slc
logo
Home   |    News
ජූලි 20, 2021
ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ඉන්දියාවට 276 ක ඉලක්කයක්

sinhala editor

පළමු තරගයේ වූ අතපසුවීම් නිවැරදි කර ගනිමින් අවතීර්ණ වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ අවිෂ්ක ප්‍රනාන්දු සහ චරිත් අසලංක අර්ධ ශතක රැස් කිරීමට සමත්වීම නිසා ඉන්දියාවට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 කට ලකුණු 275 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ.

එහිදී කැපී පෙනුණු චරිත් අසලංක ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ සිය මංගල අර්ධ ශතකයටද හිමිකම් කියමිනි. පන්දු 68 කදී හතරේ පහර 6 ක් සමඟින් අසලංක ලකුණු 65 ක් ලබා ගත්තේය. එහිදී වඩාත්ම වැදගත් වූයේ ඉනිමේ අවසන් පන්දුවාර 3 එළඹෙන තෙක්ම අසලංක කඩුල්ලේ රැඳී සිටීමය. ඔහුට අමතරව අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 71 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් ලකුණු 50 ක් ලබාගත්තේ එක්දින තරග දිවියේ සිව්වැනි අර්ධ ශතකයට හිමිකම් කියමිනි.

පෙර තරගයේ පරිදිම පසු පෙළින් පැමිණි චාමික කරුණාරත්න ඉනිමේ අවසන් පන්දුවාරය යැවූ භුවනේෂ්වර් කුමාර්ට එරෙහිව අවසන් පන්දු දෙක තුළදී පිට පිටම හතරේ පහර දෙකක් එල්ල කරමින් ලකුණු 44 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය. අවසන් පන්දුවට මනරම් වූ හෙලිකොප්ටර් පහරක් එල්ල කරමින් එල්ල කරන ලද හතරේ පහරත් ඇතුළුව හතරේ පහර 5 කින් චාමික තම ඉනිම වර්ණවත් කරගත්තේ යන්තම් පන්දු 33 කට මුහුණ දීමෙනි. අංක 8 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි චාමික පළමු තරගයේදීද පන්දු 35 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 43 ක් ලබා ශ්‍රී ලංකා පසු පෙළ ශක්තිමත් කළේය.

පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් චාමික කණ්ඩායමට එක් වුවත් ඔහුගේ පළමු එක්දින තරග 5 ඇතුළත ඔහු ලකුණු 138 ක් රැස් කරගැනීමට සමත්ව සිටින්නේය. මේ සෑම අවස්ථාවකදීම ඔහු අංක 8 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණ රැස් කරන ලද ලකුණු වේ. ඒ අනුව සිය ජාත්‍යන්තර තරග දිවිය ආරම්භයේ අංක 8 පිතිකරණ ස්ථානයෙන් හෝ ඊට පහළින් පැමිණ පළමු තරග 5 දී වැඩිම ලකුණු රැස් කිරීමට සමත් පිතිකරුවන් අතර චාමිකට හිමිවන්නේ තෙවැනි ස්ථානය වේ. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් දෙපළක් වන ඇන්ඩ්‍රෙ රසල් (147) සහ ඩිනේෂ් රාම්ඩීන් (143) චාමිකට ඉදිරියෙන් පසුවෙන පිතිකරුවෝ වෙති.

සමස්ථයක් ගත් විට පළමු පන්දුවාර 40 වන තුරු ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීමට සමත් වීම නිසා තෙවැනි පවර් ප්ලේ අවස්ථාවට හිමි අවසන් පන්දුවාර 10 තුළදී කඩුලු දැවී ගියද ලකුණු 80 ක් රැස් කර ගැනීමට පිතිකරුවෝ සමත්වූහ.

ලකුණු 275 ක් ලබා ගැනීම දක්වා වූ ගමන් මඟේදී සාර්ථක ආරම්භයක් ලබා දුන් අවිෂ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුක පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදී ලකුණු 77 ක සම්බන්ධතාවයක් ගොඩනැංවූහ. එම සම්බන්ධතාවය ඉන්දීය පන්දු පන්දු යවන්නන්ව නොසිතූ අසීරුවකට පත්වීමට සමත්වූවා සේම සෙසු පිතිකරුවන්ටද මහත් අස්වැසිල්ලක් ගෙන දුන් සම්බන්ධතාවයක් බවට පත්විය.

අනපේක්ෂිත මොහොතක මිනෝද් භානුකට ලකුණු 36 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්වීමට සිදුවූ අතර ඊළඟ පන්දුවේදී භානුක රාජපක්ෂද යුස්වේන්ද්‍ර චෙහල්ගේ දෙවැනි කඩුල්ල ලෙසින් දැවී යෑම ශ්‍රී ලංකා ඉනිම තරමක් සසල කරවන්නක් විය. එහෙත් අනතුරුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා, අවිෂ්ක ප්‍රනාන්දු සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47 ක්ද චරිත් අසලංක සහ නායක දසුන් ශානක අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 38 ක සම්බන්ධතාවයක්ද පවත්වමින් ශ්‍රී ලංකා පිල අසීරුතාවයෙන් මුදවා ගත්හ. ධනංජය ලකුණු 32 ක් ලබා සිටියදී චෙහල්ගේ තෙවැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් විය. පන්දු යැවීමේදී කැපී පෙනුණු යුස්වේන්ද්‍ර චෙහල් ලකුණු 50 කට කඩුලු 3 ක්ද උප නායක භුවනේෂ්වර් කුමාර් ලකුණු 54 කට කඩුලු 3 ක් ද බැගින් බිඳ හෙළූහ. ඔවුන් දෙපළට අමතරව දීපාක් චෙහර් ලකුණු 53 කට කඩුලු 2 ක් දවා ගත්තේය.

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee