slc
Home   |    News
ජූලි 17, 2021
ධවාන්ගේ පි‍ල හෙට පළමු සටනේදී දසුන්ගේ පිල හමුවෙයි

sinhala editor

By Chamila Karawita

2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම ක්‍රීඩා කිරීම සඳහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය වන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සිව්වැනි තරගාවලිය වන ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වැන්න සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (18 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ඇත. දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය ප.ව. 3.00 ට ආරම්භ වේ.

ඉදිරි ක්‍රිකට් අනාගතය සාර්ථක කරගැනීමේදී තරුණ ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් පිළිබඳව විශ්වාසය තබමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට නවක ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත අවතීර්ණ වද්දී ඉන්දීය කණ්ඩායමද පූර්ණ සංයුතියට නවක ජවයද මුසු කරමින් තරගාවලියට අවතීර්ණ ව සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට පිවිසෙන්නේ එංගලන්තයට එරෙහිව එක්දින සහ විස්සයි-20 තරගාවලි දෙකම පරාජයට පත්වීමෙන් පසුවය බව පිළිගත යුතුය. එහෙත් හෙට තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඳවුරු බඳින ඉන්දීය කණ්ඩායමේ එකම ක්‍රීඩකයකු හෝ අවසන් වතාවට තරගයට ක්‍රීඩා කර ඇත්තේ දින 44 කට ඉහතදී හෙවත් අතරමඟදී නවතා දමන ලද එල්.පී.එල්. තරගාවලියේදීය.

ඉකුත් ජුනි 28 වැනිදා ශ්‍රී ලංකාවට ගොඩ බැසි ඉන්දීය කණ්ඩායම මෙහි පැමිණීමට ප්‍රථම ඉන්දියාවේදී ද දින 10 ක කාලයක් නීරෝධායනය වී පැමිණි අතර ශ්‍රී ලංකාවට බට දිනයේ පටන් පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ ඉකුත් 13 වැනිදා දක්වා වූ  කාලය ඇතුළත කණ්ඩායම දෙපිළකට බෙදී වූ තරග කීපයකටම කොළඹ එස්. එස්. සී. පිටියේදී සහභාගිවිය.

එහෙත් ආරම්භවීමට නියමිතව තිබූ දිනට වඩා තරගාවලිය තවත් දින 5 ක් ප්‍රමාදයට පත්වීම නිසා එම පුහුණුවීම් හරහා ඉන්දීය පිල ශ්‍රී ලංකාවේ වූ දේශීය තත්ත්වයන් වලට වෙනදාට වඩා වැඩි අත්දැකීම් ලබා ගැනීමට සමත්ව සිටියි.

ඉන්දියාවේ පුහුණුවීම් පිළිබඳ වූ තත්ත්වය එවන් තලයකට පවතිද්දී එංගලන්ත තරග සංචාරය නිමවා යළි සිය රට බලා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට කොවිඩ් 19 වසංගතයෙන් බලපෑම් ඇතිවීම නිසා තරගයට පෙර පූර්ණ කණ්ඩායමක් වශයෙන් පුහුණුවීම්වල නියැළීමට අවකාශය හිමිවූයේ හරියටම දින 3 ක් පමණි. ඊට පෙර දින 2 ක් පුහුණුවීම් වල නිරත වීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණද ප්‍රධාන පුහුණුකරුවන් කිසිවකුත් රහිතව සහ කුඩා කණ්ඩායම් වශයෙන් පමණක් පුහුණු කටයුතුවල නියැළීමට පමණක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවස්ථාව උදාවිය.

ශිකර් ධවාන්ගේ නයාකත්වයෙන් යුතුව පැමිණ සිටින ඉන්දීය කණ්ඩායමටද මෙම තරගාවලිය ඉතාමත් වැදගත් තරගාවලියක් බවට පත්ව ඇත්තේ ධවාන්ගේ නායකත්වයේ ලක්ෂණ පිළිබඳව මෙන්ම කණ්ඩායම සතු නවකයන් ජාත්‍යන්තරයේදී කෙතරම් හොඳට දක්ෂතා දැක්වීමට සමත්වන්නේ දැයි වූ මැන බලා ගැනීමටය.

ධවාන්ට අමතරව සුදු පන්දුවෙන් ක්‍රීඩා කිරීමේදී විශේෂඥ දක්ෂතාවයන් පෙන්නුම් කෙරෙන ක්‍රීඩකයින් ලෙසින් හැඳින්වෙන හර්දික් පාණ්ඩ්‍යා, මනීෂ් පාන්ඩේ, සූර්යකුමාර් යාදව්, යුස්වේන්ච්‍ර චෙහල්, කුල්දීප් යාදව් සහ උප නායක භුවනේෂ්වර් කුමාර් යන ක්‍රීඩකයින්ගෙන් සමන්විත වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් බැලූ විට ඉදිරි පෙළ ප්‍රහාරාත්මක පිතිකරුවා වන කුසල් ජනිත් පෙරේරාගේ සේවය හෙට දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිව තිබෙන නමුත් පිට කොන්දේ ඇතිවූ ආබාධයකට සී.ටී. ස්කෑන් පරීක්ෂණයකට භාජනය කෙරුණු උප නායක ධනංජය ද සිල්වා සහභාගිවනු ලබන බව හෙට තරගය පිළිබඳව පැවැත්වුණු මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක අදහස් දක්වා සිටියේය.

“එයාගේ ලොකු ආබාධ්‍යක් තිබ්බේ නෑ. නමුත් අපිට ඕන වුණා එයාට කළින් තිබ්බ ආබාධිත ආබාධයේ තත්ත්වය පිළිබඳව තක්සේරුවක් ලබාගන්න. අනිවාර්යයෙන්ම හෙට ක්‍රීඩා කරනවා.” යැයි  ශානක පවසා සිටියේය.

ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ වූ ගැටළුවක් හේතුවෙන් අවසන් තරගාවලි සඳහා කණ්ඩායමට එක් කර නොගැනුණු භානුක රාජපක්ෂද කණ්ඩායමට එක්ව සිටීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය වඩවන්නට හේතු කාරණා වනු ඇත. එහෙත් දසුන් පවසා සිටින්නේ හෙට තරගය සඳහා වන අවසන් සංයුතිය පිළිබඳව අවසන් නිඟමනයකට පැමිණිය හැක්කේ අද රාත්‍රියේ පැවැත්වෙන අවසන් පුහුණු සැසියෙන් පසුව බව සඳහන් කර සිටියේය.

ඉන්දීය කණ්ඩායමෙන් එල්ලවිය හැකි අභියෝගය පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 නායකයා, “අපි හැමෝම දන්න දෙයක් තමයි අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කවුරුත් නෑ කණ්ඩායමේ. ඒ කියලා අධෛර්යමත් වෙන්නේ නෑ. මොකද මෙතන ඉන්න ක්‍රීඩකයෝ සියළුම දෙනාම ක්‍රිකට් වල දක්ෂතා දක්වපු ක්‍රීඩකයෝ ඉන්නේ” යැයි පවසන අතරම “එකම දේ එයාලට ජාත්‍යන්තර අත්දැකීම් මදි භාවය තමයි තියෙන්නේ. එහෙම කියලා අපි පස්සට යන්න හොඳ නෑ. එයාලා ක්‍රීඩා කළොත් තමයි ඒගොල්ලෝ දිගින් දිගටම ලෙවල් එකට එන්නේ” යනුවෙනි.

දෙරට අතර එක්දින තරග ඉතිහාසයේ මුණ ගැසෙන 160 වැනි අවස්ථාව වශයෙන් සනිටුහන්  වන හෙට තරගයට පෙර ඉන්දියාව අවස්තා 91 කදීද ශ්‍රී ලංකා අවස්ථා 56 කදීද ජය වාර්තා කරගෙන සිටියි. මේ අවස්ථා 159 න් නොවිසඳුණු 11 ක් සහ ලකුණු සමවූ අවස්ථාවක් සටහන් වී තිබේ.

ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේදී තරග 61 කට ක්‍රීඩා කර තිබෙන අතර ඉන් වැඩි තරග සංඛ්‍යාවක් හෙවත් 28 ක් ජය ගැනීමට ඉන්දියාව සමත්ව සිටදිද්දී ශ්‍රී ලංකාව අවස්ථා 27 කදී ජයග්‍රහණ වාර්තා කර ගෙන තිබේ.

තරගය පැවැත්වෙන ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය ජාත්‍යන්තර තරගයක් සඳහා විවෘත වන්නේ වසර 2 කට ආසන්න කාලයකට පසුව වන අතර තණතීරුවේ හැසිරීම පිළිබඳව අනාවැකි පළ කිරීම සුභදායක නොවනු ඇත. කෙසේ වෙතත් 2010 වසරේ සිට මේ දක්වා ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පවත්වා ඇති එක්දින තරග 35 පිළිබඳව පිළිබඳව අවධානය යොමු කිරීමේදී ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 261 කට ආසන්න අගයක් ගනු ඇත. මෙහිදී ලකුණු හඹා යෑමේදී අවස්ථා 17 කදී ජය වාර්තා කිරීමට අවස්ථා 16 කදී පරාජයන්ද ලබා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක, චරිත් අසලංක, වනිඳු හසරංග, අෂේන් බණ්ඩාර, මිනෝද් භානුක, ළහිරු උදාර, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ශිරාන් ප්‍රනාන්දු, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, ප්‍රවීන් ජයවික්‍රම, අසිත ප්‍රනාන්දු, කසුන් රජිත, ළහිරු කුමාර, ඉසුරු උදාන.

ඉන්දීය කණ්ඩායම – ශිකර් ධවාන් (නායක), භුවනේෂ්වර් කුමාර් (උප නායක), ප්‍රිතිව් ෂා, දෙව්දත් පඩිකාල්, රුටුරාජ් ගයික්වාද්, සූර්යකුමාර් යාදව්, මනීෂ් පාන්ඩේ, හර්දික් පාන්ඩ්‍යා, නිටිෂ් රානා, ඉෂාන් කිෂාන්, සංජු සැම්සන්, යුස්වේන්ද්‍ර චෙහල්, රාහුල් චහාර්, කේ. ගෞතම්, කෘනාල් පාන්ඩ්‍යා, කුල්දීප් යාදව්, වරුන් චක්‍රවර්තී, දීපක් චහාර්, නව්දීප් සයිනි, චේතන් සකරියා.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest