slc
Home   |    News
සැප්තැම්බර් 7, 2021
විශිෂ්ඨ ජයක් සමඟින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි

sinhala editor

By Chamila Karawita

මංගල පන්දුවෙන් කඩුල්ලක් දවා ගැනීමට සමත්වූ ලොව අතලොස්සක් දෙනා අතර එක්වූ මහීෂ් තීක්ෂණත්, වේග පන්දු යවන දුෂ්මන්ත චමීරගේත් දක්ෂ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 78 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (07 දා) සමත්විය. වසර 2 කට ආසන්න කාලයකින් පසු ශ්‍රී ලංකාව ලද පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය වශයෙන් මෙම තරගාවලි ජයග්‍රහණය සනිටුහන් වද්දී ශ්‍රේණිගත කිරීම්හි පළමු කණ්ඩායම් 5 ට එරෙහිව වසර 7 කට පසුව පළමු තරගාවලි ජයග්‍රහණයලෙසින් මෙය සටහන් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 204 ක ඉලක්කයක් දකුණු අප්‍රිකානු කණ්ඩායම සතු වුවත් දඟ පන්දු යවන්නන්ට වැඩි සහයෝගයක් ලබා දුන් ආර්. ප්‍රේමදාස තණතීරුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමද අති විශිෂ්ඨ මට්ටමක පැවැතිණ. ශ්‍රී ලංකා ඉනිමේ පන්දු රැකීම පිළිබඳව ඉහළම තක්සේරුව බවට පත් වූයේ ෂෝට් මිඩ් විකට්හි පන්දු රකිමින් සිටි කමිඳු මෙන්ඩිස් රැක ගන්නා ලද සුපිරි ගණයේ උඩ පන්දුව වේ. දුෂ්මන්ත චමීරගේ පන්දුවකට වැන්ඩර් ඩසන් එල්ල කරන ලද වේගවත් පහර ගුවනට පැන අල්ලා ගනිද්දී කමිඳුගේ ශරීරය මුළුමනින්ම ගුවන් ගතව පැවැතිණ. මනරම් වූ උඩ පන්දු දර්ශනයද සමග දක්ෂතාවයන් සියල්ල කැටි කොට ගත් දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකානු ඉනිම පන්දුවාර 30 කදී ලකුණු 125 කට සීමා කළහ. මෙහිදී ස්ලිප් ස්ථානයේ සිටි ධනංජය ද සිල්වා රැක ගත් උඩ පන්දු තුනද කැපී පෙනෙනි.

දැවී ගිය කඩුලු 10 න් 8 ක්ම දවා ගනු ලැබුවේ දඟ පන්දු යවන්නන් වුවත් දඟ පන්දු යවන්නන්ට පාරාසීසයක් බඳු ප්‍රේමදාස තණතීරුවේ අත්‍යවශ්‍යම පිතිකරුවන් දෙදෙනකු වන රීසා හෙන්රික්ස් සහ වැන්ඩර් ඩසන්ගේ කඩුලු දවා ගත් වේග පන්දු යවන දුෂ්මන්ත චමීර තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

මංගල පන්දුවෙන්ම දෙවැනි තරගයේ ශතකයක් ලද ජෙනමන් මාලන්ගේ කඩුල්ල දවා ගත් මහීෂ් තීක්ෂණ එවැනි දක්ෂතාවයක් දක්වන ලද සිව්වැනි පන්දු යවන්නා ලෙසින් ඉතිහාස ගත වූවේය. ඔහුට පෙර චරිත බුද්ධික, කෞෂාල් ලොකුආරච්චි සහ තිළිණ තුෂාර මංගල පන්දුවේදී කඩුල්ලක් දවා ගත් පන්දු යවන්නෝ වෙති. කැරම් පන්දුව හමුවේ අසරණ වූ දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පන්දුවාර 10 ම ක්‍රියාත්මක කළ මහීෂ් තීක්ෂණ ඔවුන්ගේ කඩුලු 4 ක් දවා ගනු ලැබුවේ ලකුණු 37 ක් පමණක් ලබා දෙමිනි. ඔහුට අමතරව වනිඳු හසරංග කඩුලු 2 ක් සහ ප්‍රවීන් ජයවික්‍රම සහ චරිත් අසලංක එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ඉනිම ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නන් කෙතරම් හොඳින් පන්දු යැව්වේද කිවහොත් දකුණු අප්‍රිකානු ඉනිමේ 16 වැනි පන්දුවාරය වන විට ලකුණු 54 කට කඩුලු 6 ක් දවා ගැනීමට සමත්ව සිටියේය. දකුණු අප්‍රිකානු පිලේ හෙන්රිච් ක්ලාසන් හැරුණු කොට සෙසු එකම පිතිකරුවකුට හෝ ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවසර ලබා නොදුන්හ.

සමස්ථයක් ලෙස අද තරගයේ දැවී ගිය කඩුලු 19 න් 16 ක්ම දඟ පන්දු යවන්නන් විසින් දවා ගෙන තිබේ. මෙය එක්දින තරග ඉතිහාසයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දඟ පන්දු යවන්නන් විසින් දවා ගන්නා ලද දෙවැනි අවස්ථාව වශයෙන් සනිටුහන් වේ. මෙහි පළමු ස්ථානය හිමිවන්නේ 2011 වසරේදී බංග්ලාදේශය සහ පාකිස්තානය අතර පැවැති තරගය වන අතර එම තරගයේදී දඟ පන්දු යවන්නන් විසින් කඩුලු 19 ක් දවා ගෙන තිබේ.  

කාසියේ වාසිය දිනා පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භයේ සිටම තියුණු දඟ කැවීමක් සහිතව පන්දු යැවූ කේෂව් මහරාජ් ප්‍රමුඛ ප්‍රතිවාදී පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 8 ම ලකුණු 166 කදී දවා ගත්හ. එමඅවස්ථාවේදී ශ්‍රී ලංකා පිලට ලකුණු 200 සීමාව ඉක්මවා ලීමද සැක සහිත තත්ත්වයටම දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ පීඩනය වැඩි කළහ.

අද තරගය පැවැත්වුණේද පළමු තරගය පැවැති තණතීරුවේ බැවින් පන්දුවේ දඟ කැවීම ද ඉතා තියුණු විය. ඒ ගැන පැහැදිළිව අවබෝධ කරගත් දකුණු අප්‍රිකානු නායකයා, ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කිරීමේදී වේග පන්දුවට පන්දුවාර 10 ක් පමණක් වෙන් කරමින් ඉතිරි පන්දුවාර 40 යැවීම සඳහා දඟ පන්දු යවන්නන්ගේ සහයෝගය ලබා ගත්තේය. එය මෙතෙක් දකුණු අප්‍රිකානු තරග ඉතිහාසයේ තරගයක වැඩිම පන්දු වාර සංඛ්‍යාව ව වූ පන්දුවාර 33 ඉක්මවා යන්නක් විය. ඒ අතරතුර දැවී ගිය කඩුලු 9 න් 8 ක්ම දඟ පන්දු යවන්නන් අතර බෙදී ගියහ. 

පන්දුවට පහර දීමේදී පිතිකරුවන් යැයි නම් දරූවන් දැවී ගිය ආකාරය කණගාටුදායක විය. එහෙත් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණු චරිත් අසලංකට සහ පසුපෙළ ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දුන් දුෂ්මන්ත චමීරට ධෛර්යවන්තව පන්දුවට පහර දීම නිසා පන්දුවාර 50 අවසන් වන තෙක්ම කඩුලු රැක ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය. මංගල තරගයට සහභාගිවුණු මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර අතර 9 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ලකුණු සංඛ්‍යාව 32 කි. ජ්‍යෙෂ්ඨත්වය කරපින්නා ගනිමින් පන්දුවට පහර දුන් චමීර 49 වැනි පන්දුවාරයේදී පිටියෙන් ඉවතට යනවිට ලකුණු 29 ක්ද ඉනිම අවසන් වන තෙක් කඩුල්ල ආරක්ෂා කරගත් තීක්ෂණ ලකුණු 10 ක්ද ලබා සිටියේය.

අවසන් එක්දින තරග 5 දී සාර්ථකත්වයට පත්ව සිටින චරිත් අසලංක පිට පිටම තෙවැනි වතාවටත් අර්ධ ශතකයක් ලබා ගැනීමේ ආසන්නයට පැමිණියද කඩුල්ල පිටුපස සිට රැක ගත් උඩ පන්දුවක් හේතුවෙන් ඔහුට ලකුණු 47 කදී පිටියෙන් ඉවත්වීමට සිදුවිය. ටබ්‍රේස් ශම්සි එවන ලද පන්දුවකට ඉදිරි පාදයට ගොස් පහරක් එල්ල කිරීමට ගන්නා ලද උත්සාහයේදී එය කඩුලු රැකි ක්ලාසන් විසින් රැක ගෙන ස්ටම්ප් කිරීමක්ද සිදුකළේය. ඒ වන විටත් අසලංකගේ පාදය සීමා ඉරෙන් ඉදිරියේ තිබුණද පිත්ත පසුකර යන විට පන්දුව පිත්තේ කොණක වැදී යෑම නිසා අසලංකගේ දැවී යෑම සටහන් වූයේ උඩ පන්දුවක් ලෙසිනි.

ශ්‍රී ලංකා ඉනිමේ සමස්ථයක් ලෙස ගැනීමේදී නිලකුණු පන්දු 172 ක් යැවීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත්වූහ.එහිදී එක් ලකුණු බැගින් අවස්ථා 97 කදීද, දෙක බැගින් 18 වතාවකදීද ලබා ගනිද්දී ලකුණු 56 ක් හතරේ පහර වලින්ද ලබා ගැනීමට සත්කාරකයෝ සමත්වූහ.

පැවැති තරග 3 දී ලකුණු 196 ක් ලබා ගත් ශ්‍රී ලංකාවේ මැද පෙළ පිතිකරු චරිත් අසලංක තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙස 65.33 ක් සටහන් වෙයි.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සැප්තැම්බර් මස 10 වැනිදා ප.ව. 7.00 ට ආරම්භ වනු ඇත.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest