slc
logo
Home   |    News
නොවැම්බර් 24, 2021
රමේෂ් සහ ලසිත් කොදෙව් ඉනිම කරකවා අත හරිති   

sinhala editor

Chamila Karawita reporting from Galle

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිව්වැනි දිනටත් පැවැති ටෙස්ට් තරගයේ ලකුණු 348 ක ඉලක්කයක් හඹා යමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලේ පළමු කඩුලු 6 ලකුණු 18 ක් තුළදී දවා ගනිමින් තරගයේ සමස්ථ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම අත්පත් කරගෙන සිටියි. තරගයේ පස්වැනි දිනය වන හෙට දිනයේදී සංචාරකයින්ගේ කඩුලු 4 ක් පමණක් ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රමාණවත් වද්දී ඊට බාධාවකට ඇති ඉඩ කඩක් වෙතොත් ඒ කාලගුණයේ අකාරුණිකවීම පමණි.

සිව්වැනි ඉනිමේ හඹා යෑම අතිශය අසීරු ගාල්ල තණතීරුවේදී තේ පානයට මිනිත්තු 25 ක් තිබියදී ලකුණු 348 ක ඉලක්කයක් තැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 12 වැනි පන්දුවාරය අවසන් වීමට මත්තෙන් ඉදිරි පෙළ පිතිකරුවන් හය දෙනෙකුම දවා ගත්හ. ඒ වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ දඟ පන්දු යවන්නන් දෙදෙනා වන රමේෂ් මෙන්ඩිස් කඩුලු 4 ක් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඉපිලීම, ඊට නොදෙවැනි දඟ කැවීම හමුවේ කිසිවක් කර කියාගත නොහැකි වූ කොදෙව් ඉනිමට යන්තමින් හෝ අස්වැසිල්ලක් ගෙන දුන්නේ ජොෂුවා දා සිල්වා සහ කෘමා බෝනර් එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 34 ක නොබිඳුණු සම්බන්ධතාව පමණි. අයහපත් කාලගුණය සිව්වැනි දිනයේ අවසානයටද බලපෑම් එල්ල කළ හෙයින් තරගය ප.ව. 4.50 වන විට නතර කර දැමීමට විනිසුරුවෝ කටයුතු කළහ.

බෝනර්ගේ නම ඉදිරියෙන් ලකුණු 18 ක් සහ දා සිල්වාගේ නම ඉදිරියෙන් ලකුණු 15 ක් ලෙසින් සටහන්ව තිබියදී අයහපත් ආලෝකය මත තරගය නිමා කරන විට කොදෙව් ලකුණු පුවරුව කඩුලු 6 කට ලකුණු 52 ක් ලෙසින් සටහන්ව තිබිණ. ඒ අනුව ඔවුන්ට පස්වැනි දින තුළදී තවත් ලකුණු 296 ක් ලබා ගත යුතුව තිබේ. පන්දුවාර 23 ක් අහිමිව නිමාවට පත් වුණු සිව්වැනි දිනයේ දෙපිළේම කඩුලු 11 ක් බිඳ වැටිණ.  

ඉනිම ආරම්භයේදී කිසිසේත් බලාපොරොත්තු නොවූ අභියෝගයක් එල්ල කළ රමේෂ් මෙන්ඩිස්, පළමුව ඔවුන්ගේ වටිනාම පිතිකරුවා වන නායක ක්‍රෙග් බ්‍රැත්වයිට්ගේ කඩුල්ල ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගත්තේය. එතැන් පටන් පිතිකරුවන් පිටුපස එකා එකා දැවී යෑම ඇරැඹිණ. අනතුරුව ෂායි හෝප්, කයිල් මේයර්ස් සහ ජේසන් හෝල්ඩර්ගේ කඩුලු රමේෂ් විසින්ද, ජෙරමයින් බ්ලැක්වුඩ් සහ රොස්ටන් චේස්ගේ කඩුලු ඇඹුල්දෙණිය ද දවා ගත්හ. එම දක්ෂතාවත් සමඟ මෙතෙක් තරගයේ කොදෙව්ඉනිමේ දැවී ගිය කඩුලු 16 න් 15 ක්ම දඟ පන්දු යවන්නන් විසින් දවා ගැනීම කැපී පෙනෙයි.

මැද පෙළ නැංගුරම ලෙසින් නම් දරා සිටින හිටපු නායක ජේසන් හෝල්ඩර් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී යෑම නිසා දෙවැනි වතාවටත් රමේෂ් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ අභිමුවට පැමිණියේය. කඩුලු ත්‍රිත්වය ලබා ගැනීම සඳහා පිතිකරුවා අසළින්ම පන්දු රකින්නන් යොදවා උපක්‍රමයක් යෙදීමට ශ්‍රී ලංකා නායකයා උත්සුක වුවද එම පන්දුවට මුහුණ දුන් ජොෂුවා දා සිල්වා ඒ අභියෝගයෙන් ජය ගත්තේය. නිසි එල්ලයක් එම පන්දුවට මුසු නොකිරීමද රමේෂ් කළ අතපසුවීමකි. කෙසේ වෙතත් ටෙස්ට් තරග වල ඉනිමක හොඳම පන්දු යැවීම සටහන් කර ගැනීමට රමේෂ් සමත්ව සිටියි. මීට පෙර ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වූයේ බංග්ලාදේශ පිලට එරෙහිව 2021 වසරේදී ලකුණු 103 කදී දවා ගන්නා ලද කඩුලු 4 වුවත් ඔහු අද දිනයේ කඩුලු 4 දවා ගෙන සිටින්නේ ලකුණු 17 ක් පමණක් ලබා දෙමිනි.   

කඩුල්ලේ රැඳී සිටින පිතිකරුවන් යුගලය ලකුණු 10 ඉක්මවා රැස් කිරීමට සමත් නොවන්නට කොදෙව්  ලකුණු පුවරුව දුරකථන අංක වලින් පමණක් සමන්විත වනු ඇත.

අයහපත් කාලගුණය කොයි මොහොතක හෝ තරගයට බාධා සිදුකරනු ඇතැයි අපේක්ෂාවෙන් තේ පානයට මිනිත්තු 25 ක් පමණ ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව ඉනිම හමාර කරන විට කඩුලු කඩුලු 4 කට ලකුණු 191 ක් ලබා සිටියේය. මෙම ලකුණු සංඛ්‍යාවට පළමු ඉනිමේ අත්කරගත් ලකුණු 156 ක වාසියත් එක් කළ විට කොදෙව් පිලේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 348 ක් වේ. කෙසේ වෙතත් ගාලු පිටියේ හඹා යමින් ජයග්‍රහණයක් අත්කරගෙන තිබෙන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ 268 වේ. ඒ 2019 වසරේ නවසීලන්ත පිලට එරෙහිව ශ්‍රී ලංකාව හඹා ගොස් ජයගත් තරගය වේ.

රකීම් කෝන්වෝල්ට එරෙහිව ස්ලොග් ස්වීප් පහරකින් ලකුණු 6 ක් ලබා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්වීමත් සමඟ ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළේය. සිය ටීෂර්ටයේ පැළඳ සිටින අංක 69 න් සිය ඉනිම නොබිඳිව තබා ගත් හිටපු ටෙස්ට් නායකයා පිටියෙන් පිටතට පැමිණෙන විට ඉනිම 6 කට පසු අර්ධ ශතකයක් වාර්තා කරගෙන සිටියේය. පන්දු 84 ක් වැය වුණු මැතිව්ස්ගේ ලකුණු 69 ක ඉනිමට හේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් කර ගත්තේය.

වෙනදාට වඩා වේගයෙන් ලකුණු රැස් කළ නායක දිමුත් පන්දු 104 කදී ලකුණු 83 ක් රැස් කරගත්තේය. ශතකයට ලකුණු 17 ක් තිබියදී තම ඉනිම හමාර කරගත් වමත් පිතිකරුවා පිට පිටම හය වැනි වතාවටත් ලකුණු 50 ට වඩා ලකුණු රැස් කර ගැනීමට සමත්වූවේය. අද දිනයේදී වාර්තා කරගන්නා ලද අර්ධ ශතකයත් සමඟ මෙම වසරේ සහභාගිවූ ටෙස්ට් තරග 7 දී ලකුණු 50 සීමාව ඉක්මවා ගිය 7 වැනි වතාව ලෙසින් සනිටුහන් විය.

රකීම් කෝන්වෝල්ගේ පන්දුවකට කට් පහරක් එල්ල කිරීමට යෑමෙන් දැවී යෑම නිසා එකම තරගයක ඉනිම දෙකේදීම ශතක ලාභී ශ්‍රී ලංකා පිතිකරුවන් අල්ප දෙනා අතරට එක්වීමේ අවස්ථාව දිමුත්ට අහිමිවූයේය. දුලිප් මෙන්ඩිස් (1), අසංක ගුරුසිංහ (1), අරවින්ද ද සිල්වා (2), ටී,එම්. ඩිල්ෂාන් (1) සහ කුමාර් සංගක්කාර (2) ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම 2 දීම ශතක ලද පිතිකරුවෝ වෙති. හෙට (24 වැනිදා) තරගයේ පස්වැනි සහ අවසන් දිනයයි.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee