slc
logo
Home   |    News
සැප්තැම්බර් 8, 2021
සාර්ථකත්වයේ රහස ගැන අසලංක දුන්න ‘හිතාගන්න බැරි’ උත්තරේ

sinhala editor

By Chamila Karawita

සියලු අපල දෝස දුරු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම දැන් දිනන්නට පටන් ගෙන තිබේ. එය ඉබේ සිදු වූවක් නොවේ. කණ්ඩායමක් ජයග්‍රහණය කරා යෑමේදී මූලිකවම ගත යුතු තීරණ තීන්දු හරියාකාරව ගැනීම, මෙම හදිසි පිබිදීමට හේතු වී තිබේ. එම වටිනා කාර්යයන් තිරයෙන් පිටුපස සිදුකෙරෙන බැවින් එයට අගයක් එකතු කිරීමට කිසිවකුත් ඉදිරිපත් නොවෙති. එහෙත් යථාර්ථය එයයි. මේ සියල්ලම එකට කැටි කොට ගත් විට දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා පිරිවට ශ්‍රී ලංකාවට ජයග්‍රාහී ආශ්වාදයක් රැගෙන ඒමට සමත්වූහ. එය දකුණු අප්‍රිකාවට එරෙහිව පමණක් නොවේ. විස්සයි-20 ලොව අග රජුන් ලෙසින් සැලෙකන ප්‍රභල ඉන්දියාවට එරෙහිව තරගාවලි ජයක් සනිටුහන් කර ගනිමිනි.

පළමු තරගයේදී සටනකු දෙමින් ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා පිල දෙවැනි තරගයේදී නොසිතූ දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේය. එහෙත් වැටුණු තැනින් නැගිට්ටේ සිය කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ජාත්‍යන්තර අත්දැකීම් වලට වඩා වැඩි අත්දැකීම් සම්භාරයක් ඇති දකුණු අප්‍රිකානුවන්ව බිංදුවට ඇද දමමිනි.

“අපේ නායකතුමා කණ්ඩායම තුළ හොඳ වාතාවරණ්‍යක් හදලා තියෙන්නේ. මොකද කණ්ඩායමක් විදියට එකමුතු වෙලා ඉන්නේ. එතැනදි අපිට ලකුණු 203,  150 ද නැත්නම් 300 ද කියන එක නොවෙයි බලන්නේ. අපි තියෙන ලකුණු ප්‍රමාණයටයි ෆයිට් කරන්නේ. කිව්වා වගේ අපේ නායකතුමා හොඳ වාතාවරණයක් කණ්ඩායම තුළ හදලා තියෙනවා” යැයි ශ්‍රී ලංකා කණ්ඩායම තුළ වූ හදිසි පිබිදීම පිළිබඳව චරිත් අසලංක අදහස් දක්වා සිටියේය.

පැවැති තරග 3 දී අර්ධ ශතක 2 ක් සමඟින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අසලංක, තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ අතර එම තරගාවසානයෙන් පසු මාධ්‍ය අමතමින් ඒ බව ලොවට කියා පෑවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි වමත් පිතිකරුවා, “ඒක ප්‍රේක්ෂකයින්ට බැලුවත් පෙනවා ඇති එළියෙන්. වෙනසක් තියෙනවා ඇති කණ්ඩායමේම. මොකද පන්දු රැකීම ගත්තත් අපි එක දෙවැනි තරගයේදී පසුබැස්සා. නමුත් අපි ඊට පස්සේ හැමෝද දකින්න ඇති අපි කොහොමද පන්දු රැක්කේ කළේ කියලා මේ තරගයේදි. ඒ අපේ කණ්ඩායම ඇතුළේ තියෙන වාතාවරණයත් එක්ක” යනුවෙනි.

අසලංක ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග 8 කට පමණි. අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෙසින් කටයුතු කළ අසලංකගේ මංගල තරගය නම් එතරම් සුභ දායක නොවිණ. එංගලන්තයට එරෙහිව එක්දින වරම් දිනාගත් අසලංක එම තරගයේදී ලකුණු නොලබා දැවී ගියේය. දෙවැනි තරගයේදී ඔහුට ලබාගත හැකි වූයේ ලකුණු 3 කි. නමුත් එතැන් පටන් තමන්ගේ වගකීම කුමක්ද යන්න අසලංක වටහා ගත්තේය. බොහෝ තරුණ ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට ඇතුළු වීමේදී දක්ෂතා අතරට ඒමට කිසියම් කාලයක් ගන්නා නමුත් එය තමන්ට මහා පොදු සාධකයක් නොකර ගන්නට අසලංක වග බලා ගත්තේය.

පිතිකරුවකු ලෙස අසලංක සාර්ථකත්වයක් පෙන්නුම් කරන්නේ ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදීය. පළමුව ලකුණු 38 ක් ලබා ගන්නා චරිත් ඊයේ පැවැති තරගයේදී රැස් කරන ලද ලකුණු 47 ට පෙර ලකුණුඅ 64, 24, 72 සහ 77 වශයෙන් ලකුණු අතරට පැමිණියේය. දෙවැනි තරගයේ ලද ලකුණු 77 ඔහුගේ එක්දින තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාම ලෙසින් සටහන් වේ. අවසන් තරගයේදී අසලංකට අර්ධ ශතකය අහිමිවූයේ ලකුණු 3 ක අඩුපාඩුවෙනි. එයද ලබා ගැනීමට හැකි වූයේ නම් අවසන් ඉනිම 5 න් 4 කම අර්ධ ශතක වාර්තා කිරීමට අසලංකට අවස්ථාව උදාවන්නේය.

“හිතාගන්න බෑ” යැයි පිතිකරුවකු ලෙස ලබා තිබෙන සාර්ථකත්වය පිළිබඳව කරන ලද විමසීමේදී අසලංක සඳහන් කර සිටියේය. “තරගයක් ඉවර වුණාම ඒ තරගය මම අමතක කරලා ඊළඟ තරගයට එන්නේ මම බිංදුවක් ගහපු කෙනෙක් විදියට. එතකොට මට මුලටික ගහනකොටා පීඩනයක් දැනෙනවා. ඒ පීඩනය ගන්න මම කැමැතියි. මොකද කළින් තරගයේ මානසිකත්වයෙන් ඊළඟ තරගයේ බැට් කරොත් මට අර පීඩනය නැති වෙනවා. ඒක නැති වුණොත් මගෙන් වැරදි පහරක් එල්ල වෙන්න පුලුවන්. ඉතිං මගේ සැලසුමේ පීඩනය කියන එක තියෙනවා. පන්දුවට පහර දෙන්න මුලින් පටන් ගන්න ඕන බිංදුවේ ඉඳන් කියන එක නිතරම මගේ ඔලුවට කියනවා. සමහර විට ඒක වෙන්න පුලුවන් මම ලබලා තියෙන සාර්ථකත්වයට හේතුව” යැයි අසලංක වැඩිදුරටත් අදහස් දක්වයි.

ගෙවී ගිය කාල මුලුල්ලේම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල අඩුපාඩුවක් වුණු අංක 5 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දෙන අසලංක, තමාට පැවැරී තිබෙන වගකීම ඉතාම හොඳින් සිදු කරමින් සිටියි. තරග 8 කට ක්‍රීඩා කර ඇති අසලංක මේ වන විට රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 326 ක් වන අතර ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 40.75 ක් ලෙස සටහන් වේ. එක් විස්සයි-20 තරගයකට සහභාගිව ඇති අසලංක ප්‍රහාරක වේගය 170 ක් රඳවා තබා ගනිමින් ලකුණු 44 ක් රැස් කරගැනීමට සමත්ව සිටියි.

තරගයට පැමිණීමේදී තමන්ගේ සූදානම පිළිබඳව අදහස් දක්වා සිටින අසලංක, “මට නායකයා කියලා තියෙන්නේ ටීම් එක අන්තිම වෙනකම් ඇදන් යන්න. ඉතිං ඒ වගේ ප්ලෑන් එකක් දුන්නහම ඒ වාතාවරණයත් එක්ක මට ක්‍රීඩා කරන්න ලේසියි. නායකයා අපේ ඔලුව හදනවා. මල්ලි මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා මට තියෙන ප්ලෑන් එක මේක කියලා දෙනවා. ඉතිං ඒ වගේ සැලසුමක් දුන්නහම අත්දැකීම් අඩු ක්‍රීඩකයින් විදියට මැදට ගියාම අපිට හරි ලේසියි. කිසිම පීඩනයක් නෑ. ඒ දෙන නිදහස මාර වටිනවා” යැයි පවසන වමත් පිතිකරුවා, “දැන් හැමෝම කණ්ඩායමේ ඉන්නේ සතුටෙන්” යැයිද පවසා සිටියේය.

“මම හිතන්නෙ ගොඩක් වෙලාවට තාම මදි මම, තාම මදි මම කියලා. මට දියුණු වෙන්න තමයි ගොඩක් දේවල් කරන්නේ. මේ සීරීස් එකෙත්මම හිතන්නේ මට තව කරන්න තිබුණා කියන එක මට හිතෙනවා. මම හිතන්නේ මං මහන්සි වන ප්‍රමාණය වැඩියි. ඒක නිසා ඉස්සහරට තව ගොඩක් දක්ෂතා වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙනවා” යැයි අසලංක සිය අනාගත බලාපොරොත්තු පිළිබඳව අදහස් දක්වා සිටියේය.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee