slc
logo
Home   |    News
අගෝස්තු 23, 2021
විස්සයි-20 කිරුළ දසුන්ගේ ග්‍රේස්ටද…? චන්දිමාල්ගේ රෙඩ්ස්ටද…?

sinhala editor

 By Chamila Karawita reporting from Pallakale

දින 12 ක් තිස්සේ පැවැති ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නේ කවුරුන්ද යන්න වෙනුවෙන් දසුන් ශානකගේ ග්‍රේස් කණ්ඩායමත් දිනේෂ් චන්දිමාල්ගේ රෙඩ්ස් පිලත් උරෙනුර ගැටෙන අවසන් මහ තරගය හෙට (24 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප.ව. 7.00 ට ආරම්භ වේ.

ලීග් ක්‍රමයට පැවැති මූලික වටයේ මුහුණ දීමට නියමිත වුණු තරග 6 න් 4 ක ජය වාර්තා කරමින් ග්‍රේස් පිල අපරාජිතව අවසන් මහ තරග අවස්ථාව වෙන් කරගනිද්දී බ්ලූස් පිල හා වූ දැඩි තරගකාරී සටනකින් පසු තරග වැදි තරග 6 න් 3 ක් ජය ගනිමින් රෙඩ්ස් පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූහ.

මූළික වටයේ අවසන් දින දෙකටම වර්ෂාවෙන් බාධා ඇතිවූ බැවින් තරග 3 ක් විසඳුමකින් තොර වුණු අතර ඊයේ (22 දා) රාත්‍රියේ පැවැත්වුණු ග්‍රීන්ස් පිලට එරෙහි තරගයෙන් ජය වාර්තා කළ රෙඩ්ස් පිල අවසන් මොහොතේදී මහ තරග වරම උදාකරගත්තේය.

කෙසේ වෙතත් හෙට තරගය පිළිබඳව අවධානය යොමු කිරීමේදී එය බොහෝ විට පන්දු යවන්නන්ගේ තරගයක් වනු ඇති බවට අනුමාන කළ හැක. දෙපිළේම පන්දු යවන්නන් සමස්ථ තරගාවලිය පුරාම පන්දු යැවීමෙන් කැපී පෙනීම ඊට හේතුවෙයි. වැඩිම කඩුලු ලාභීන් අතර ගත් විට පළමු ස්ථාන 7 ම පසුවන්නේ රෙඩ්ස් සහ ග්‍රේස් පන්දු යවන්නෝ වෙති. එහි පළමු ස්ථාන 3 රෙඩ්ස් කණ්ඩායමේ හිමේෂ් රාමනායක, සීකුගේ ප්‍රසන්න සහ චාමික කරුණාරත්න රැඳී සිටිද්දී නුවන් ප්‍රදීප්, පුලින තරංග, අෂේන් ඩැනියෙල් සහ චතුරංගද සිල්වා සිව්වැනි ස්ථානයේ සිට 7 වැනි ස්ථානය දක්වා වූ ස්ථාන වෙන්කර ගෙන සිටිති.

SLC රෙඩ්ස් –

තම කණ්ඩායම සතු ප්‍රධානම අවිය වන්නේ ක්‍රීඩකයින් සතුව තිබෙන අත්දැකීම් සම්භාරය බව හෙට තරගය පිළිබඳව අදහස් දැක්වූ රෙඩ්ස් නායක දිනේෂ් චන්දිමාල් පවසයි. ” විශේෂයෙන්ම මම දකින්නේ අපේ කණ්ඩායමේ අත්දැකීම්. අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසක් අපිට සිටිනවා. අපේ 11 දෙනා ගත්තොත් හත් දෙනෙක්ම අත්දැකීම් තියෙන ක්‍රීඩකයින්. ඒ අතරතුර නවක ක්‍රීඪකයින් හතර දෙනෙක් ක්‍රීඩා කරනවා. මම හිතන්නේ ලොකුම ශක්තිය තමයි අපේ කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ඉන්න එක” යැයි චන්දිමාල් පවසයි.  

නායක දිනෂේ චන්දිමාල් හැරුණු විට ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් අතර අවිෂ්ක ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, අසේල ගුණරත්න, සීකුගේ ප්‍රසන්න, චාමික කරුණාරත්න සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් හත් දෙනාම රෙඩ්ස් කණ්ඩායම සතුවේ. මෙතෙක් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් පළමු ස්ථාන 3 ම පසුවන්නේ රෙඩ්ස් කණ්ඩායමේ පන්දු යවන්නන් වන අතර එය ඔවුන්ගේ පන්දු යැවීමේ ශක්තිය පිළිබඳව තක්සේරුවක් ගැනීමට හොඳම උදා හරණ සපයන්නේය.

වේග පන්දු යවන හිමේෂ් රාමනායක එහි පෙරමුණේ පසුවන පන්දු යවන්නාය. හිටපු ටෙස්ට් ක්‍රීඩක සහ වේග පන්දු පුහුණුකරුවකු ලෙස සේවය කළ චම්පක රාමනායක මහතාගේ පුත්‍ර රත්නය වන හිමේෂ් තරග 4 කදී කඩුලු 7 ක් බිඳ හෙළමින් එම සටහනේ පෙරමුණ ගනිද්දී සීකුගේ ප්‍රසන්නද තරග 5 කදී කඩුලු 7 ක් ලබා ඔහු සමඟ සම තැන් ගෙන සිටියි. තරගාවලිය අතර මඟදී කණ්ඩායමට එක් වුණු චාමික කරුණාරත්න තරග 3 කදී කඩුලු 5 ක් බිඳ හෙළමින් එහ තෙවැනි ස්ථානයේ රැඳී සිටියි. මොවුන් තිදෙනාගේම කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය පිළිවෙළින් 12.85, 14.14 සහ 18.60 ක් ලෙස සටහන් වේ.

මේ අතර පිතිකරණ ශක්තිය ගෙන බැලීමේදී චන්දිමාල් එහි තෙවැනි ස්ථානයේ පසුවන්නේය. තරග 5 කදී අර්ධ ශතක 2 ක්ද සමඟ මුලු ලකුණු 169 ක් චන්දිමාල් ලබා සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 42.25 ක් රඳවා තබා ගනිමිනි. අවිෂ්ක ප්‍රනාන්දුද රෙඩ්ස් කණ්ඩායම සතු ප්‍රබලම පිතිකරුවකු වන අතර තරගාවලියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කර ඇති පිතිකරුවන් අතර දසුන් ශානක සමඟ ඔහු සම තැනේ පසුවීමද විශේෂත්වයකි. තරග 5 කට ක්‍රීඩා කර ඇති අවිෂ්ක එල්ල කර ඇති හයේ සංඛ්‍යාව 10 කි.

දිනේෂ් චන්දිමාල් –

“ප්‍රතිවාදී දසුන්ගේ කණ්ඩායම ඉතාම දක්ෂ කණ්ඩායමක්. විශේෂයෙන් තරගාවලිය පුරාම කණ්ඩායමක් විදියට ඔවුන් ඉතාමත් හොඳට සෙල්ලම් කළා. අපිත් පළවැනි වටයේදී එක් තරගයකට ක්‍රීඩා කළා. යම් කිසි සැලසුම් තියෙනවා ඔවුන්ට එරෙහිව. මං හිතන්නේ අවසන් තරගයේදී අපේ සැලසුම් හරියාකාරව කරගන්න පුලුවන් වුණොත් ඔවුන්ට එරෙහිව ලොකු අභියෝගයක් දෙන්න පුලුවන් වෙයි” යැයි අවසන් මහ තරගය පිළිබඳව දසුන් අදහස් දක්වයි.

ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයින් ගේ දක්ෂතා සංසන්දනය කිරීමේදී අදහස් දක්වා සිටි රෙඩ්ස් නායකයා, “දසුන් ශානක සහ චරිත් අසලංක වගේම හුඟ දෙනෙක් ඉන්නවා. මං හිතන්නේ ඔවුන් ලොකු අභියෝගයක් වෙයි. පන්දු යැවීම ගත්තොත් නුවන් සහ ප්‍රදීප් චතුරංග ද සිල්වා වගේ අත්දැකීම් තියෙන ක්‍රීඩකයින්. අපිට ලොකු අභීයෝගයක්. අපිට අවසන් මහ තරග වරම පහසුවෙන් ලැබුණේ නෑ. මං හිතනවා ඒ වගේම අපේ ක්‍රීඩකයින් ඒ අභියෝගය ජය ගනියි කියලා”.

 SLC රෙඩ්ස් – දිනේෂ් චන්දිමාල් (නායක), අවිෂ්ක ප්‍රනාන්දු (උප නායක), නිපුන් ධනංජය, ඕෂධ ප්‍රනාන්දු, මුදිත ලක්ෂාන්, අසේල ගුණරත්න, ලසිත් අබේරත්න, සික්කුගේ ප්‍රසන්න, චාමික කරුණාරත්න, සංතුෂ් ගුණතිලක, මොහොමඩ් ශිරාස්, අසිත ප්‍රනාන්දු, හිමේෂ් රාමනායක, ප්‍රභාත් ජයසූරිය’

ග්‍රේස් –

නායක දසුන් ශානක හැරුණු කොට ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන චරිත් අසලංක, මිනෝද් භානුක, චතුරංග ද සිල්වා, ළහිරු මදුශංක සහ නුවන් ප්‍රදීප් එහි පෙරමණේ පසුවෙති. මෙම තරගාවලියේ දැවැන්ත හයේ පහර එල්ල කරමින් බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මදුශංකගේ කලවයේ මස්පිඬු ආශ්‍රීත ආබාධයකට මුහුණ දී සිටියද ඔහු ගෙවී ගිය දින කීපයේදී විවේක ගෙන අවසන් මහ තරගය සදහා සූදානම් ස්වරූපයෙන් පසුවේ.

ග්‍රේස් කණ්ඩායම සතුව මිලින්ද සිරිවර්ධනද සිටියද පළමු තරගයේදීම ආබාධයකට ලක්ව ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටියේය. ග්‍රේස් නායක දසුන් ශානක පවසන අන්දමට මිලින්දට අවසන් තරගයේ දොරගුළු විවර නොවන නමුත් ළහිරු මධුශංක හෙට තරගයේදී ග්‍රේස් පිල නියෝජනය කරනු ඇත බවයි.

මෙතෙක් දක්වන ලද දක්ෂතා සංසන්දනය කිරීමේදී වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන්නේ ග්‍රේස් නායක දසුන් ශානක වේ. සහභාගිවුණු තරග 5 දී අර්ධ ශතක 2 ක් ද සමඟ මුලු ලකුණු 210 ක් ලබා සිටින්නේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 52.50 ක් සමඟිනි. ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 170.73 ක් ලෙස සටහන්ව තිබේ. පන්දු යවන්නන් අතර තරග 4 කදී කඩුලු 5 ක් බිඳ හෙලා සිටින නුවන් ප්‍රදීප් වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නන් අතර සිව්වැනි ස්ථානයේ රැඳී සිටියි. මීට අමතරව පා දඟ පන්දු යවන්නන් වන පුලින තරංග සහ තරුණ ක්‍රීඩකයකු වන අෂේන් ඩැනියල්ද මෙන්ම චතුරංග ද සිල්වාද වැඩිම කඩුලු ලාභීන් අතර නුවන් ප්‍රදීප්ට පසු පිළිවෙලින් 5, 6 සහ 7 යන ස්ථාන වල රැඳී සිටිති.  

දසුන් ශානක – අත්දැකීම් අතින් සහ කඩුලු ලාභීන් අතරින් රෙඩ්ස් කණ්ඩායම ඉදිරියෙන් සිටින බව ග්‍රේස් නායක දසුන් ශානක පිළිගන්නා නමුත්, තරගාවලියේ මෙතෙක් දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයින් අතර තම කණ්ඩායම පෙරමුණේ පසුවන බව දසුන් ශානක සඳහන් කරයි.” අත්දැකීම් අතරින් ගත්තොත් අපේ කණ්ඩායමට වැඩිය රෙඩ්ස් කණ්ඩායමේ අත්දැකීම් වැඩියි. ඒ වුණාට දක්ෂතා වලින් ගත්තහම අපේ කණ්ඩායම මේ තරගාවලිය පුරාවට දක්ෂතා දක්වලා තියෙනවා” යැයි දසුන් කියයි.

“ඔවුන්ගේ පන්දු යවන්නන් කඩුලු දවා ගනිමින් පෙරමුණේ හිටියත් පන්දුවාරයකට ලබා දෙන ලකුණු අනුව අපේ පන්දු යැවීම තමයි ඉදිරියෙන්ම තියෙන්නේ. විශේෂයෙන් ගත්තොත් නුවන් ප්‍රදීප්, පුලින තරංග, අෂේන් ඩැනියෙල් චතුරංග ද සිල්වා හොඳ දායකත්වයක් ලබා දුන්නා කණ්ඩායම සාර්ථක කරගන්න. මම කියන්නේ අපිට වගේම ඔවුන්ටත් විශාල අභියෝගයක් තියෙනවා මේ තරගාවලියේ අවසන් මහ තරගයට ක්‍රීඩා කරද්දී”.  

“රෙඩ් කණ්ඩායම ජයගත් තරග සියල්ලම හඹා ගිහින් ජයගත්තේ. එයාලට හඹා යෑමේදී වැඩි ලකුණු සංඛ්‍යාවක් හම්බ වුණේ නෑ කිසිම තරගයක. ඉතිං අපේ තරගයේදී තමා ඔවුන් හොඳ පන්දු යවන්නන්ට එරෙහිව හඹා ගියේ. මම හිතනවා ෆයිනල් එකට යද්දි ඒ තරගයේ ජයග්‍රහණය අපිට ලොකු වාසියක් ගෙන දෙයි කියලා” යැයි හෙට තරගය ගැන දසුන් පවසයි.

‍SLC ග්‍රේස් – දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), මිනෝද් භානුක, ලසිත් කෲස්පුල්ලේ, හිමාෂ ලියනගේ, කමිල් මිශාර, නුවනිඳු ප්‍රනාන්දු, චතුරංග ද සිල්වා, ළහිරු මධුශංක, මිලින්ද සිරිවර්ධන, උදිත් මදුශාන්, නුවන් ප්‍රදීප්, චාමික ගුණසේකර, මතීෂ පතිරණ.

Active filters

Recent Posts

  •  කෝල්ට්ස් පිළ ලකුණු 145 කින් බී.ආර්.සී. පරදවයි
     කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී අද (10) පැවැති මේජර් ආරාධිත කාන්තා අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගයෙන් කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 145ක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන […]
  • නවසීලන්ත – ශ්‍රී ලංකා විස්සයි-20 තරගාවලිය සම වෙයි
    සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නොවැම්ඊබර්යේ 10 වැනිදා දෙවැනි විස්සයි20 තරගයෙන් නවසීලන්තය ලකුණු 5ක තියුණු ජයක් හිමිකර ගැනීමත් සමඟ තරග දෙකකින් […]
  • අභිනව ටී-10 තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීම ඇරඹෙයි
    පළමු වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා ටී-10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීමේ ක්‍රියාවලිය (Player Draft)මේ වන විටත් ආරම්භ වී තිබේ. ලංකා ටී-10 සුපර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂක […]
  • ඒස් කැපිටල් කාන්තා කණ්ඩායමට ලකුණු 199ක ජයක්
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන කාන්තා ප්‍රධානතම අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවැති තරග අතුරින් ඒස් කැපිටල් කණ්ඩායම ලකුණු 199කින් ටැමිල් යුනියන් පරාජයට පත් […]
  • පළමු විස්සයි20 ගැටුමෙන් ශ්‍රී ලංකාවට ජය
    සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 4ක ජයක් ශ්‍රී ලංකා පිල හිමිකර ගත්තේය. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee