slc
logo
Home   |    News
ඔක්තෝබර් 28, 2021
ඔස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාවේ අපරාජිත ගමන නවතියි

sinhala editor

By Chamila Karawita

රැක ගත යුතුම උඩ පන්දුවක් කුසල් පෙරේරා අතින් ගිලිහී යෑම නිසා එය සිය 19 වැනි විස්සයි-20 අර්ධ ශතකය බවට පරිවර්තනය කරගනිමින් ඩේවිඩ් වෝනර් ක්‍රීඩා කරන ලද වේගවත් ඉනිම හේතුවෙන් විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 තරග වටය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු පිල අද (28 වැනිදා) සමත්වූවේය. ජයග්‍රහණය සඳහා හඹා ගිය ලකුණු 155 ඉලක්කය සපුරා ගනිද්දී  ඔස්ට්‍රේලියානුවන් සතුව කඩුලු 7 ක් සහ පන්දුවාර 3 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ කඩුලු රැකි කුසල් පෙරේරා වෙතට ලබා දුන් පහසුම උඩ පන්දුව ගිලිහී යෑමෙන් වරම් ලබා ගත් ඩේවිඩ් වෝනර් පන්දු 42 කදී ලකුණු 65 ක් බවට තම ඉනිම ඉහළ දමා ගත්තේය. ඊට යාර 30 සීමාවේ රැඳී සිටි පන්දු රකින්නන් නරඹන්නන් බවට පත් කරමින් එල්ල කරන ලද හතරේ පහර 10 ක්ද ඇතුළත් විය. වෝනර්ට වඩා වේගයෙන් පන්දුවට පහර දුන් නායක ඒරන් ෆින්ච් පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමඟින් ලකුණු 37 ක් රැස් කරමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය.

එම ඉනිම ප්‍රධාන කොට පළමු කඩුල්ලේ සම්බන්ධතාවය පන්දු 42 කදී ලකුණු 70 ක් බවට පත්විය. මෙම වේගවත් සම්බන්ධතාවය නිසා මෙවර තරගාවලියේදී පවර් ප්ලේ අවස්ථාවේදී කණ්ඩායක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවද වූ ලකුණු 63 ක් සටහන් කිරීමටද ඔස්ට්‍රේලියාවට අවස්ථාව උදාවිය.

නායකයා පන්දුව ලබා දුන් පළමු පන්දුවාරයේදීම ෆින්ච්ගේ කඩුල්ල දවා ගත් වනිඳු හසරංග, තවත් ලකුණු 10 ක් ඇතුළත මැක්ස්වෙල්ගේ ද කඩුලු දවා ගත්තේය. දසුන් ශානක විසින් වෝනර්ව දවා ගැනීමත් සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ස්ටීවන් ස්මිත් සමඟ ගොඩ නංවන ලද ලකුණු 50 ක සම්බන්ධතාවයද බිඳ වැටිණ. එහෙත් ඒ වන විටත් ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලංකා බලාපොරොත්තු වඩාත් ඈතට රැගෙන යෑමට වෝනර් සමත්ව සිටියේය. ඉන් නොනැවතුණු ස්ටීවන් ස්මිත් සහ මාකස් ස්ටොයිනිස් 17 වැනි පන්දුවාරයේදී ඔස්ට්‍රේලියානු පිල ජය ටැඹ කරා රැගෙන ගියහ. ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රඩා කළ ස්මිත් ලකුණු 28 ක්ද ස්ටොයින්ස් ලකුණු 16 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටියහ.

කුසල් පෙරේරා සහ චරිත් අසලංක එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ගොඩ නංවන ලද ලකුණු 63 ක සම්බන්ධතාවයත් භානුක රාජපක්ෂගේ ලකුණු 33 ක ඉනිමත් ප්‍රධාන කොට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 154 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව උදාවිය. මුහුණ දුන් පළමු පන්දු දෙකටම පුල් පහර වලින් හතරේ පහර 2 ක් එල්ල කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ චරිත් අසලංක, ඔස්ට්‍රේලියානුවන්ට අභියෝගයක් එල්ල කරන ලද පළමු පිතිකරුවා බවට පත්වූවේය. කිසිදු පැකිළීමකින් තොරව පැමිණි අවස්ථාවේ සිටම මනා විශ්වාසයකින් පන්දුවට පහර දුන් වමත් පිතිකරුවා ග්ලෙන් මැක්ස්වෙල්ගේ පළමු පන්දුවටම මිඩ් විකට් කළාපයට ඉහළින් එල්ල කරන ලද හයේ පහරද සමග ලකුණු 16 ක් උදුරා ගත්තේය.

අසලංක පහර එල්ල කරන විට කුසල් පෙරේරාද අනෙක් අන්තයේ සංසුන්ව සිටියේය. අසලංකගේ ප්‍රහාරය ප්‍රධාන කොට පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ලකුණු 53 ක් එක් කර ගැනීමටද ශ්‍රී ලංකා පිලට අවස්ථාව උදාවිය. මෙව මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව රැස් කරන ලද දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම තරගාවලියේ පස්වැනි ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. කෙසේ වෙතත් මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය ප්‍රධාන කොට පළමු පන්දුවාර 10 අවසන් වන විට ලකුණු 79 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ.

තරගයට පෙර ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව සැලසුම් සකස් කළ යැයි සඳහන් කළද පා දඟ පන්දු යවන්නන් හමුවේ මුහුණ දීමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දක්වන ලද දුර්වල පිතිහරඹය ඔස්ට්‍රේලියානු නායකයා තුරුම්පුවක් කර ගත්තේය. කොතෙක් හොඳට පන්දුවට පහර දුන්නද චරිත් අසලංකව දවා ගැනීම සඳහා පා ඉන්න පෙදෙසෙන් ක්‍රීඩකයින් තුන්දෙනෙකු රඳවමින් තමන් සතු හොඳම තුරුම්පුව වූ ඇඩම් සම්පාව කැඳවීය. පන්දු කීපයක් පා දඟ පන්දු ලෙසින් අසලංකට යොමු කළ සම්පා ඊළඟ පන්දුව ගුග්ලි පන්දුවක් ලෙසින් යොමු කළේය. නොසිතූ ලෙස පන්දුවේ දඟ කැවීම අනෙක් පැත්තට වූයෙන් පිත්තත් පන්දුවත් අතර වූ පරතරය වැඩි විය. එබැවින් අසලංක බලාපොරොත්තු වූ තරම් පහරේ ජවය පන්දුව වෙත යොමු නොවූයෙන් එය උඩ පන්දුවක් ලෙස ස්කෙවයාර් ලෙග් කළාපයේ පන්දු රැකි ස්ටීවන් ස්මිත් අත රැඳිණ. ඒ අනුව සිය ජාත්‍යන්තර තරග දිවියේ පළමු වතාවට අසලංක පා දඟ පන්දු යවන්නකු හමුවේ කඩුල්ල පූජා කළේය.

අසලංකගේ දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ පසුබෑම ඇරඹුණේ යැයි පැවසුවහොත් නිවැරදිය. එතැන් පටන් ලකුණු ලබා ගැනීමේ වේගය පමණක් නොව ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු බිඳ වැටීමද ඇරැඹිණ. මුලු ලකුණු සංඛ්‍යාවට ලකුණු 12 ක් එකතු වද්දී අසලංකද ඇතුළුව කඩුලු 3 ක් දැවී යෑම ශ්‍රී ලංකාවට පාඩුවක් විය. දැවී ගිය කඩුලු අතර කුසල් පෙරේරා (35) සහ අවිෂ්ක ප්‍රනාන්දු ද ඇතුළත්ව සිටීම දැඩි පාඩුවක් විය. කෙසේ වෙතත් මෙම කඩුලු දැවී යෑඹත් සමඟ පවත්වාගෙන ආ සාර්ථක ලකුණු ලබා ගැනීමේ වේගයද අඩාල වූවා පමණක් නොව මීට වඩා ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමට තිබූ අවස්ථාවද ශ්‍රී ලංකාවට මඟ හැරී ගියේය.

පසුබෑමේදී හිස පහත් කොට සිටීම නුවනට හුරුබව වටහා ගත් භානුක අවසන් පන්දුවාර 4 වන තෙක් ලකුණින් ලකුණු පැති මාරු කර ගනිමින් පන්දුවට පහර දුන්නේය. ඒ අතරතුර නායක දසුන් ශානකට එක්වූ භානුක 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40 ක් රැස් කළේය. ඒ සඳහා පන්දු 32 ක් වැය වූ අතර එහිදී නායක දසුන්ට සිය පළමු හතරේ පහර එල්ල කිරීමට පන්දු 18 ක් මුහුණ දීමට සිදුවීම විස්සයි-20 තරගයකට එතරම් සුදුසු තත්ත්වයක නොවීය. අනපේක්ෂිත කඩුලු බිඳ වැටීම එම සම්බන්ධතාවයේ ප්‍රහාරාත්මක වේගය අඩාල වීමට සෘජුව බලපෑ නමුත්,  17 වැනි පන්දුවාරයේ සිට සිය ප්‍රාහාරාත්මක පිතිහරඹය දියත් කළ රාජපක්ෂ ඉනිම හමාර වන තෙක්ම තම ඉනිම ආරක්ෂා කර ගනිමින් ලකුණු 33 ක් රැස් කර ගත්තේය. ඒ අතර මාකස් ස්ටෝයිනිස්ගේ පිට පිට පන්දු 3 කදී එල්ල කරන ලද හතරේ පහර 2 ත් හයේ පහරත් ද ඇතුළත්විය. අවසානයේ භානුගේ ඉනිම සටහන් වූයේ හතරේ පහර 4 කින් සහ හයේ පහරකින් වර්ණවත් වුණු පන්දු 26 ක ඉනිමක් ලෙසිනි.

පන්දු යැවීමේදී කැපී පෙනුණු පා දඟ පන්දු යවන ඇඩම් සම්පා පන්දුවාර 4 ලකුණු 12 කටසීමා කරමින් කඩුලු 2 ක් දවා ගත් අතර එම දක්ෂතාවය ඔහුට  තරගයේ වීරයා සම්මානය ගෙන දුන්නේය. ඔහුට අමතරව මිචෙල් ස්ටාර්ක් සහ පැට් කමින්ස් කඩුලු 2 බැගින් දවා ගත්හ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee