slc
Home   |    News
ජූලි 18, 2021
ශ්‍රී ලංකාවෙන් ලකුණු 263 ක ඉලක්කයක්

sinhala editor

නිරන්තරයෙන්ම දැවැන්ත පහර එල්ල කිරීමේ හැකියාව අහිමි වුවත් ආරම්භක පිතිකරුවන්ගේ සිට පසු පෙළ දක්වා වූ පිතිකරුවන්ගේ ධෛර්යවන්ත පිතිහරඹය හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පළමු එක්දින තරගයේදී පන්දුවාර 50 ම ක්‍රීඩා කිරීමට නවකයින් රැසකගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වෙමින් ලකුණු 263 ක අභියෝගයක් ඉන්දීය පිල හමුවේ ලබා දුන්නේය.

ලකුණු 250 සීමාව ඉක්මවා ලීම වෙනුවෙන් පසු පෙළින් පැමිණි චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර එක්ව අවසන් පන්දුවාර 3 දී එක් කරන ලද ලකුණු 40 ශ්‍රී ලංකා පිලේ විශ්වාසය තවත් වැඩි කිරීමට මහත් දායකත්වයක් ලබා දුන්නේය. මේ අතරින් කැපී පෙනුණු චාමික කරුණාරත්න අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ වේග පන්දු යවන භුවනේෂ්වර කුමාර්ට එරෙහිව පිට පිට හයේ පහර දෙකක් එල්ල කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 40 සීමාවට පැමිණි එකම පිතිකරුවා බවට පත්විය.  හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සිය ඉනිමට ඇතුළත් කර චාමික පන්දු 35 කදී ලකුණු 43 ක් ලබා ගත්තේ ඉනිමද බිඳ නොදැවී තබා ගනිමිනි.

ජ්‍යෙෂ්ඨයින් රහිතව තරග වැදි ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අර්ධ ශතකයක් හෝ වාර්තා නොවුණත් සෑම දෙනාම හැකි පමණින් කණ්ඩායමට දායකත්වය ලබා දුන්හ. එබැවින් අද රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව අර්ධ ශතකයක් හෝ වාර්තා නොවී කණ්ඩායමක් රැස් කරන ලද දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවටද පත්වීම කැපී පෙනුණි.

භුවනේෂ්වර් කුමාර්, යුස්වේන්ද්‍ර චෙහල් සහ කුල්දීප් යාදව් යන නම් දැරූ ප්‍රධාන පන්දු යවන්නන් සහිතවූ පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකා ඉනිම විටින් විට අවහිර කරනු ලැබුවද ලකුණු ලබා ගැනීමට හැකී සෑම අවස්ථාවකදීම ඒ සඳහා යෑමට පිතිකරුවන් පෙළැඹීම නිසා සටනක් ලබා දී රැක ගත හැකි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත්විය. පන්දුවට පහරදීමට පැමිණි පිතිකරුවන් අතරින් පිතිකරුවන් හය දෙනෙකු ලකුණු 20 සීමාව පසු කළ අතර තිදෙනකු පමණක් ලකුණු 10 සීමාවේ රැදී සිටියහ.

පන්දු යවන්නන් අතර වැඩිපුරම ප්‍රහාරයකට ලක්වූයේ පළමු කඩුල්ල දවා ගත් යුස්වේන්ද්‍ර චෙහල්ය. ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවයක් පැවැත්වූ අවිෂ්ක ප්‍රනාන්දුව දවාගත් චෙහල් ශ්‍රී ලංකා ඉනිම නිමා වන විට පන්දුවාර 10 ම අවසන් කරමින් ලකුණු 52 ක් ලබා දී කඩුලු 2 ක් දවාගෙන සිටියේය. ඔහුට අමතරව දීපාක් චහර් සහ කුල්දීප් යාදව් ද කඩුලු 2 බැගින් බිඳ හෙළූ සාමාජිකයින් බවට පත්වූහ.

අද දිනයේදී මංගල ඉනිම ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ චෙහල්ගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරමින් වඩා විශ්වාසයකින් ලකුණු රැස් කිරීම ආරම්භ කළද පිට ඉන්නට වඩාත් ඈතින් ගිය පන්දුව මිඩ් විකට් කළාපය වෙත යැවීමට කරන ලද උත්සාහය වැරදී යෑම නිසා අවාසනාවන්ත ලෙස ලකුණු 24 කදී පිටියෙන් ඉවත් විය. ඒ වන විටත් ඔහු මුහුණ දී සිටි පන්දු 22 න් දෙවතාවක් හතරේ සීමාවට ඉහළින්ද දෙවතාවක් හතරේ සීමාවද පන්දුව පසුකර යැවීමට සලස්වා තිබුණි.

එම ලකුණු ලබා ගැනීම අතරතුරදී කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුවූයේ යැයි කුල්දිප් යාදවු විසින් කරන ලද ඉල්ලීමද තෙවැනි විනිසුරු තීරණය දක්වා දිග් ගැස්සුනද පිටියේ විනිසුරුවරයාගේ තීරණය භානුකට වාසිවන අයුරින් ලබා දී තිබීම නිසා තවදුරටත් පිටියේ රැදී සිටීමට ඔහුට අවස්ථාව උදාවිය. එහෙත් අනවශ්‍ය කලබලය භානුකට කඩුල්ල අහිමි කළේය.

එම දැවී යෑමෙන් පසු මිනෝද් භානුකද දැවී ගිය බැවින් ලකුණු 85 කට එක් කඩුල්ලක්ව සටහන් වුණු ශ්‍රී ලංකා ඉනිම එක වරම ලකුණු 89 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් විය. එංගලන්ත සංචාරයේදී මෙන් නොව සටන අත් නොහළ මැද පෙළ පිතිකරුවන් නිරන්තරයෙන්ම ශක්තිමත් සම්බන්ධතා පැවැත්වීමට දරන ලද උත්සාය මෙම තරගයේදී වැඩ කළ බැවින් එකා පිට එකා දැවී යෑම වෙනුවට වැඩි ලකුණු සංඛ්‍යාවක් පුවරුවේ රැඳවීමට හැකියාව උදාවිය.

ධනංජය ද සිල්වා ඉක්මනින් දැවී ගියද චරිත් අසලංකට එක්වූ නායක දසුන් ශානක පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක් එක් කරන ලද්දේ පිළිවෙළින් ලකුණු 38 සහ 39 වශයෙන් රැස් කරගනිමිනි.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest