slc
Home   |    News
ජූලි 18, 2021
ධවාන් ඇතුළු පිරිවර තරගාවලිය පෙරමුණ ගනිති

sinhala editor

ලකුණු 263 ක ඉලක්කයක් හඹා යෑමේදී ඉන්දීය නායක ශිකර් ධවාන් ඇතුළු නවක ජවයකින් යුතු ඉන්දීය පිතිකරුවන්ව මෙල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකිවීම මත තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (18 දා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ අනුව තරගාවලිය 1-0 ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගැනීමටද සමත්විය.

ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට රඳවාගත යුතු ලකුණු 5.24 ක වේගය වෙනුවට 7.17 ක වේගයක් රඳවා ගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත්වීම නිසා ශ්‍රී ලංකාවට එරෙහිව වූ ජයග්‍රහණය ඉන්දීය පිල සනිටුහන් කරගන්නා විට පන්දු 80 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

වැඩිම ලකුණු ලාභියා වුණු නායක ධවාන් කෙටි ලකුණක් ලබා ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරන විට ඔහුගේ නම ඉදිරියෙන් පන්දු 95 කදී ලකුණු 86 ක් සටහන්ව තිබිණ. සෙසු පිතිකරුවන් වේගවත්ව ලකුණු සොයා යමින් පන්දුවට පහර දෙද්දී කලබල නොවුණු ධවාන් තරගය නිමා කරන විට හයේ පහරක් සහ හතරේ පහර 6 කින් ඉනිම සරසාගෙන සිටියේය.

ධවාන් සමඟ ඉනිම ඇරැඹි ප්‍රිතිව් ෂා ප්‍රවේගවත් ආරම්භයක් ලබා ගනිමින් පන්දු 24 කදී ලකුණු 43 ක් ලබාගත්තේය. ධනංජය ද සිල්වාගේ ගොදුරක් වෙමින් ප්‍රිතිව් දැවී යන විට ශ්‍රී ලංකාවට සැලකිය යුතු හානියක් සිදුකර තිබුණු අතර එබැවින් ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමිවිය. ප්‍රිතිව්ගේ ඉනිම හේතුවෙන් පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 10 ඇතුළත ලකුණු 91 ක් තරම් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර ගැනීමට ඉන්දීය කණ්ඩායමට අවස්ථාව උදාවිය. පන්දු රැකීමේදී උඩ පන්දු කීපයක් ගිලිහී යෑමත් ඉලක්කගත පන්දු යැවීමක නිරත වීමට නොහැකිවීමත් මෙතරම් දැවැන්ත පරාජයක් ලැබීමට හේතුවූ කරුණු විය.

ධවාන්ට අමතරව ඉෂාන් කිශාන් පන්දු 42 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමඟින් ලකුණු 59 ක් රැස් කළේය. ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ ඉෂාන් කිෂාන් දැවී යෑමත් සමඟ ඉනිමේ ගොඩ නැංවුණු ඉහළම ලකුණු සම්බන්ධතාවය වූ දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවයද ලකුණු 85 දී හමාර විය. ධනංජයගේ දෙවැනි ගොදුර බවට මනීෂා පාන්ඩේ ලකුණු 26 ක් ලබා සිටියදී දැවී යෑමෙන් පසු පිටියට පිවිසි සූර්යකුමාර් යාදව් ඉන්දීය ජයග්‍රහණය වාර්තා වන විට පන්දු 20 කට මුහුණ දී ලකුණු 31 ක් ලබා සිටියේය.

නිරන්තරයෙන්ම දැවැන්ත පහර එල්ල කිරීමේ හැකියාව අහිමි වුවත් ආරම්භක පිතිකරුවන්ගේ සිට පසු පෙළ දක්වා වූ පිතිකරුවන්ගේ ධෛර්යවන්ත පිතිහරඹය හේතුවෙන් ලකුණු 263 ක අභියෝගයක් ඉන්දීය පිල හමුවේ ශ්‍රී ලංකාව ලබා දුන්නේය.

ලකුණු 250 සීමාව ඉක්මවා ලීම වෙනුවෙන් පසු පෙළින් පැමිණි චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර එක්ව අවසන් පන්දුවාර 3 දී එක් කරන ලද ලකුණු 40 ශ්‍රී ලංකා පිලේ විශ්වාසය තවත් වැඩි කිරීමට මහත් දායකත්වයක් ලබා දුන්නේය. මේ අතරින් කැපී පෙනුණු චාමික කරුණාරත්න අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ වේග පන්දු යවන භුවනේෂ්වර කුමාර්ට එරෙහිව පිට පිට හයේ පහර දෙකක් එල්ල කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 40 සීමාවට පැමිණි එකම පිතිකරුවා බවට පත්විය.  හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සිය ඉනිමට ඇතුළත් කර චාමික පන්දු 35 කදී ලකුණු 43 ක් ලබා ගත්තේ ඉනිමද බිඳ නොදැවී තබා ගනිමිනි.

ජ්‍යෙෂ්ඨයින් රහිතව තරග වැදි ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අර්ධ ශතකයක් හෝ වාර්තා නොවුණත් සෑම දෙනාම හැකි පමණින් කණ්ඩායමට දායකත්වය ලබා දුන්හ. එබැවින් අද රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව අර්ධ ශතකයක් හෝ වාර්තා නොවී කණ්ඩායමක් රැස් කරන ලද දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවටද පත්වීම කැපී පෙනුණි.

භුවනේෂ්වර් කුමාර්, යුස්වේන්ද්‍ර චෙහල් සහ කුල්දීප් යාදව් යන නම් දැරූ ප්‍රධාන පන්දු යවන්නන් සහිතවූ පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකා ඉනිම විටින් විට අවහිර කරනු ලැබුවද ලකුණු ලබා ගැනීමට හැකී සෑම අවස්ථාවකදීම ඒ සඳහා යෑමට පිතිකරුවන් පෙළැඹීම නිසා සටනක් ලබා දී රැක ගත හැකි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත්විය. පන්දුවට පහරදීමට පැමිණි පිතිකරුවන් අතරින් පිතිකරුවන් හය දෙනෙකු ලකුණු 20 සීමාව පසු කළ අතර තිදෙනකු පමණක් ලකුණු 10 සීමාවේ රැදී සිටියහ.

පන්දු යවන්නන් අතර වැඩිපුරම ප්‍රහාරයකට ලක්වූයේ පළමු කඩුල්ල දවා ගත් යුස්වේන්ද්‍ර චෙහල්ය. ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවයක් පැවැත්වූ අවිෂ්ක ප්‍රනාන්දුව දවාගත් චෙහල් ශ්‍රී ලංකා ඉනිම නිමා වන විට පන්දුවාර 10 ම අවසන් කරමින් ලකුණු 52 ක් ලබා දී කඩුලු 2 ක් දවාගෙන සිටියේය. ඔහුට අමතරව දීපාක් චහර් සහ කුල්දීප් යාදව් ද කඩුලු 2 බැගින් බිඳ හෙළූ සාමාජිකයින් බවට පත්වූහ.

අද දිනයේදී මංගල ඉනිම ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ චෙහල්ගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරමින් වඩා විශ්වාසයකින් ලකුණු රැස් කිරීම ආරම්භ කළද පිට ඉන්නට වඩාත් ඈතින් ගිය පන්දුව මිඩ් විකට් කළාපය වෙත යැවීමට කරන ලද උත්සාහය වැරදී යෑම නිසා අවාසනාවන්ත ලෙස ලකුණු 24 කදී පිටියෙන් ඉවත් විය. ඒ වන විටත් ඔහු මුහුණ දී සිටි පන්දු 22 න් දෙවතාවක් හතරේ සීමාවට ඉහළින්ද දෙවතාවක් හතරේ සීමාවද පන්දුව පසුකර යැවීමට සලස්වා තිබුණි.

එම ලකුණු ලබා ගැනීම අතරතුරදී කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුවූයේ යැයි කුල්දිප් යාදවු විසින් කරන ලද ඉල්ලීමද තෙවැනි විනිසුරු තීරණය දක්වා දිග් ගැස්සුනද පිටියේ විනිසුරුවරයාගේ තීරණය භානුකට වාසිවන අයුරින් ලබා දී තිබීම නිසා තවදුරටත් පිටියේ රැදී සිටීමට ඔහුට අවස්ථාව උදාවිය. එහෙත් අනවශ්‍ය කලබලය භානුකට කඩුල්ල අහිමි කළේය.

එම දැවී යෑමෙන් පසු මිනෝද් භානුකද දැවී ගිය බැවින් ලකුණු 85 කට එක් කඩුල්ලක්ව සටහන් වුණු ශ්‍රී ලංකා ඉනිම එක වරම ලකුණු 89 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් විය. එංගලන්ත සංචාරයේදී මෙන් නොව සටන අත් නොහළ මැද පෙළ පිතිකරුවන් නිරන්තරයෙන්ම ශක්තිමත් සම්බන්ධතා පැවැත්වීමට දරන ලද උත්සාය මෙම තරගයේදී වැඩ කළ බැවින් එකා පිට එකා දැවී යෑම වෙනුවට වැඩි ලකුණු සංඛ්‍යාවක් පුවරුවේ රැඳවීමට හැකියාව උදාවිය.

ධනංජය ද සිල්වා ඉක්මනින් දැවී ගියද චරිත් අසලංකට එක්වූ නායක දසුන් ශානක පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක් එක් කරන ලද්දේ පිළිවෙළින් ලකුණු 38 සහ 39 වශයෙන් රැස් කරගනිමිනි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි තරගය ලබන 20 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 3.00 ට ආරම්භ වනු ඇත.

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest