slc
logo
Home   |    News
ඔක්තෝබර් 24, 2021
බංග්ලාදේශය පරාජය කළ ශ්‍රී ලංකාව අපරාජිතව ඉදිරියටම

sinhala editor

By Chamila Karawita

මෙතෙක් කලක් අඩුපාඩුව පැවැති අංක 3 පිතිකරණ ස්ථානය සඳහා සාර්ථකම පිතිකරුවා තමන් බව ඔප්පු කරමින් චරිත් අසලංක ගොඩ නවන ලද ලකුණු 80 ක නොබිඳුණු ඉනිමත්, 30 වැනි උපන්දිනය, පළමු විස්සයි-20 අර්ධ ශතකයෙන් සරසා ගැනීමට භානුක රාජපක්ෂ සමත්වීමත්වීම නිසා සුපිරි 12 තරග වටය ආරම්භ කරමින් බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (24 දා) පස්වරුවේ සමත්විය.

ලකුණු 172 ක ඉලක්කය, නවක ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා පිලට උවමනාවටත් වැඩි යැයි පවසමින් පන්දු රැකීමට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමට කදිම පාඩමක් ඉගැන්වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දුවාරයකට 8.56 ක දළ වේගයක් රඳවා ගත යුතුව තිබූ හඹා යෑමේදී පන්දු 7 ක් ඉතිරිව ඉලක්කය සපුරා ගත්හ. බංග්ලාදේශයට එරෙහිව මෙතෙක් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක පරාජයට පත්ව නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම අද වාර්තා කරන ලද ජයග්‍රහණයත් සමඟ ජයග්‍රාහී ප්‍රතිශතය තවදුරටත් 100% කින් ආරක්ෂා කර ගැනීමටද සමත්වූවේය.

මුහුණ දුන් 49 වැනි පන්දුව හතරේ සීමාවට හරවා යමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් කළ අසලංක, සිය ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 5 කින් වර්ණවත් කර ගෙන සිටියේය. අද තරගය 5 වැනි විස්සයි-20 තරගය බවට පත් කරගත් අසලංක බංග්ලාදේශ පිලට වැඩිම හිසරදයක් ගෙන දුන් පිතිකරුවා බවට පත්වූයේ මංගල අර්ධ ශතකයද වාර්තා කර ගනිමිනි. මෙම ඉනිම නිසා අසලංක තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

කුසල් පෙරේරා දැවී යෑම නිසා පළමු පන්දුවාරයේදීම පන්දුවට පහර දීමට පැමිණි 24 හැවිරිදි වමත් පිතිකරුවා, දෙවැනි පන්දුවාරය යැවූ මෙහෙදි හසන්ගේ සිව්වැනි පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් ප්‍රහාරාත්මක ඉනිම දියත් කළේය. ඊළඟ පන්දුවාරය යැවූ නසුම් අහමඩ්ගේ පළමු පන්දුවට මිඩ් ඕෆ් කළාපයට ඉහළින්ද තෙවැනි පන්දුවට ස්ලොග් ස්වීප් පහරකින් පන්දුව හතරේ සීමාවට ඉහළින් යෑමට සැලැස්වූ චරිත් පීඩනය බංග්ලාදේශ පිල වෙත යොමු කළේය. මෙම පිතිහරඹය හේතුවෙන් පවර් ප්ලේ පන්දුවාර 6 දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 1 කට ලකුණු 54 ක් ලෙසින් සටහන් විය.

පිතිකරුවකු ලෙසින් අසාර්ථක වුවද තම දෙවැනි පන්දුවාරයේදීම පැතුම් නිස්සංකව දවා ගනිමින් ශකීබ් අල් හසන් අරියාදු කළේය. දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවයද ලකුණු 69 දී සීමා කිරීමෙන් නොනැවතුණු වමත් දඟ පන්දු යවන්නා තවත් පන්දු 3 කින් පසු අවිෂ්ක ප්‍රනාන්දුවද දවා ගත්තේ පළමු පන්දුවාර 10 ඇතුළත තම කණ්ඩායමට ලබාදිය හැකි උපරිම වාසි ලබා දෙමිනි.  ලකුණු 08 ක් ලකුණු පුවරුවට එක් වද්දී වනිඳු හසරංගද දැවී යෑම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් විය.

අසලංකගේ වේගවත් ඉනිම නිසා වැඩි කබලයක් නොපෙන්වූ භානුක රාජපක්ෂ පළමු පන්දු 9 දීම ලබාගත්තේ ලකුණු 6 ක් පමණි. අෆීෆ් හොසේන්ගේ දඟ කැවුණු පන්දුවකට සීමා ඉරෙන් ඉදිරියට පැන කවර් කළාපයට ඉහළින් එල්ල කරන ලද ‘ඉන්සයිඩ් අවුට්’ පහර භානුකගේ පළමු හයේ පහර විය. එම පන්දුවෙන් පසු නැවතත් එල්ල කරන ලද ස්වීප් පහර ඩීප් ස්කෙවයාර් ලෙග් කළාපයේ පන්දු රැකි ලිටන් දාස් අතින් ගිලිහී නොයන්නට සිය 30 වැනි උපන් දිනය යෙදී තිබුණු අද දිනයේදී පළමු අර්ධ ශතකය වාර්තා කිරීම පසෙක තබා ඉනිම ලකුණු 14 කදී නවතා ක්‍රීඩාගාරයට යෑමට භානුකට සිදුවනු ඇත.

අවසන් පන්දුවාර 8 දී ශ්‍රී ලංකා ජයග්‍රහණයට ලකුණු 82 ක් ලබා ගත යුතු වූ අතර එතැන් පටන් නිදහසේ පන්දුවට පහර දීම ආරම්භ කළ භානුක – අසලංක යුගලය ඊළඟ පන්දු වාර 5 දී ලකුණු 69 ක් රැස් කළේ අවසන් පන්දු 18 දී ලබාගත යුතු ඉලක්කය ලකුණු 13 ක් තරම් අඩු අගයකට ගෙන එමිනි. පන්දු 52 කදී වාර්තා වුණු 5වැනි කඩුල්ලේ සම්බන්ධතාවය බිඳ වැටුණේ පන්දු 10 කදී ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා ලබාගත යුතු වන ඉලක්කය ලකුණු 7 ක් ලෙස සටහන්ව තිබියදීය. ඒ අතරතුරදී මහමුදුල්ලා ක්‍රියාත්මක කරන ලද 14 වැනි පන්දුවාරයට 16 ක් සහ දහසය වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද සෆියුඩීන්ට එරෙහිව ලකුණු 22 ක් ලබා ගැනීමට අසලංක සහ භානුක සමත්වූහ. දැවී යන විට භානුකගේ නම ඉදිරියෙන් සටහන් වුණු ලකුණු 53 ක ඉනිම සඳහා ඔහු පන්දු 31 කට මුහුණ දී තිබුණේ ඉන් 3 ක් හයේ පහරද 3 ක් හතරේ පහර ලෙසින්ද එල්ල කරමිනි.

මොහොමඩ් නයීම්ගේ (62) සහ මුෂ්ෆිකර් රහීම්ගේ (නොදැවී 57) ගේ අර්ධ ශතක හේතුවෙන් පන්දුවාර 20 අවසන් වන විට ලකුණු 171 ක් ලකුණු පුවරුවේ රැඳවීමට බංග්ලාදේශ පිලට හැකියාව ලැබිණ. කඩුලු 4 ක් බිඳ වැටුණු බංග්ලාදේශ ඉනිමේදී තෙවැනි කඩුල්ල වෙනුවෙන් නයීඹ් සහ මුෂ්ෆිකර් පන්දු 51 කදී ලකුණු 73 ක් එක් කළහ.

ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි නයීම් 16 වැනි පන්දුවාරයේ දැවී යන විට පන්දු 52 කට මුහුණ දී සිටියේය. ආධුනිකයා දැවී ගියද ඉනිම හමාර වන තෙක්ම තම කඩුල්ල ආරක්ෂා කරගත් හිටපු නායක රහීම්, පළමු වතාවට මෙම තරගාවලියේ අර්ධ ශතකයට හිමිකම් කීවේය.

මෙම තරගයේදී දුෂ්මන්ත චමීර පැයට කිලෝ මීටර 150 ක වේගයකින් පන්දුවක් යොමු කිරීමට සමත්වීම ද තරගයේ කැපී පෙනුණු සිදුවීමක් විය. දෙවැනි පන්දුවාරයේ පස්වැනි පන්දුව යැවීමෙන් පසු එහි වේගය සටහන් වූයේ පැයට කිලෝ මීටර 150 ක් ලෙසිනි. එය මෙතෙක් තරගාවලියේ පන්දු යවන්නකු යවන ලද වේගවත්ම පන්දුව ලෙසින් සටහන් වීම කැපී පෙනෙයි. එහෙත් මෙම තරගයේදී දුෂ්මන්ත දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 4 දී ලකුණු 41 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ.

ඉනිම ආරම්භයේදී ලිටන් දාස් දවා ගැනීමට ළහිරු කුමාර සමත්වීමත් සමග පිටිය තුළ කිසියම් උණුසුම් තත්ත්වයක් ඇතිවිය. එහෙත් ක්‍රීඩකයින්ගේ මැදිහත්වීම හරහා එය සමථයකට පත් වුවද ළහිරුගේ පන්දු හමුවේ දාස්ට කඩුල්ල අහිමිව ගියේය. මෙම තරගයේදී මහීෂ් තීක්ෂණ විවේග ගැන්වීම නිසා ශ්‍රී ලංකා පිල ප්‍රධාන වේග පන්දු යවන්නන් සිව් දෙනෙකුගෙන් යුතුව අවතීර්ණ වීම කැපී පෙනෙණ. තීක්ෂණගේ ස්ථානය සඳහා බිනුර ප්‍රනාන්දුව ආදේශ කරමින් ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව සැලසුම් සකසද්දී බිනුර ලකුණු 27 කට කඩුල්ලක් දවා ගත්තේය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee