slc
Home   |    News
ජූලි 21, 2021
දිනන්න තිබුණු තරගයක් – චරිත් අසලංක

sinhala editor

By Chamila Karawita

අතේ තිබූ දෙවැනි එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලිස්සා ගියේය.  ඒ කඩුලු 3 ක පරාජයක් ලෙසිනි. ඉන්දීය ඉනිමේ 40 වැනි පන්දුවාරය තෙක්ම තරගයේ සමස්ථ වාසියම ශ්‍රී ලංකා කණ්ඩායම සතු වූවත් 8 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය බිඳ දැමීමට පන්දු යවන්නන් අපොහොසත්වීම දෙවැනි තරගයේ පරාජය පමණක් නොව තරගාවලි පරාජයද නවතා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය.

නම් දැරූ පිතිකරුවන් 7 දෙනා මුලු ලකුණු සංඛ්‍යාව 193 ක් තිබියදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වන විට ඉන්දීය ජයග්‍රහණය සඳහා ලකුණු 83 ක් අවශ්‍යව විය. පන්දු 89 ක් ඒ සඳහා ඉතිරිව තිබුණද කණස්සල්ලට කරුණ වූයේ ඉන්දීය කණ්ඩායම සතුව ඉතිරිව තිබුණේ අවසන් පිතිකරුවන් තිදෙනා වීමය. කෙසේ වෙතත් දීපාක් චහර්ට එක්වූ භුවනේෂ්වර් කුමාර් 8 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු සම්බන්ධතාවයක් පවත්වමින් පන්දු 5 ක් ඉතිරිව තිබියදී ඉන්දීය ජයග්‍රහණය සනිටුහන් කිරීමට සමත්වූ බැවින් ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයකට මුහුණ දීමට සිදුවිය.

“ගොඩක් කණගාටුයි රිසාල්ට් එක ගැන. හැබැයි හිතනවා දිනන්න තිබ්බා කියලා. අපිට වැරදින්න කළින් ඒ දෙන්නා හොඳට බැට් කළා. ඒ දෙන්නට ගෞරවය යන්න ඕන. ඒත් තව පන්දු යවන්නෙක් තව කඩුල්ලක් දෙකක් අරන් වනිඳුට සහයෝගය ලබා දුන්නා නම් මීට වැඩිය වෙනස් කතාවක් වෙන්න තිබුණා” යි වේදනාත්මක පරාජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක අදහස් දක්වා සිටියේය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක පන්දු 68 කදී ලකුණු 65 ක් ලබා ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය බවට පත් වූවේය. ඔහුගේ ඉනිම වටා සෙසු පිතිකරුවන් ගොඩ නැගෙද්දී පන්දුවාර 50 අවසනදී ලකුණු 275 ක අභියෝගයක් ඉන්දියාව හමුවේ එල්ල කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. මෙහිදී පසු පෙළින් පැමිණි චාමික කරුණාරත්න පන්දු 33 කදී නොදැවී රැස් කරන ලද ලකුණු 44 ද අමතක කළ නොහැක.

“මේ පරාජයේදී කණ්ඩායමේ සාමාජිකයින් මෙන්ම පුහුණු අංශයත් ගොඩක් හැඟුම් බර වුණා. තරුණ කණ්ඩායමක්, ජයග්‍රහණ අඩුවෙන් ලබපු කණ්ඩායමක් වුණත් රට වෙනුවෙන් ක්‍රීඩා කරලා තරගය ජය ගන්න තමයි හැමෝටම ඕන වුණේ. ඒ බව හැමෝම දකින්න ඇති. හැමෝම එකතුවෙලා ගොඩක් ලොකු උත්සාහයක් දැරුවා. නමුත් අවසානාවන්ත විදියට අපිට ජයග්‍රහණය කරන්න බැරි වුණා. ගොඩක් දුකයි” යි තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී අසලංක අදහස් දක්වා සිටියේය.

ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දුවාර 10 තුළදී ලකුණු 67 ක් අවශ්‍ය වූ අතර එය නවතාලීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම වූයේ පන්දු සහ ලකුණු පරතරය අඩුකර ගැනීම බව එහිදී අසලංක සඳහන් කර සිටියේය.

“ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කරන එක ගැන තමයි අපි අවධානය යොමු කළේ. නමුත් එයාලා කඩුලු දවා ගන්න අවස්ථාව ලබා දුන්නේ නෑ. ඔවුන් වනිඳුට පරිස්සමින් ක්‍රීඩා කරලා අනිත් අයට ලකුණු ලබාගන්න තමයි එයා ප්ලෑන් එක හදලා තිබුණේ. ඒක සාර්ථක වුණා. මං දකින විදියට වනිඳුරට ඔවුන් ලකුණු ගන්න ගියානම් සමහර විට තරගය ඔවුන් පරාජයට පත් වන්නත් ඉඩ තිබුණා”

“ඒත් නොම්මර 8 යි 9 යි බැට්ස්මන්ලා ඇවිල්ලා පන්දුවට පහර දෙනවා කියන්නේ පන්දු යවන්නන් විදියට අපි තව ටිකක් ඉගෙන ගන්න වෙනවා. විශේෂයෙන් එයාලව කොහොමද හසුරුවන්නේ කොහොමද එයාලට බෝල් කරන්නේ කියන එක ගැන. කණ්ඩායමක් විදියට මේක හොඳ අත්දැකීමක්” යැයි පවසන අසලංක “වැරදුණ වෙලාවෙදි අපිට ගොඩක් දේවල් හිතෙනවා. තනි තනියෙන් ගත්තත් කණ්ඩායමක්විදියට ගත්තත් ඒ වගේ දේවල් හිතෙනවා. මෙහෙම වුණා නම් හොඳයි කියලා අපිත් ඒවා කතා වෙනවා. නමුත් ඒ වෙලාවේ ගන්න තීරණය කණ්ඩායමත් එක්ක එකතු වෙලා ගන්නේ. ඒක තමයි ඇත්ත කතාව” යැයි තියුණු තරගයකින් පසු ලද පරාජය සම්බන්ධව අසලංක වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest