slc
logo
Home   |    News
ඔක්තෝබර් 24, 2021
ශ්‍රී ලංකාව ගැන ‘ඉයන් බිෂොප්’ ලෝකෙට ලබා දුන් පණිවිඩය

sinhala editor

By Chamila Karawita

නෙදර්ලන්තයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දු යැවූ ආකාරය සිත් ඇද ගන්නා සුළුය. එබැවින්ම ශ්‍රී ලංකා පිල පිළිබඳව විස්තර විචාරයේ යෙදී සිටි බටහිර ඉන්දීය කොදෙව් දේශයේ හිටපු වේග පන්දු යවන්නකු වන ඉයන් බිෂොප් පවා සඳහන් කර සිටියේ “මෙය බරපතල පන්දු යැවීමේ අංශයක්. එය තරගාවලිය නියෝජනය කරනු ලබන සෙසු කණ්ඩායම් වලට පණිවිඩයක් යවනු ලබනවා” යනුවෙනි.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල පිටත්ව යන විට එතරම්ම විශ්වාසයක් නොතිබූ බව සැබෑය. එහෙත් ඕමානයට එරෙහිව පැවැති තරගාවලියේ සිට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දක්වා දක්වන ලද දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ වූ ආකල්පය වෙනත්ම පැත්තකට ඇදී ගොස් තිබේ. පන්දු යැවිමේ අංශය, පන්දු රැකීම මෙන්ම පන්දුවට පහර දීම ගත් කල්හි ඉයන් බිෂොප් සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාව අති භයානක කණ්ඩායමකි.

තමන් සතු දක්ෂතාවය කෙතරම් බල සම්පන්නද යන්න ඔප්පු කර පෙන්වූ ශ්‍රී ලංකා පිල සුදුසුකම් ලැබීමේ තරග වටයේදී තමන් අහළකටවත් ළංවීමට ප්‍රතිවාදීන්ට අවස්ථාව ලබා නොදුන්හ. පළමුව නැමීභියාවට එරෙහිව කඩුලු 7 ක ජයකුත්, අයර්ලන්තයට එරෙහිව ලකුණු 70 ක ජයකුත් වාර්තා කළ ශ්‍රී ලංකාව නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 8 ක පූර්ණ ජයක් ලැබුවේ ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය සඳහා අබමල් රේණුවක හෝ අවස්ථාවක් නොතබමිනි.

එසේ ප්‍රධාන වටයට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු සටනට අද (ඔක්තෝබර් 24) බංග්ලදේශයට එරෙහිව සහභාගිවෙයි. බංග්ලාදේශය හැරුණු විට ශ්‍රී ලංකාව තරග වදින පළමු කාණ්ඩය යටතේ සිටින්නේ විස්සයි-20 තරග අංශයේ ප්‍රධානම රටවල් කීපයකි. ඒ වත්මන් ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව්, ලෝක ශූර එංගලන්තය, ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් වේ. මේ අතරින් වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් ලබන කණ්ඩායම් 2 අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබන බැවින් අද තරගයේ සිටම බුරුළක් නොමැතිව ශ්‍රී ලංකා පිල තරග වැදිය යුතුය.

වේග පන්දු යවන්නන් තිදෙනා වන චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර මෙන්ම ළහිරු කුමාර සිය වගකීම ඉහළින්ම ඉටු කරන අතර මෙතෙක් පැවැති තරග 3 දී කඩුලු 14 ක් දවා ගැනීමට දඟ පන්දු යවන්නන් වන වනිඳු හසරංග සහ 21 හැවිරිද මහීෂ් තීක්ෂණ සමත්ව සිටියි. නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 03 කට කඩුලු 2 ක් බිඳ හෙළූ අතර අවසන් පන්දුවාරය යැවීමෙන් අනතුරුව ඇලපතේ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවතට ගියේය. නෙදර්ලන්ත ඉනිම හමාර වන තෙක් ඔහු පන්දු රැකීම සඳහා පිටියට නොපැමිණීම නිසා ධනංජය ද සිල්වා පන්දු රැකීමේ කාර්යෙයහි නියැළිණ.

මෙම තත්ත්වය මත අද තරගය සඳහා තීක්ෂණගේ සහභාගිත්වය අවිනිශ්චිත බව තරගය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී නායක දසුන් ශානක සඳහන් කර සිටියේය. එබැවින් එම ස්ථානය සඳහා බොහෝ විට අකිල ධනංජය ආදේශ වනු ඇත. එහෙත් පිට දඟ පන්දු යවන්නකු වශයෙන් කටයුතු කරන උප නායක ධනංජය ද සිල්වාද සිටින්නේ අතිරේක ක්‍රීඩකයින්ගේ බංකුවේය. දක්ෂ පන්දු යැවීමේ බල ඇණියක් සිටින බංග්ලාදේශයට එරෙහිව ධනංජයව යෙදවීම පිළිබඳවද තේරීම් වලදී දෙවතාවක් අවධානය යොමු වන කරුණක් වනු ඇත.

“මහීෂ්ගේ ආබාධය නිතරම එන එකක්. මං හිතන්නේ නෑ ඒක වැඩි කාලයක් තියෙයි කියලා. අපි පුලුවන් තරම් උත්සාහ කරනවා එයාව තරගයට ක්‍රීඩා කරවන්න. ඒත් ගොඩක් වෙලාවට එයා හෙට තරගයට ක්‍රීඩා කරන එකක් නෑ. ඒ ගැන මට නිශ්චිතවම මුකුත් කියන්න බෑ. භෞත චිකිත්සකවරයාගේ වාර්තාව ලැබුණට පස්සේ තමා තීක්ෂණ ගැන අපිට අවසන් තීරණයකට එන්න වෙන්නේ” යැයි දසුන් පවසා සිටියේය.

බංග්ලාදේශයට එරෙහි තරගය අද ප.ව. 3.30 ට සාජා ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ස්කොට්ලන්තය හමුවේ කඩුලු 6 ක පරාජයක් ලැබීම නිසා බංග්ලාදේශය ප්‍රධාන තරග වටයට සුදුසුකම් ලබා ගන්නා ලද්දේ අවසන් මොහොතේය. ඒ ඕමානයට සහ පැපුවා නිව්ගිනියාවට එරෙහිව ජය වාර්තා කරමිනි. ඕමානයට එරෙහිව ලකුණු 26 ක ජයක් ලද බංග්ලාදේශය පැපුවා නිව්ගිනියාවට එරෙහිව ලකුණු 84 ක ජයක් වාර්තා කළේය.

ඔවුන් සතු ප්‍රධානම ක්‍රීඩකයා වන්නේ ශකීබ් අල් හසන්ය. තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන ශකීබ් ඇතුළු බංග්ලාදේශ පිලෙන් දැඩි අභියෝගයක් එල්ල විය හැකි බව අපේක්ෂා කර සිටින ශ්‍රී ලංකා පිල ඒ සඳහා වෙනම සැලසුමක්  සකස් කර තිබේ.

අද තරගය පිළිබඳ දසුන් ඇතුළු පිරිවට සතුව පවතින්නේ ධනාත්මක ආකල්පයකි. ගෙවී ගිය මාස කීපයේ නොතිබූ විශ්වාසයක් කණ්ඩායම තුළ ගොඩ නැගී තිබේ. විශ්වාසයෙහි තරම කොතෙක්ද යන්න තරග කිරීමේදී පැහැදිළිවම පෙනී යයි. ඔවුන් පන්දු රැකීම අති විශිෂ්ඨය. වෙනදා ගිලිහෙන උඩ පන්දු දැන් ඔවුන් හඹා යමින් රැක ගනියි. පන්දුව කෙළින්ම කඩුල්ලට එල්ල කිරීමේදී වෙනදා ගිලිහී ගිය දුවද්දී දැවී යෑම් දැන් ‘ටක්කෙටම’ හරි ගොසිනි.

“මෙතැනට ආවම ලබා ගන්න අත්දැකීම් තුළින් තමයි ක්‍රීඩකයින් දියුණු වෙලා තරග ජයග්‍රහණය කරන්න පටන් ගන්නේ. ඉතිං පුහුණුවීම් හොඳින් කරමින් ක්‍රීඩකයින් තමන්ගේ හැකියාවන් දියුණු දියුණු කරගෙන තියෙනවා” යැයි කණ්ඩායම තුළ ඇතිවී තිබෙන දැඩි අධිෂ්ඨානශීලී ශක්තිය පිළිබඳව දසුන් අදහස් දක්වා සිටියේය.

“විශේෂයෙන්ම ඔයාලා දකිනවා ළහිරු කුමාරගේ වර්ධනය. ඒ වගේම මහීෂ් තීක්ෂණ සහ පැතුම් නිස්සංකගේ. තරුණ ක්‍රීඩකයෝ සියලු දෙනාම හරි වෙලාවේ දක්ෂතා අතරට ඇවිල්ලා තියෙනවා. ඔවුන් පුහුණුවීම් වලදී ගත්ත උත්සාහය හරියටම කරලා තියෙනවා. ඒකට කෝචිං ස්ටාෆ් එකට ගෞරවය ලැබෙන්න ඕන”

“ඒ වගේම මහේල ජයවර්ධනගේ පැමිණීම කණ්ඩායමට ගොඩක් හොඳ වුණා. එයාගෙන් ලැබුණු අදහස් එක්ක කණ්ඩායම ගොඩක් නිදහස් වුණා. එ නිදහස හරහා තමන්ගේ සැලසුම් හරියටම ක්‍රියාත්මක කරගන්න ක්‍රීඩකයින්ට පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම කවුරුත් මේක කරන්න මේක කරන්න කියලා කාටවත් බල කරන්නේ නෑ. ඔවුන් පුහුණුවීම් වල කරන දේවල් තරගයේදී බය නැතුව කරනවා. ඒ විශ්වාසය දැන් හැම ක්‍රීඩකයෙක්ටම ඇවිල්ලා තියෙනවා. ඒක තමයි විය යුත්තේ. මම හිතනවා ඉදිරි තරගවලදී  ඔවුන්ගේ දක්ෂතා මැනවින් පෙන්වයි කියලා” යනුවෙන් කණ්ඩායමේ වර්ධනය පිළිබඳව දසුන් වැඩි දුරටත් අදහස් දක්වා සිටියේය.

කණස්සල්ලකට සියුම් කරුණක් පවතින්නේ නම් ඒ මුල් පෙළෙ පිතිකරුවන් එකවර ලකුණු අතරට පැමිණීමට අසමත්වීමය. කුසල් ජනිත් සහ පැතුම් නිස්සංක ලකුණු අතරට ඒමට සමත් වුවත්,  අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දෙන පිතිකරුවාගේ ගැටළුව තවමත් විසඳී නොමැත. මෙතෙක් දිනත් ඒ ස්ථානයේ ස්ථාවර වීමට චන්දිමාල්ට ලබා දුන් අවස්ථාවෙන් ඔහු ප්‍රයෝජනයක් ලබා ගැනීමට අපොහොසත් විය. එබැවින් ඒ ස්ථානය චරිත් අසලංකට භාර කෙරිණ. නමුත් ඔහුද එම ස්ථානයේ ස්ථාවරත්වයක් පෙන්නුම් කිරීමට අසමත්වූයේ ලකුණු 06 කට දැවී යෑම් සමඟය.

එහෙත් ඒ පිළිබඳව නායකයාගේ ඕනෑවට වඩා සිතීමට අකමැතිය. දසුන්ගේ අදහස වන්නේ සෙසු පිතිකරුවන් ලකුණු අතර සිටිනා බවයි. “ඔව්. අපිට ඒ ස්ථානය ගැන පොඩි ගැටලුවක් තියෙනවා තමයි. ඒත් ඒකෙන් අදහස් වන්නේ නෑ එය තරගයේ අපිට තරගයක් ජයග්‍රහණය කිරීමට බැරි තරම් කරුණක් කියලා. මොකද අපිට තරගයක් දිනවිය හැකි පිතිකරුවන් ඉන්න නිසා” යනුවෙනි.

සුදුසුකම් ලැබීමේ තරග වටය පෙර ශ්‍රී ලංකාව තරග වැදි පෙර පුහුණු තරගවලදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය මුණ ගැසිනි. එම අවස්ථාවේදී බංග්ලාදේශය පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත්විය. “බංග්ලාදේශයට එරෙහි පුහුණු තරගය විතරක් නොවෙයි පසුගිය තරග ඔක්කොම හොඳට කලා. කණ්ඩායමක් විදියට නොකරපු ගොඩක් දේවල් කරලා තියෙනවා. සුපර්12 තරග වටයේදී  කණ්ඩායමක් විදියට හොඳටම කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි බංග්ලාදේශයට එරෙහි ජයග්‍රහණය කණ්ඩායමේ මානසික ඒකාග්‍රතාවය වැඩි වන්නට හේතුවක් වන්නේ දැයි අසන ලද පැනයට දසුන් පිළිතුරු ලෙස ලබා දුන්නේය.

ශ්‍රී ලංකා පිල – දසුන් ශානක (නායක), කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තික්ෂණ, දිනේෂ් චන්දිමාල්.

බංග්ලාදේශ පිල – මහමුදුල්ලා රියාද් (නායක), මොහොමඩ් නයීම්, ලිටන් දාස්, ශකීබ් අල් හසන්, මුෂ්ෆිකර් රහීම්, අෆීෆ් හොසේන්, නුරුල් හසන්, මොහොමඩ් ශයිෆුඩීන්, මෙහෙදි හසන්, ටස්කින් අහමඩ්, මුස්තෆිසුර් රෙහ්මාන්, ෂොරිෆුල් ඉස්ලාම්, ශමීම් හොසේන්, නසුම් අහමඩ්, සෞම්‍ය සර්කාර්.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest