slc
Home   |    News
ජූනි 24, 2021
එංගලන්තය පෙරමුණ ගනියි

sinhala editor

තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ අද (23 දා) රාත්‍රියේ පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ සත්කාරක එංගලන්ත කණ්ඩායම තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය.

විස්සයි-20 තරගයක් ජය ගැනීමට තරම් ප්‍රමාණවත් නොවුණු අතිශය දුර්වල වූ ලකුණු 130 ක ඉලක්කයක් හඹා ගිය ජොස් බට්ලර් ප්‍රමුඛ එංගලන්ත පිතිකරුවෝ 17 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදී සපුරා ගන්නා ලද්දේ ලකුණු පුවරුවේ තවත් පන්දු 17 ක් සහ කඩුලු 8 ක් ඉතිරිව තිබියදීය.

ආරක්ෂා කර ගැනීමට තරම් ඉලක්කයක් නොවූයෙන් දැඩි පීඩනයක් යටතේ පන්දු යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් වනිඳු හසරංග තම පන්දුවාර 4 ලකුණු 12 කදී නතර කර ගැනීමට සමත්වද්දී දුෂ්මන්ත චමීර සහ ඉසුරු උදාන පන්දුවාරයකට ලකුණු 8 කට වඩා අඩුවෙන් තබා ගනිමින් ඉලක්කය ආරක්ෂා කර ගැනීමට දැඩි උත්සාහයක් ගත්හ.

එහෙත් සිය දේශීය තත්ත්වයන් සිය වාසියට හරවා ගත් එංගලන්ත ආරම්භක පිතිකරුවන් පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ලකුණු 10 කට වඩා වේගයක් රඳවා ගනිමින් ලකුණු 61 ක් රැස් කිරීමට සමත්වූහ. එතැනින් නොනැවතුණු ජොස් බට්ලර් සහ ජේසන් රෝයි දෙපළ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 80 ක් දක්වා ඉහළ දමන ලද්දේ පන්දු 55 ක් පමණක් වැය කරමිනි.

පන්දු 22 කදී වේගවත් ලකුණු 36 ක් ලබා සිටි ජේසන් රෝයි දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ධනුෂ්ක ගුණතිලක අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගියද සිය පිතිහරඹය අත් නොහළ බට්ලර් එංගලන්ත ජයග්‍රහණය සනාථ වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටියේ පන්දු 55 කදී ලකුණු 68 ක් රැස් කර ගනිමිනි. හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමඟින් බට්ලර් රැස් කළ ඉනිම ඔහුට තරගයේ වීරයා සම්මානයද ගෙන දුන්නේය.

එංගලන්ත දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඩේවිඩ් මාලන්ගේ කඩුල්ල දවා ගැනීමට ඉසුරු උදාන සමත් වුවත් ඒ වන විටත් ශ්‍රී ලංකා පිලට සිදුකළ යුතු විනාශය ඔවුන්ගේ පන්දු යවන්නන් මෙන්ම ආරම්භක පිතිකරුවන් යුගලය සිදුකර තිබුණි.

කාසියේ වාසියත් සමඟ කිසිදු පැකිළීමකින් තොරව පළමු පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නායක කුසල් පෙරේරා තීරණය කළේය. එහෙත් ශ්‍රී ලංකාවට ලැබුණේ එතරම් සුභදායී ආරම්භයක් නොවන අතර දෙවැනි පන්දුවාරයේදීම අවිෂ්ක ප්‍රනාන්දු දැවී ගියේය. එම දැවී යෑමන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට හිස එසවීමට ඉඩ ලබා නොදුන් එංගලන්ත පන්දු යවන්නෝ ලකුණු 50 ක් ලකුණු පුවරුවට එකතු වද්දී ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනෙක්ම නරඹන්නන් බවට පත් කළහ.

සිය සගයන් දැවී යන ආකාරය එක් අන්තයකට වී බලා සිටි නායක කුසල් පෙරේරා, දසුන් ශානක සමඟ එක්ව ඉනිම ගොඩ නැංවීමට උත්සාහ දැරුවද අදිල් රශීඩ්ගේ පන්දු යැවීම ඊට හරස් විය. සීමා ඉරෙන් ඉදිරියට පැමිණ ලෝන් ඕෆ් කළාපයට ඉහළින් පන්දුව යැවීමට කුසල් පෙරේරාගේ සැලසුම වුවත් රශීඩ්ගේ යොමු කිරීම ගුග්ලි පන්දුවක් විය. එබැවින් එය කුසල්ගේ පිත්තේ නිසියාකාරව නොදැවටුණු බැවින් එය උඩ පන්දුවක් වශයෙන් ක්‍රිස් ජෝරඩ්න්ගේ දෑත් අතර සිරවන විටත් කුසල් පන්දු 26 කදී ලකුණු 30 ක් රැස් කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් එකම සාර්ථක පිතිහරඹය දියත් කළ දසුන් ශානක පන්දු 44 කදී ලකුණු 50 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ලකුණු සංඛ්‍යාව ගෞරවාන්විත තලයකට රැගෙන ගියේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 කින් වර්ණවත් වුණු දසුන් ඉනිමේ අවසන් පන්දුවේදී දැවී ගියේය. මෙය දසුන්ගේ විස්සයි-20 තරග දිවියේ දෙවැනි අර්ධ ශතකය ලෙසින් වාර්තා විය.  

දසුන් පන්දුවට පහර දීමේදී සෙසු පිතිකරුවන්ගෙන් ලැබිය යුතු සහයෝගය නොලැබී යෑම ලකුණු 150 සීමාව පසු කර ලීමට නොහැකිවීමට හේතු විය. ඊට හොඳම උදාහරණය නම් කුසල් දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා ඉනිමට එකතු වුණු ලකුණු 50 න් 39 ක්ම දසුන්ගේ පිත්තෙන් වාර්තාවීමය.

ඉදිරි පෙළ පිතිකරුවන් අතරින් කුසල් මෙන්ඩිස් (ලකුණු 09) සහ ධනංජය ද සිල්වා (ලකුණු 03 ක්) දෙදෙනාම ලකුණු  පුවරුවට ලකුණු 3 ක් එකතු වන අතරතුරදී දැවී යෑමද ශ්‍රී ලංකා පිලට දරාගත නොහැකි පාඩුවක් බවට පත්විය. දෙරට අතර පැවත්වෙන දෙවැනි තරගය හෙට (24 වැනිදා) කාඩිෆ්හි සොෆියා ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest