slc
logo
Home   |    News
ජූලි 24, 2021
අවිෂ්ක වීරයා වෙමින් වසර 9කට පසු ශ්‍රී ලංකාව මව්බිමේදී ඉන්දියාව පරදවයි

sinhala editor

By Chamila Karawita

අකිල ධනංජය සහ ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දු යැවීමත් අවිෂ්ක ප්‍රනාන්දුගේ අගනා පිතිහරඹයත් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (23 දා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරග ජයග්‍රහණය ඉන්දියානු පිලකට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමක් සිය මව්බිමේදී වසර 9 කට පසු ලද පළමු ජයග්‍රහණය ලෙසින්ද සනිටුහන් විය.

ශ්‍රී ලංකාව අවසන් වතාවට ඉන්දියාවට එරෙහිව මව්බිමේදී එක්දින තරගයක් ජය ගෙන ඇත්තේ හරියටම මීට වසර 9 කට පෙර එනම් 2012 වසරේ ජූලි 24 වැනිදා හම්බන්තොටදී පැවැති තරගය වේ. මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුතුව පැවැති එම තරගයේ තරගයේ වීරයා ලෙසින් තිසර පෙරේරා සම්මාන දිනා ගත්තේය.

කණ්ඩායම සතු නවකයින්ගේ ශක්තිය උරගා බැලීම සඳහා ක්‍රීඩකයින් පස් දෙනෙකුට එක්දින වරම් හිමිකර දෙමින් අද තරගයට අවතීර්ණ වුණු ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම ලබා දුන් ලකුණු 227 ක ඉලක්කය (ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව) හඹා ගිය ශ්‍රී ලංකා පිල පන්දු 48 ක් ඉතිරිව තිබියදී සපුරා ගන්නා ලද්දේ කඩුලු 7 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

හඹා යෑමේදී පෙරමුණ ගත් අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 98 කදී ලකුණු 76 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ පෙරමුණ ගෙන කටයුතු කළේය.එම ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන්ද අවිෂ්ක ප්‍රනාන්දු පිදුම් ලැබීය. අවිෂ්කට අනගි සහායක් ලබා දුන් භානුක රාජපක්ෂ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක සම්බන්ධතාවයක් ගොඩ නැංවීමට දායකත්වය ලබා දුන්නේය. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවුණු භානුක පන්දු 56 කදී ලකුණු 65 ක් ලබා ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නේය.

එම සම්බන්ධතාවය ප්‍රධාන කොට ශ්‍රී ලංකා කණ්ඩායම විටෙක කඩුලු 3 කට ලකුණු 194 ක් වශයෙන් ප්‍රබල තත්ත්වයක පසු වුවත් හර්දික් පාණ්ඩ්‍යා විසින් චරිත් අසලංකව ලකුණු 24 කට දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකා පිල තරමක් පසුබැස්මක් පෙන්නුම් කළේය. එය තම වාසියට හරවා ගත් මංගල තරගයට ක්‍රීඩා කළ රාහුල් චහර්, මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දසුන් ශානකවද, ඉනිමේ විශ්වාසනීයම පිතිකරුවා බවට පත් වුණු අවිෂ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නගේ කඩුලු දවා ගනිමින් සත්කාරකයින්ට කිසියමක් පීඩනයක් එල්ල කළේය.

එහෙත් රමේෂ් මෙන්ඩිස්ට එක්වුණු පසු පෙළ පිතිකරු අකිල ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ කළහ. මෙම හඹා යෑමේදී ඉන්දීය කණ්ඩායමේ පන්දු රකිනන් අතින් දිස් වුණු දුර්වල පන්දු රැකීමත් උඩ පන්දු 3 ක් අත හැර දැමීමත් ශ්‍රී ලංකාවේ වාසියට හිටියේය. එමෙන්ම අතිරේක ලකුණු ලබා දීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට වඩා ගවු ගාණක් ඉදිරියෙන් සිටි අතර එය සංසන්දනාත්මක බැලීමේදී ශ්‍රී ලංකාව ලකුණු 10 ක් ලබා දෙද්දී ඉන්දීය පිල අතින් ලකුණු 30 ක් ලබා දී තිබිණ.

පළමු පන්දුවාර 4 ඇතුළත ලකුණු 35 ක් රැස් කරමින් වේගවත් ආරම්භයක් ලබා ගනිමින්ද ප්‍රිතිව් ෂෝ සහ සංජු සැම්සන් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක් ලෙසින් සාර්ථක කඩුලු සම්බන්ධතාවයක් පවත්වමින් පහසුවෙන්ම ලකුණු 300 සීමාව ඉක්මවා යෑමට අවශ්‍ය මූලික අඩිතාලම ඔවුන් එක් කළහ. එහෙයින් 23 වැනි පන්දුවාරය අවසන් වන විට තරගය වර්ෂාව හේතුවෙන් අවසන් කරන විටත් ඉන්දීය ඉනිම කඩුලු 3 කට ලකුණු 147 ක් ලෙසින් සටහන්ව තිබිණ.

මිනිත්තු 100 කට ආසන්න ප්‍රමාදවීමකින් පසු පන්දුවාර 47 කට සීමාව ඇරැඹි මෙම ඉනිමේදී  ප්‍රවීන් ජයවික්‍රම සහ අකිල ධනංජයගේ පන්දු යැවීම කැපී පෙනිණ. ඉන්දීය ඉනිම ලකුණු 225 කදී නිමාවට පත් වන විට වමත් සහ දකුණත් දඟ පන්දු යවන්නන් දෙදෙනා කඩුලු 3 බැගින් දවාගත්හ.

සංජු සැම්සන්ව දවා ගත් ජයවික්‍රම, ඉන්දීය පිල අසීරුතාවයට ඇද දැමීමේ ප්‍රධාන දැළ එළීය. ඉන් නොනැවතුණු ඔහු කණ්ඩායම සතු ප්‍රධානතම පිතිකරුවන් යුගලයක් වන මනීෂ් පාන්ඩේ සහ හර්දික් පාණ්ඩ්‍යාගේ කඩුලුද දවා ගත්තේය. මනීෂ් පාණ්ඩේගේ කඩුල්ල දැවී යෑමත් සමඟ ඉන්දීය ඉනිමට කණකොකා හැඬීම ඇරැඹිණ. පාන්ඩේ දැවී යෑමට ප්‍රථම ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 157 ක් ලෙස සටහන්ව තිබූ නමුත් ඉතිරි සියල්ලන්ටම රැස් කරගත හැකි වූයේ ලකුණු 68 ක් පමණි.

ජයවික්‍රමට නොදැවෙනි පන්දු යැවීමක නිරත වුණු අකිල ධනංජය සූර්යකුමාර් යාදව්ගේ කඩුල්ලද දවා ගනු ලැබුවේ සියලු වාසීන් ශ්‍රී ලංකාව වෙත හරවා දෙමිනි. අනතුරුව ක්‍රිෂ්නප්පා ගෞතම් සහ නිතීෂ් රානාවද දවා ගත් අකිල පන්දු වාර 10 දී ලකුණු 44 කට කඩුලු 3 ක් දවා ගනිමින් ඉනිමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූවේය. මංගල තරගයේදී පන්දුවාර 10 ම සම්පූර්ණ කළ වමත් දඟ පන්දු යවන්නා ජයවික්‍රම ලකුණු 59 කට කඩුලු 3 ක් ලෙසින් සිය මංගල පන්දු යැවීම සටහන් කරගත්තේය.

ඊට පෙර ජයවික්‍රමගේ පන්දුවක් හමුවේ යාදව් කඩුල්ල මුවා කර වරදට හසුව දැවී ගිය පිතිකරුවකු බවට ප්‍රධාන විනිසුරු සංඥා කළ අතර එය තෙවැනි විනිසුරු වෙත යොමු කිරීමේදී ඒ සඳහා වැඩි කාලයක් ගතවිය. තමා දැවී ගිය පිතිකරුවකු ලෙස සිතා යාදව් ක්‍රීඩාගාරය වෙත යමින් සිටි අතර තෙවැනි විනිසුරු එය දැවී නොයෑමක් ලෙස සටහන් කිරීම නිසා නැවතත් පන්දුවට පහර දීමේ වාසනාව ඔහුට උදාවිය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉන්දීය පිතිකරුවන් කෙතරම් හොඳින් පාලනය කළේද කිවහොත් යවන ලද පන්දු වලින් 140 ක්ම නිලකුණු පන්දු ලෙසින් යවනු ලැබීය. 78 වතාවක් එක් ලකුණ බැගින්ද, 12 වතාවක් ලකුණු දෙක බැගින්ද එක් වතාවක් ලකුණු 3 බැගින්ද රැස් කරගත් ඉන්දීය ඉනිම, හයේ පහරකින් සහ හතරේ පහර 26 ක් පමණක් ඇතුළත්ව තිබිණ.

අද තරගයේදී වූ සුවිශේෂී සිදුවීම වූයේ ඉන්දීය එකම පිතිකරුවකුට හෝ ලකුණු 50 සීමාව ඉක්මවා ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ කඩ ලබා නොදීමය. ඉන්දියාව වෙනුවෙන් ප්‍රිතිව් ෂෝ (49), සංජු සැම්සන් (46) සහ සූර්යකුමාර් යාදව් (40)  පමණක් ලකුණු 40 සීමාව ඉක්මවා ලබා ගනිද්දී සෙසු පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමට දැඩි වෙහෙසක් ගත්හ.

තරගාවලියේ වීරයා සම්මානයන ඉන්දීය කණ්ඩායමේ සූර්යකුමාර් යාදව් විසින් දිනා ගනු ලැබීය. දෙරට අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ පළමු තරගය මෙම ඉරිදා (25 වැනිදා) ප.ව. 8.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest