slc
logo
Home   |    News
ජූලි 19, 2021
අපරාජිතව සිටීමට ජයග්‍රහණය අතිශය තීරණාත්මක තරගයක්

sinhala editor

By Chamila Karawita

මහත් බලාපොරොත්තු රඳවා ගනිමින් තරග වැදි පළමු තරගයෙන් ඉන්දියාව හමුවේ ලද පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් තරගාවලි පරාජයක් අභිමුවට පැමිණ සිටියි. එබැවින් පළමු තරග පරාජයේ අමිහිරි භාවය සිත් වලින් වියැකී යෑමට පැය 48 ක් මත්තෙන් ශ්‍රී ලංකාව හෙට (20 දා) දිනයේදී යළිත් දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියි. පළමු තරගයේ ලද කඩුලු 7 ක ජයත් සමඟ තරගාවලිය 1-0 ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන සිටින බැවින් තවදුරටත් තරගාවලියේ අපරාජිත භාවය රඳවා ගැනීමට නම් හෙට තරගයේ ජය ශ්‍රී ලංකාවට අනිවාර්ය වේ.

අවසන් වරට සහභාගිවුණු එක්දින තරගවල බොහෝමයක පන්දුවාර 50 ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි වූ වාර බොහොමයක් සටහන් වුවත් නවකයින් රැසකගෙන් සමන්විත පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 කට ලකුණු 262 ක් ලබා පිතිකරණය අතින් කිසියම් ස්ථාවරත්වයක් පෙන්නුම් කිරීමට සමත්ව සිටීම සොම්නසට කරුණකි.

එහෙත් අත්දැකීම් මඳ ශ්‍රී ලංකා පිතිකරුවන්ට වඩා ඉන්දීය කණ්ඩායමේ පිතිහරඹය ඉතා ඉහළ තලයක පැවැතීම මෙම ජය පරාජයේ පැහැදිළිම වෙනස බවට පත්වූවේය. නායක ශිකර් ධවාන්ට අමතරව ප්‍රිතිව් ෂෝ, ඉෂාන් කිෂාන් සහ සූර්යකුමාර් යාදව්ගේ පිතිහරඹයන් ඉතා ඉහළින් පැවැතිණ.

ඒ අනුව බැලීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට වඩා ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන්ගේ විශ්වාසය සෑහෙන ඉහළ මට්ටමක පවතින අතර පන්දුවට පහර දීමේදී කඩුලු අතර දීර්ඝ සම්බන්ධතා ගොඩනංවා ගැනීමට සහ එකම පිතිකරුවකුට හෝ අර්ධ ශතකයක් කරා යෑමට නොහැකිවීම ආදී කරුණු එම පරාජයට බලපෑ සෙසු කරුණු බවට පත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහර දුන් පිතිකරුවන් අතරින් තිදෙනකු ලකුණු 10 සීමාව ඉක්මවාලීමට අසමත් වූ නමුත් සෙසු පිතිකරුවන් හය දෙනා ලකුණු 20 සීමාව ඉක්මවා යමින් ලකුණු රැස් කිරීමට සමත්වූහ. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන ලද පන්දුවාර 50 න් පන්දු 155 කටම මේ පිතිකරුවන්ට ලකුණු ලබා නොගත් පන්දු ලෙසින් මඟ හැරීම දැවැන්ත අභියෝගයක් ලෙස සඳහන් කළ හැකි. ඇතැම් විට එසේ නිලකුණු පන්දු ලෙසින් වාර්තා වුණු පන්දු 155 න් 100 කට එක් ලකුණ බැගින් හෝ ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත්වූයේ නම් ඉන්දියාවට එරෙහිව පළමු තරගයේ ඉලක්කය ලකුණු 362 ක් දක්වා දීර්ඝ කර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකියාව උදාවනු ඇත.

නමුත් දැන් ඒ සියල්ල අතීතයට එකතුව තිබේ. අවශ්‍ය වන්නේ ඉදිරිය සකසා ගැනීමය. මෙහිදී පළමු තරගයේ වූ අඩුපාඩු වලින් පාඩමක් ඉගෙන හෙට තරගයට අවතීර්ණ වීම වැදගත් වනු ඇත. එහිදී මූලිකම අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ පිටියේ වාසිය මුලින් පන්දුවට පහර දෙන කණ්ඩායමටද නැතහොත් හඹා යන කණ්ඩායමටද යන්නය. විදුලි ආලෝකය මධ්‍යයේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දෙවැනියට ලකුණු හඹා යෑම ඉතා පහසු කටයුත්තක් බව අතීත වාර්තාවන් වලදී පැහැදිළිවම දැක ගැනීමට හැකි නමුත් කාසියේ වාසිය දිනා ප්‍රභල පිතිකරුවන්ගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහර දීමට තීරණය කිරීම පිළිබඳව දෙවතාවක් සිතිය යුතු වනු ඇත.

ඉදිරි පෙළින් පන්දුවට පහර දුන් පිතිකරුවන් වන අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ සහ මිනෝද් භානුක පිතිකරණයෙන් කිසියම් ප්‍රගතියක් පෙන්නුම් කළත් තරගය ජය ගැනීමට නම් ඒ අතරින් කෙනෙකු විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යා යුතුය. එසේ වුවහොත් සෙසු පිතිකරවන්ට පීඩනය පාලනය කරමින් නිදහසේ පන්දුවට පහර දීමේ අවස්ථාව උදාවනු ඇත. එසේ නොවුණහොත් ඔවුන්ට ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි වන අයුරින් පන්දුවට පහර දෙනවා වෙනුවට කඩුලු ආරක්ෂා කර ගනිමින් ලකුණු ලබා ගැනීමේ අතිරේක කාර්යයේ වගකීමද කරමත පැටවෙනු ඇත.

එබැවින් අවසන් පන්දුවාරවලදී මැද පෙළ සහ පසුපෙළට වේගයෙන් ලකුණු රැස් කළ හැකි වාතාවරණයක් සකසා දීම ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනා වෙත පැවැරී තිබෙන දැවැන්තම වගකීම වනු ඇත. මේ පිළිබඳව පළමු තරගය අවසානයේ පැවැති මාධ්‍ය හමුවට පැමිණි චාමික කරුණාරත්නද අදහස් දක්වා සිටියේය.

“ඇත්තටම අපේ පිතිකරුවන් හොඳ ආරම්භයක් ලබාගත්තා. ඒත් ඔවුන් කිසිවෙක් ඒවායින් ප්‍රයෝජන අරන් දිගු ඉනිම කරා ගියේ නෑ” යැයි පවසන තුන් ඉරියව් ක්‍රීඩකයා, “ලකුණු 300 ක් හෝ 350 ක් ගහන්න අපිට බැරි කමක් නෑ. ඒත් ඊළඟ තරගවලදී එහෙම වෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා” යැයි ද සඳහන් කර සිටියේය.

“මම පන්දුවට පහර දෙන කොටත් මම ඇහැව්වේ මම ලොකු පාරවල් වලට යන්නද කියලා. ඒත් දසුන් මට කිව්වේ 45 වැනි ඕවරේ වෙනකම් වත් ඉන්න කියලයි. ඇත්තටම ඉදිරි පෙළ පිතිකරුවන් මීට වඩා හොඳට ක්‍රීඩා කරලා තිබුණා නම් අපිට මීට වඩා ආක්‍රමණශීලී පහර කරා යෑමේ අවස්ථාව තිබුණා. එහෙම වුණානම් අපිට ලොකු ලකුණු සංඛ්‍යාවක් කරා යන්නත් අවස්ථාව ලැබෙනවා” යැයිද පස්වැනි එක්දින තරගයට ඊයේ දිනයේදී ක්‍රීඩා කර කරුණාරත්න අදහස් දක්වා සිටියේය.

කෙසේ වෙතත් හෙට තරගයේදී ඉන්දියානු පිලේ කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ විට වෙනස්කමක් හෝ දෙකක් සිදුවීමට ඉඩ ඇත. මන්ද යත් දිගින් දිගටම අවස්ථාව ලබා දුන්නද තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස ඉසුරු උදානට කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන යමක් සිදුකිරීමට නොහැකිවීමයි. ඊයේ දිනයේදීද ඔහුගේ පන්දු යැවීම ඉතා දුර්වල මට්ටමක පැවැති අතර යවන ලද පන්දුවාර 2 දී ලකුණු 27 ක් ප්‍රතිවාදීන් හමුවේ ප්‍රදානය කර තිබුණි. ඒ අතර වයිඩ් පන්දු 3 කින්ද ඉන්දීය ලකුණු පුවරුව තර කිරීමට දායකත්වයක් ලබා දී තිබීම, නිසා තවදුරටත් ඔහුට අවස්ථාවක් ලබා දිය යුතුද යන්න තේරීම් වලදී දෙවතාවක් කල්පනා කළ යුතුය.

සංචිතයේ ඕනෑ තරම් ආදේශකයන් සිටින බැවින් බොහෝ විට ඔහුගේ ස්ථානයට සඳහා වේග පන්දු යවන කසුන් රාජිත හෝ ළහිරු කුමාර ආදේශ කිරීමේ හැකියාවක් පවතිනු ඇතැයි අනුමාන කළ හැක.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක, චරිත් අසලංක, වනිඳු හසරංග, අෂේන් බණ්ඩාර, මිනෝද් භානුක, ළහිරු උදාර, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ශිරාන් ප්‍රනාන්දු, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, ප්‍රවීන් ජයවික්‍රම, අසිත ප්‍රනාන්දු, කසුන් රජිත, ළහිරු කුමාර, ඉසුරු උදාන.

ඉන්දීය කණ්ඩායම – ශිකර් ධවාන් (නායක), භුවනේෂ්වර් කුමාර් (උප නායක), ප්‍රිතිව් ෂා, දෙව්දත් පඩිකාල්, රුටුරාජ් ගයික්වාද්, සූර්යකුමාර් යාදව්, මනීෂ් පාන්ඩේ, හර්දික් පාන්ඩ්‍යා, නිටිෂ් රානා, ඉෂාන් කිෂාන්, සංජු සැම්සන්, යුස්වේන්ද්‍ර චෙහල්, රාහුල් චහාර්, කේ. ගෞතම්, කෘනාල් පාන්ඩ්‍යා, කුල්දීප් යාදව්, වරුන් චක්‍රවර්තී, දීපක් චහාර්, නව්දීප් සයිනි, චේතන් සකරියා.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar