slc
logo
Home   |    News
සැප්තැම්බර් 9, 2021
දකුණු අප්‍රිකාවට එරෙහි වේගවත් සටන හෙට ඇරඹෙයි

sinhala editor

By Chamila Karawita

සුළු අතපසුවීමක් වුවද එහි ඇතැම්විට එහි වන්දිය තරග පරාජය බවට පත්වන ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම තරග අංශය වන විස්සයි-20 තරග අංශය යටතේ ශ්‍රී ලංකාවත් දකුණු අප්‍රිකාවත් හෙට (10 වැනිදා) දිනයේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හමුවෙති. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටින කණ්ඩායම් අතර දෙපිළම තරග වදිනු ලබන අවසන් තරගාවලිය වන්නේද හෙටින් ඇරඹෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය වේ. එබැවින එම තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ලබා සිටින ජයග්‍රාහී මානසිකත්වය හෙටින් ඇරඹෙන තරගාවලියට ශක්තියක් ලබා ගැනීමට ඉවහල් වනු ඇත.

ඇඳිරි වැටෙන විටත් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ කවුරුන්ද යන්න අවසන් තීරණයකට එළැඹීමට අපොහොසත්ව සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසානයේ කේෂව් මහරාජ්ගේ නායකත්වය යටතේ හෙට ඇරඹෙන තරගාවලියට අවතීර්ණ වෙයි.  පරාජයන්ගෙන් ඇති තරම් හෙම්බත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ දසුන් ශානක නායකත්වයට පත්වූ දිනයේ සිට පැහැදිළි වර්ධනයක් දැක ගැනීමට හැකිව තිබේ. පූර්විකාවේ සටහන් කරන ලද්දේ ඒ සඳහා වන හොඳම උදාහරණය.

පරාජයන්ගෙන් පාඩම් ඉගෙන ගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, පිළිබඳව අවතක්සේරුවෙන් සිතීම කෙතරම් දරුණු ප්‍රතිඵලයක් අත්කර දෙන්නේද යන්න ප්‍රතිවාදී දකුණු අප්‍රිකානුවන්ට අමුතුවෙන් මතක් කළ දිය යුතු නොවේ. ඒ බව 2018 වසරේ මෙහි පැමිණි අවස්ථාවේදී 2017 එහි ගිය අවස්ථාවේදීත් ශ්‍රී ලංකා පිල හොඳින්ම ඉගැන්වූයේ එම තරගාවලි 2 ම ජය ගනිමිනි. අවසන් වතාවට දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලද 2019 වසරේදී පැවැති තරග 3 කින් සමන්විත තරගාවලියෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් කළද හෙටින් ඇරඹෙන තරගාවලිය නියෝජනය කරනු ලබන්නේ එදා සිටි කණ්ඩායම නොවේ.

වර්තමාන කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින් දක්වනු ලබන දක්ෂතා නිසා එසේ සඳහන් කිරීම වරදක් නොවේ. අවිෂ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීරට අමතරව මහීෂ් තීක්ෂණ ද ප්‍රතිවාදීන්ට එරෙහිව එක්දින තරගාවලියේදී ආධිපත්‍ය පෙන්වූහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යැවීම හමුවේ එක්දින තරගාවලියේදී පසුබැස්සද දකුණු අප්‍රිකානු පිලද පහසුවෙන් අවතක්සේරුවට ලක් කළ නොහැකි කණ්ඩායමකි. මන්ද යත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ඕනෑම තරගයකදී ලකුණු අතරට පිවිසෙන කුවින්ටන් ඩි කොක් සහ ලොවවේගවත්ම විස්සයි-20 ශතකයට හිමිකම් කියන ඩේවිඩ් මිලර් ද කණ්ඩායමේ සාමාජිකයන් අතරට එක්ව සිටීමයි. ඊට අමතරව ලොව අංක එකේ විස්සයි-20 පන්දු යවන්නා වන ටබ්‍රේස් ශම්සි මෙන්ම මෙම තරගාවලියේදී අභියෝගාත්මක පන්දු යවන්නකු වන කේෂව් මහරාජ්ද දඟ පන්දුවට වාසි තණතීරුවේදී සිය වගකීම් අකුරටම ඉටු කිරීමේ බලාපොරොත්තුවෙන් පසු වෙති.

හෙට තරගය පිළිබඳව අදහස් දක්වා සිටි වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම සතු දක්ෂතම වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට හිසරදයක් වනු ඇතැයි අපේක්ෂිත ඩි කොක් ට සහ මිලර්ට එරෙහිව සැලසුමක් සකස් කර තිබෙන බවයි. “අපි ඔවුන්ගේ දුර්වලතා හඳුනාගෙන ඒ ගැන කතා කරලා තියෙන්නේ. විශේෂයෙන් අපි දැකලා තියෙනවා ඔවුන් දෙදෙනා ක්‍රීඩා කරන ආකාරය. ඒ වගේම ඔවුන්ට පන්දු යවලත් තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ දුර්වලතා මොනවද කියන එක ගැන අපි තුළ අදහසක් තියෙනවා. ඒවට හොඳ සැලසුමක් ඇතුව තමයි අපි හෙට තරගයට එන්න බලාපොරොත්තු වෙන්නේ” යැයි දුෂ්මනත වැඩිදුරටත් අදහස් දැක්වීය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් පෙරේරා කොවිඩ් ආසාධනය වීමෙන් පසු සුවය ලබා කණ්ඩායමට එක්ව සිටින බැවින් හෙට තරගයේදී ඔහු අවිෂ්ක ප්‍රනාන්දු සමඟ ඉනිම ආරම්භ කරනු ඇත. ආරාධි විස්සයි-20 තරගාවලියේදී දක්ෂතා අතරට පැමිණ සිටින ක්‍රීඩකයින් කීප දෙනෙකුම මෙම තරගාවලියට ඇතුළත්ව සිටින බැවින් හෙට තරගයට ක්‍රීඩා කරන්නන් දක්ෂතා අතරට නොපැමිණියහොත් අත්වන ඉරණම කොයි ආකාරයේද යන්න ඔවුන් තුළ පැහැදිළි අදහසක් තිබේ. තෙවැනි තරගයේදී මහීෂ් තීක්ෂණගේ පන්දු හමුවේ දකුණු අප්‍රිකාවනුවන් දැක්වූ අපහසුතාවය නිසා හෙට තරගයේදී බොහෝ විට ඔහුට විස්සයි-20 තරග වරම් හිමිවනු ඇතැයි අපේක්ෂා කළහැක. ඊට අමතරව වනිඳු හසරංග සහ ප්‍රවීන් ජයවික්‍රම දඟ පන්දු යවන්නන් ලෙසින් ක්‍රීඩා කිරීමට සූදානම් පසුවෙති.

හෙටින් ඇරඹෙන තරගාවලිය වනිඳු හසරංගට මෙන්ම දකුණු අප්‍රිකානු ක්‍රීඩක ටබ්‍රේස් ශම්සිට විශේෂිත එකකි. විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ටබ්‍රේස් ශම්සි (792) පළමු ස්ථානයේදී වනිඳු හසරංග (764) දෙවැනි ස්ථානයේද පසුවන්නේ ප්‍රසාද ලකුණු 28 ක පරතරයක් බැවින් මෙම තරගාවලියේදී ඔවුන් දක්වනු ලබන දක්ෂතා අනුව එහි පළමු වැනියා තීරණය වනු ඇත. ඒ අනුව වනිඳු පළමු ස්ථානයට පැමිණියහොත් එම තරග අංශයෙන් අජන්ත මෙන්ඩිස්ට පසු පළමු ස්ථානයට පත් දෙවැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා වනිඳු බවට පත් වනු ඇත.

හෙට තරගයට අපේක්ෂිත කණ්ඩායම්

ශ්‍රී ලංකාව – කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, මහීෂ් තීක්ෂණ.

දකුණු අප්‍රිකාව – කුවින්ටන් ඩි කොක්, ඒඩ්න් මාක්‍රම්, රීසා හෙන්ඩ්‍රික්ස්, රසී වැන්ඩර් ඩසන්, ඩේවිඩ් මිලර්, ඩ්වෙන් ප්‍රිටෝරියස්, කේෂව් මහරාජ් (නායක), කගිසෝ රාබඩා, ජෝර්න් ෆෝර්ටුයින්, ඇන්රිච් නෝයේ, ටබ්‍රේස් ශම්සි

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar