slc
logo
Home   |    News
ඔක්තෝබර් 1, 2021
23 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන ගමන අරඹයි

sinhala editor

By Chamila Karawita

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද සාමාජිකයින් 19 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අතිරේක ක්‍රීඩකයින් 5 දෙනෙකු එකතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මොවුන් එකතුවීමත් සමඟ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ලෝක කුසලාන සංචිතය ක්‍රීඩකයින් 23 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අනුව ලෝක කුසලානය සඳහා සහභාගිවන කණ්ඩායමේ උපරිම සාමාජිකයින් සංඛ්‍යාව 15 ක් විය යුතු වුවත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු සංචිතයේ තබා ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ. එහෙත් හදිසි ආබාධයක් හෝ අවශ්‍යතාවයක් මතුවුවහොත් විකල්ප ලෙසින් අතිරේක ක්‍රීඩකයින් පස් දෙනෙකු සංචිතයේ රඳවා ගැනීම සඳහා තේරීම් කමිටුව විසින් කරන ලද ඉල්ලීම සලකා බලා පැතුම් නිස්සංක, මිනෝද් භානුක, අෂේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන් සහ රමේෂ් මෙන්ඩිස් යන ක්‍රීඩකයින්වද ලෝක කුසලාන තරගාවලිය සඳහා රැගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදනු ලැබීය.

ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානයට එරෙහිව පුහුණු තරග 2 කට සහභාගිවීමට නියමිත වේ.

දකුණු අප්‍රිකානු තරග සංචාරය අතර තුරදී බෙල්ල ආශ්‍රිත ප්‍රදේශයේ ආබාධයකට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මදුශංකගේ ආබාධිත තත්ත්වය තවමත් සුව අතට පත් නොවීම හේතුවෙන් ඔහුට ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමිව තිබේ.

ළහිරු මදුශංකගේ ස්ථානයට ආදේශ කරන්නේ කවුරුන්ද යන්න තේරීම වෙනුවෙන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුවට ඕමානයට එරෙහිව පැවැත්වෙන තරග 2 ඉතිරිව තිබේ. කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරනු ලබන අවසන් 15 දෙනා සංශෝධනය කිරීමේ හැකියාව ඔක්තෝබර් 10 වැනිදා දක්වා සිදුකළ හැකි වන අතර එදිනට පසුවද ආබාධයන් වලට ගොදුරුවන ක්‍රීඩකයින් වෙනුවෙන් ආදේශ ක්‍රීඩකයින් ඉදිරිපත් කිරීමේ හැකියාව ශ්‍රී ලංකා කළමනාකාරීත්වයට හිමිව තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් 23 දෙනා අතරින් වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර හැර අනෙක් ක්‍රීඩකයින් 21 දෙනෙකු ඉකුත් සැප්තැම්බර් මස 21 වැනිදා සිට ජෛව බුබුළු පරිසරයක් යටතේ පුහුණු කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් වල නිරත වූහ. අයි.පී.එල්. තරගාවලිය යටතේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල නියෝජනය නියෝජනය කරනු ලබන වනිඳු සහ දුෂ්මන්ත ශ්‍රී ලංකා පිල එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණීමෙන් පසු එකතු වනු ඇත.

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය යටතේ ශ්‍රී ලංකා පිල ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත. එහි ප්‍රතිවාදීන් වන නැමීබියාවට එරෙහිව ඔක්තෝබර් 18 වැනිදා ද අයර්ලන්තයට එරෙහිව 20 වැනිදාද නෙදර්ලන්තයට එරෙහිව 22 වැනිදා ද තරග වදිනු ඇත. සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ පළමු ස්ථානයට පත් වන කණ්ඩායම ප්‍රධාන තරගාවලිය ‘ඒ’ කාණ්ඩයද දෙවැනි ස්ථානයට පත් වන කණ්ඩායම ‘බී’ කාණ්ඩයටද ඇතුළත් වනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ස්ථානයෙන් සුදුසුකම් ලැබීමේ වටය අවසන් කළහොත් ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ද දෙවැනි ස්ථානයට පත් වුවහොත් ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්තානය ප්‍රතිවාදී කණ්ඩායම් බවට පත්වනු ඇත.

ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද ප්‍රධාන සංචිතය – දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, මහීෂ් තීක්ෂණ.

සංචිතයට ඇතුළත් අතිරේක ක්‍රීඩකයින් – ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, පුලින තරංග.

අතිරේකව සංචිතයට එක් කළ ක්‍රීඩකයින් – මිනෝද් භානුක, පැතුම් නිස්සංක, අෂේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන්, රමේෂ් මෙන්ඩිස්.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee