගේ පිතිහරඹය ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ දමයි

sinhala editor

තරගාවලියේ ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න තෙවැනි තරගය තෙක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වුණු දෙවැනි එක්දින තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා පිල තබා තිබූ සියලු බලාපොරොත්තු බිඳ දැමූ මුෂ්ෆිකර් රහීම් සියලු බර තම උරහිසට ගනිමින් ලකුණු 103 ක ජයග්‍රහණයක් කරා බංග්ලාදේශ කණ්ඩායම අද (25 දා) රැගෙන ගියේය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම බංග්ලාදේශ කණ්ඩායම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගත්තේය. මෙම ජයග්‍රහණය සටහන් වනුයේ ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශ පිල ලත් පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය වශයෙනි.

විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වුණු අද තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 247 ක ඉලක්කයක් කරා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ 40 වැනි පන්දුවාරය අවසන් වීමත් සමග තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. ඒ වන විටත් බංග්ලාදේශ ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ අවසන් කඩුල්ල පමණණි. 40 වැනි පන්දුවාරයේදී ජයග්‍රහණයට සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 245 ක් ලෙසින් ඉලක්කය වෙනස් වූ අතර ඒ වන විටත් ශ්‍රී ලංකා පිල කඩුලු 9 ක් දැවී රැස්කරගෙන සිටියේ ලකුණු 141 ක් පමණි.

මුෂ්ෆිකර් රහීම්ගේ ලකුණු 125 ක වටිනා ශතකය ප්‍රධාන කොට මෙම තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට බංග්ලාදේශ පිල සමත්වීමත් සමග 2023 වසරේ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීඹ සඳහා වන ලෝක කුසලාන සුපිරි ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමටද ඔවුන්ට අවස්ථාව උදාවිය. ඔවුහු තරග 8 කදී ප්‍රසාද ලකුණු 50 ක් ලබමින් එම සටහනේ ඉදිරියට පැමිණෙද්දී මේ වන විට තරග 5 කට ක්‍රීඩා කළද එකම ජයග්‍රහණයක් හෝ ලබා නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම, එකම ජයග්‍රහණයක් හෝ ලබා ගැනීමට අපොහොසත් එකම කණ්ඩායම බවට පත්ව සිටියි.

තරගය පිළිබඳව කතා කිරීමේදී පන්දු යවන්නන්ගේ දක්ෂතා හැරුණු විට ශ්‍රී ලංකා පිලේ ගත හැකි වෙන කිසිවක් නොවීය. පිතිකරුවන් යැයි නම් දරා සිටින සියල්ලන්ගේ අසාර්ථක භාවය මෙම අවාසනාවන්ත පරාජයේ ප්‍රධාන මූලාශ්‍ර බවට පත්වූවේය. මැද පෙළ පිතිකරුවන්ගේ දැඩි අසාර්ථක භාවය කොතෙක්ද යත් ලකුණු 71 කට කඩුලු 2 ක්ව තිබූ ශ්‍රී ලංකා ඉනිමේ පිතිකරුවන් හත් දෙනෙකු ලකුණු 51 කදී දැවී යෑම කණගාටුදායක විය.

එම ලකුණු සංඛ්‍යාව හඹා යෑමේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට කිසිම ඉඩක් ලබා නොදුන් මෙහෙදි හසන් සහ මුස්තාෆිසුර් රෙහ්මාන් දැවී ගිය කඩුලු 9 න් 6 ක් සමව බෙදා ගත්තේය. පිත්තෙන් නොහැකි වූ විට පන්දුවෙන් හෝ දස්කම් දැක්වීමට සමත් ශකීබ් අල් හසන් කඩුලු 2 ක්ද දවා ගනිමින් බංග්ලාදේශ ජයග්‍රහණය ඉක්මන් කළේය. දෙවැනි කඩුල්ල ලෙසින් ධනංජය ද සිල්වාව දවා ගැනීමට ශක්බී සමත්වීමත් සමග බංග්ලාදේශය වෙනුවෙන් එක්දින තරග අංශයේ වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව සම කිරීම මෙන්ම තනි ක්‍රීඩාංගණයක වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ඇති පන්දු යවන්නාගේ වාර්තාව සම කිරීමට සමත්වීම තරගයේ කැපී පෙනෙන සිදුවීමක් විය.

අද දිනයේදී ශක්බී සම කරන ලද්දේ බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන සිටියේ මෂ්රෆී මොර්ටාස් (269) සහ එක් ක්‍රීඩාංගණයක වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගෙන සිටින පාකිස්තානු ක්‍රීඩක වසීම් අක්‍රම් (122 -සාජා ක්‍රීඩාංගණය) ලබා තිබූ කඩුලු සංඛ්‍යාව විය. පන්දුවට පහර දෙමින් සිටියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හිසේ වැදීම නිසා යළි පිටියට පිවිසීමට අෆීෆ් හොසේන්ට නොහැකි වූයෙන් ඒ වෙනුවෙන් වන ‘අනුප්‍රාප්තික’ ක්‍රීඩකයා ලෙසින් පන්දු යැවීමට පිවිසි ටස්කින් අහමඩ් කඩුලු ලබා ගැනීමට අසමත් වුවද තම පන්දුවාර 8 ලකුණු 27 කට සීමා කිරීමට සමත්වූවේය. ක්‍රීඩකයකුට පිටිය තුළදී සැලකිය යුතු මට්ටමේ ආබාධයකට ගොදුරු වීමේදී ඒ සඳහා අනුප්‍රාප්තකයකු ක්‍රීඩා කරවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අවසරය ලබා දී තිබේ. ඒ අනුව වසර 50 කට ආසන්න එක්දින තරග ඉතිහාසයේ පළමු ‘අනුප්‍රාප්තික’ ක්‍රීඩකයා වීමේ විරළ වාර්තාව ටස්කින් අහමඩ්ගේ නම ඉදිරියෙන් වාර්තා වනු ඇත.

පළමු තරගයේදී ලකුණු 84 ක් ලබා ගත් රහීම් අද දිනයේදී සිය එක්දින තරග දිවියේ 11 වැනි ශතකය රැස් කරගත්තේය. පන්දු 127 කදී ලකුණු 125 ක් ලබා ගත් මුෂ්ෆිකර් රහීම් බංග්ලාදේශයට කළින්ම තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා වුණු සාදයේ ප්‍රධාන නියමුවා බවට පත්වෙමින් තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.

ඩකා ක්‍රීඩාංගණයේදී සහෝදර ක්‍රීඩකයින්ට පිතිකරණයේ රිද්මයක් ගොඩ නඟා ගත නොහැකිව අඩු ලකුණු ලබා පිටියෙන් ඉවත්ව යද්දී ධෛර්යවන්ත වුණු රහීම් මෙතෙක් දිවියේ ලද අත්දැකීම් මනාවට ප්‍රයෝජනයට ගනිමින් ලකුණු රැස් කිරීමේ කාර්යයේ නිරත වූවේය. ඒ ඉනිම මත එතෙමින් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 247 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දීමට බංග්ලාදේශ පිලට අවස්ථාව උදාවිය. දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය ලබන 28 වැනිදා පැවැතවෙනු ඇත.

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

USD United States (US) dollar