slc
logo
Home   |    News
නොවැම්බර් 19, 2021
කොදෙව් පිලට එරෙහි සටනට එන ශ්‍රී ලංකාවට නවක මුහුණු 4 ක්

sinhala editor

By Chamila Karawita

ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට නවක මුහුණු 4 ක් ද සමඟ ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුතු සංචිතයක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුව විසින් නම් කරන ලද මෙම සංචිතය සඳහා මෙරට ප්‍රධානතම පිතිකරුවන් 10 දෙනෙකු, වේග පන්දු යවන්නන් හත් දෙනෙකු සහ දඟ පන්දු යවන්නන් 5 දෙනෙකු ඇතුළත් කර තිබේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තරග අංශයේ ප්‍රවීනයින් ලෙස සැලකෙන ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් සහ රොෂේන් සිල්වා ඇතුළත්ව සිටිති.

ඒ අතර ඉකුත්දා නිමාවට පත් වුණු පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණු චරිත් අසලංකද ටෙස්ට් සංචිතයට එක්ව සිටින නවකයින් සිවුදෙනාගේ ප්‍රධානියා වෙයි. නිත්‍ය ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න නම් කරන ලද සංචිතයට ඇතුළත් වී නොමැති බැවින් පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පසුගියදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ නිමාවට පත් වුණු සිව් දින තරග 2 දී ඉනිම 2 කදී ලකුණු 98 බැගින් රැස් කිරීමට සමත් ආරම්භක පිතිකරු කමිල් මිශාරද ඇතුළත්වීම කැපී පෙනෙයි. ඔහුට අමතරව 21 හැවිරිදි වේග පන්දු යවන චාමික ගුණසේකරටද ජාතික සංචිතයට පැමිණීමට අවස්ථාව උදාවී තිබේ. චාමික පාකිස්තාන ‘ඒ’ පිලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 83 කට කඩුලු 6 ක් දවා ගැනීමට සමත්විය.

සෙසු නවක මුහුණ වන්නේ පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සුමින්ද ලක්ෂාන්ය. පළමු පෙළ තරග 29 කට ක්‍රීඩා කර ඇති සුමින්ද කඩුලු 56 ක් දවා ගෙන සිටින්නේ පන්දුවට පහර දීමේදී ද්විත්ව ශතකයකටද හිමිකම් කියමිනි. පිතිකරුවකු ලෙස කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් සුමින්ද මෙතෙක් තරග වලදී ශතක 4 ක් සහ අර්ධ ශතක 5 ක් සමඟින් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 33.81 ක් රඳවා තබා ගැනීමට සමත්ව සිටියි.

මීට අමතරව එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ආබාධයකට ලක්ව ජාත්‍යන්තර තරග පිටියෙන් ඉවත්ව සිටි ලසිත් ඇඹුල්දෙණියවද නැවතත් කැඳවා තිබේ. ඒ අනුව සංචිතයට ඇතුළත්ව සිටින ප්‍රධාන දඟ පන්දු යවන්නන්ගේ සංඛ්‍යාව 5 ක් බවට පත්ව සිටිති. ඒ අතර පන්දුවට පහර දීමට හැකියාව ඇති රමේෂ් මෙන්ඩිස්ද පසුවීම සංයුතිය සකස් කිරීමේදී පහසුවක් වනු ඇත. ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂාන් සඳකැන් සහ සුමින්ද ලක්ෂාන් සංචිතයේ සිටින සෙසු දඟ පන්දු යවන්නෝ වෙති.  

 ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම – 1. දිමුත් කරුණාරත්න (නායක), 2. ඇන්ජලෝ මැතිව්ස්, 3. ඕෂද ප්‍රනාන්දු, 4. දිනේෂ් චන්දිමාල්, 5. ධනංජය ද සිල්වා, 6. පැතුම් නිස්සංක, 7. චරිත් අසලංක, 8. මිනෝද් භානුක, 9. කමිල් මිශාර, 10. රොෂේන් සිල්වා, 11. රමේෂ් මෙන්ඩිස්, 12. චාමික කරුණාරත්න, 13. ප්‍රවීන් ජයවික්‍රම, 14. ලසිත් ඇඹුල්දෙණිය, 15. ලක්ෂාන් සඳකැන්, 16. සුමින්ද ලක්ෂාන්, 17. සුරංග ලක්මාල්, 18. විශ්ව ප්‍රනාන්දු, 19. දුෂ්මන්ත චමීර, 20. ළහිරු කුමාර, 21. අසිත ප්‍රනාන්දු, 22. චාමික ගුණසේකර.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee