slc
logo
Home   |    News
නොවැම්බර් 20, 2021
‘රතු පන්දු’ සටනේදී ශ්‍රී ලංකාව දඟපන්දුව ගැන විශ්වාසය තබයි

sinhala editor

By Chamila Karawita reporting form Galle

මාස 7 ක නිහැඬියාවකින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ‘රතු’ පන්දුවෙන් කෙරෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සූදානම් වී සිටියි. ඒ 2023 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ පළමු කඩඉමටය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමුවැන්නට සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායම අවධානය යොමු කර සිටින ප්‍රධානම කරුණ බවට පත්ව සිටින්නේ දීර්ඝ කාලයක් තිස්සේ සුදු පන්දුවට ක්‍රීඩා කිරීමෙන් පසු නැවතත් ටෙස්ට් ක්‍රීඩාවේදී භාවිතා වන රතු පන්දුවට හුරුවීම පිළිබඳවයි.

මේ සඳහා ක්‍රීඩකයින් 22 ගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවද පළමු ටෙස්ට් තරගය ඉලක්ක කොට ගෙන ක්‍රීඩකයින් 16 දෙනෙකු පමණක් තරග පෙරාතුවට පෙර අද (20 වැනිදා) උදෑසන පැවැති අවසන් පුහුණුවීම් වල නිරත වූහ. ඒ මූලික සංචිතයට ඇතුළත් වුණු අසිත ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, කමිල් මිශාර, සුමින්ද ලක්ෂාන්, චාමික ගුණසේකර සහ විශ්ව ප්‍රනාන්දු රහිතවය.

“අවසන් මාස කීපයේදී මමත් ඇතුළු අපි කවුරුත් රතු බෝලෙන් ක්‍රීඩා කරලා නෑ එකම තරගයක් වත්.  ඒකයි ගොඩක්ම තියෙන අභියෝගය. ගොඩක් කාලෙකට පස්සේ හැමෝම ටෙස්ට් තරගයකට සෙල්ලම් කරන්නේ. ඒ වගේම අපි කවුරුත් දවස් තුනේ තරගයක්වත් ක්‍රීඩා කරලා නෑ. පළමු ටෙස්ට් තරගය නිසා හැමෝටම තිගැස්සීම් තියෙනවා අපිට මේක හොඳට කරගන්න පුලුවන් වෙයිද කියලා” යැයි ‘රතු’ පන්දුවේ සහ ‘දින පහේ’ අභියෝගය පිළිබඳව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සඳහන් කර සිටියේය.

සෑම අංශයක්ම නියෝජනය වන පරිදි වූ සංචිතයක් ප්‍රකාශයට පත්කොට තරගාවලිය සඳහා වන ජෛව බුබුලට ඇතුළත් කිරීම නිසා කොදෙව් පිලට එරෙහිව වන පළමු සටනට ඕනෑම ආකාරයේ සංයුතියක් සකසා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට උදාවී තිබේ. මෙහිදී තීරණාත්මක සාධකය බවට පත් වන්නේ ප්‍රතිවාදීන් හමුවේ අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම සඳහා වන ‘රතු’ පන්දුවට හොඳින් පන්දුවට පහර දිය හැකි ශක්තිමත් පිතිකරුවන් පෙළගැස්වීමයි.

ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකා කඳවුරෙන් වාර්තාවන සතුටුදායකම කරුණ වන්නේ අවසන් මාස කීපයේදීම සුදු පන්දුවට ක්‍රීඩා නොකළ එහෙත් ටෙස්ට් තරග සඳහා වන විශේෂඥ පිතිකරුවන් කීප දෙනෙකුම කණ්ඩායම තුළ වීමයි. නායක දිමුත් කරුණාරත්න එහි පෙරමුණයා වන අතර ඇන්ජලෝ මැතිව්ස් සහ ඕෂද ප්‍රනාන්දු අනෙක් පිතිකරුවන් වේ. උප නායක ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිස්සංක හෙට ක්‍රීඩා කිරීමට නියමිත අවසන් 11 දෙනා අතර පසුවන ප්‍රධාන පිතිකරුවෝ වෙති. මේ අතරින් දිනේෂ් චන්දිමාල් කඩුලු රකින්නා ලෙස කටයුතු කරමින් අංක 6 පිතිකරණයෙන් පන්දුවට පහර දීමට පැමිණෙද්දී අවසන් වරට ශ්‍රී ලංකාව සහභාගි වුණු බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගයේ අංක 6 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි පැතුම් නිස්සංක හෙට දිනයේදී නායකයා සමග ඉනිම ආරම්භ කරනු ඇත.  

කණ්ඩායම නම් කිරීමේදී පසුගිය මාස කීපය මුලුල්ලේම එක්දින සහ විස්සයි-20 ලකුණු අතර සිටි චරිත් අසලංකට ස්ථානයක් යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරිණ. එහෙත් ඒ පිළිබඳව අද පැවැති මාධ්‍ය හමුවේදී නායක දිමුත් කරුණාරත්නගෙන් කරන ලද විමසීමේදී, අවසන් එකළොස් දෙනා අතරට පැමිණීමේ අවස්ථාවක් අසලංකට නොවන බව සඳහන් කර සිටියේය.

මෙම තරගයට ශ්‍රී ලංකාව පිවිසෙන්නේ ප්‍රධාන පිතිකරුවන් 6 දෙනෙකු සහ ප්‍රධාන පන්දු යවන්නන් පස් දෙනෙකු සමඟින් බවට අවසන් තීරණය එළැඹ සිටීම නිසා අසලංකට අවස්ථාව අහිමිව තිබේ. දඟ පන්දු යවන්නන්ට සුපුරුදු ලෙසින් දායකත්වය ලබා දෙන ගාල්ල තණතීරුවේදී ප්‍රධාන දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සහ ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනකු සමඟින් අවතීර්ණ වීම සිය සැලසුම් වල අවසන් නිඟමනය වී තිබෙන බව ශ්‍රී ලංකා නායකයා මාධ්‍ය හමුවේදී නොපැකිළිවම පවසා සිටියේය.

“හෙට තරගයේදී විශේෂඥ පන්දු යවන්න් තුන්දෙනාම ක්‍රීඩා කරනවා” යැයි දිමුත් පවසා සිටි දිමුත්, “මොකද ඔවුන් හෙට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් එකලොස් දෙනා අතර  වමත් පිතිකරුවන් ඉන්නේ දෙන්නෙක් විතර නිසා. ඒ හින්දා අපිට වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනා ක්‍රීඩා කරවන්න ඕන වුණා. ඒ වගේම ඔවුන් දෙදෙනා පසුගිය තරග වලදී ඉතාම හොඳට ඔවුන්ගේ කාර්යය කරපු ක්‍රීඩකයින්” යනුවෙන් සිය තීරණය වඩාත් සාධාරණීයකරණ කළේය.

“ඇත්තටම අපේ පිතිකරුවන් 6 දෙනෙක් ක්‍රීඩා කරන නිසා පිතිකරණයේ පොඩි අඩුවක් තියෙනවා. නමුත් නායකයෙක් විදියට මමත් මගේ අනෙක් පිතිකරුවනුත් ඒක විශාල වගකීමක් විදියට අරගෙන හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපිට හොඳ ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවට රඳවා ගන්න හැකි වුණොත් මම හිතනවා දඟ පන්දු යවන්නන් තුන්දෙනාට මේ තරගාවලියේදී ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා” යැයි දිමුත් පවසයි.

නායක දිමුත් කරුණාරත්න, පුහුණුකරු මිකී ආතර් මෙන්ම කණ්ඩායම සමඟ රැඳී සිටින තේරීම් කමිටු සාමාජික රොමේෂ් කළුවිතාරන යන තුන් කට්ටුව පුරා හෝරා දෙදකට ආසන්න කාලයක් පිටිය මැද සිට සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුව අවසානයට ක්‍රීඩා කිරීමට නියමිත අවසන් ක්‍රීඩකයින් 11 දෙනා පිළිබඳව අවසන් තීරණය ගනු ලැබීය.

එම තීරණය ගැනීම වඩා තර්කානුකූල එකක් බව හැඟී යන්නේ දඟ පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට එකතුව සිටින රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණියට පිතිකරුවන් ලෙසද දස්කම් දැක්වීමට ඇති හැකියාව හේතුවෙනි. රමේෂ් මෙන්ඩිස් යනු මෙරට පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී ලකුණු 300 ක් ලබා ගැනීමට තරම් සමත් දක්ෂ පිතිකරුවෙකි.

එක්දින සහ විස්සයි-20 තරග අංශයට නොසලකා හැරියද සුරංග ලක්මාල් තවමත් ටෙස්ට් අංශයේ ශ්‍රී ලංකා පිල සතු වඩාත් විශ්වාසනීයම පන්දු යවන්නා වේ. ඒ අනුව කණ්ඩායමට ඇතුළත් වේග පන්දු යවන්නන් දෙදෙනා අතර අංක 1 ලක්මාල්ට හිමිවද්දී ඔහුගේ සහායක වේග පන්දු යවන්නා ලෙස දුෂ්මන්ත චමීර එක්ව සිටියි. ලක්මාල්ට පසු වේග පන්දු යවන්නන් අතර පළමු තේරීම දුෂ්මන්ත චමීර වුවද අවසන් මාස කීපයේදීම දිගින් දිගටම ජාතික කණ්ඩායම, අයි.පී.එල්. සහ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීම නිසා ඔහු දැඩි වෙහෙසට පත්ව සිටීම නොරහසකි. එබැවින් නායකයා අද දිනයේදී දුෂ්මන්තට ස්ථානයක් වෙන්කොට අදහස් දක්වා සිටියද, හෙට දිනයේදී ඒ සඳහා ළහිරු කුමාර ආදේශ වුවහොත් පුදුමයක් නොවනු ඇත.

ශ්‍රී ලංකාව එසේ තරගාවලියට අවතීර්ණ වද්දී බටහිර ඉන්දීය කොදෙව්වන් ශ්‍රී ලංකාවේදී පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය අපේක්ෂාවෙන් සිටියි. 80 දශකයේ ලෝක ක්‍රිකට් පිටියේ වඩාත්ම භයානක කණ්ඩායමක් ලෙසින් හඳුන්වනු ලැබූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගයකට සහභාගිවන්නේ ටෙස්ට් වරම් දිනා වසර 12 කට ආසන්න කාලයක් ගතවීමෙන් හෙවත් 1993/94 වසරේදීය. එතැන් පටන් බටහිර ඉන්දීය කොදෙව් පිල ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග 11 කට සහභාගිවී ඇතත් ඉන් එකම අවස්ථාවකදීවත් තරගයක් ජය ගැනීමට අපොහොසත්ව සිටියි.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගවන පළමු තරගාවලිය මෙය වුවත් කොදෙව් කණ්ඩායමේ දෙවැනි තරගාවලිය වේ. ඔවුන් මීට පළමුව පාකිස්තානයට එරෙහිව තරග 2 කට සහභාගිවූ අතර ඉන් තරගයක් ජය ගනිමින් තරගාවලිය 1-1 ක් ලෙස සමකරගෙන සිටියි.

ශ්‍රී ලංකා පිල – 1. දිමුත් කරුණාරත්න (නායක), 2. පැතුම් නිස්සංක, 3. ඕෂද ප්‍රනාන්දු, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. ධනංජය ද සිල්වා, 6. දිනේෂ් චන්දිමාල්, 7. රමේෂ් මෙන්ඩිස්, 8. ලසිත් ඇඹුල්දෙණිය, 9. සුරංග ලක්මාල්, 10. දුෂ්මන්ත චමීර/ළහිරු කුමාර, 11. ප්‍රවීන් ජයවික්‍රම.

බටහිර ඉන්දීය කොදෙව් පිල – 1. ක්‍රෙග් බ්‍රැත්වයිට් (නායක), 2. ජෙරම් සොලසානෝ, 3. කෘමා බොනර්, 4. රොස්ටන් චේස්, 5. ජෙරමයින් බ්ලැක්වුඩ්, 6. කයිල් මේයර්ස්, 7. රකීම් කෝන්වෝල්, 8, ජේසන් හෝල්ඩර්, 9. ජොෂුආ ඩ සිල්වා, 10. කෙමාර් රෝච්, 11. ජේඩ්න් සීල්ස්.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee