slc
Home   |    News
නොවැම්බර් 23, 2021
තෙවැනි දිනට පන්දුවාර 52 ක් අහිමි වෙයි

sinhala editor

Chamila Karawita reporting from Galle

අයහපත් කාලගුණය දිගින් දිගටම තරගයට සිදුකරන බලපෑම හේතුවෙන් තෙවැනි දිනට තරගය අතහැර දැමීමට තරග විනිසුරුවරයෝ කටයුතු කළහ. පස්වරු 1.03 ට ඇද හැළුණු වර්ෂාවත් සමඟ ඇතිවූ අයහපත් ආලෝක තත්ත්වය මත තරගය ආරම්භ කිරීමට නොහැකි වූ බැවින් ප.ව. 4.20 ට පමණ තෙවැනි දිනට තරගය අතහැර දැමීමට විනිසුරුවරයෝ තීරණහ කළහ. ඒ අනුව තෙවැනි දිනයේදී තරගයට අහිමිවූ පන්දුවාර සංඛ්‍යාව 52 කි.

අද දිනයේ අහිමිවූ පන්දුවාර සංඛ්‍යාව ඉදිරි දිනවලදී පියවා ගැනීමට නොහැකි නමුත්, ඉදිරි දින 2 තුළදී තරගය ඇරැඹීමට නියමිත සුපුරුදු වේලාව මිනිත්තු 15 කට පෙර හෙවත් පෙරවරු 9.45 ට තරගය ආරම්භ කරනු ඇත.

සමස්ථ දිනය පුරා යැවුණු පන්දුවාර 38 දී කොදෙව් පිතිකරුවෝ ලකුණු 111 ක් ලබා ගන්නා අතරතුරදී කොදෙව් කණ්ඩායමේ කඩුලු 3 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. දිනයේ දැවී ගිය කඩුලු 3, සුරංග ලක්මාල්, ප්‍රවීන් ජයවික්‍රම සහ ධනංජය ද සිල්වා අතර බෙදී ගියහ.

දිවා ආහාරයෙන් පසු යවන ලද පස්වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට රකීම් කෝන්වෝල්ගේ දැවී යෑමත් සමඟ තරගයට බාධා පැමිණියේය. එබැවින් වැසි ආවරණය වලින් තණතීරුව වසා දැමුවා පමණක් නොව ඊට මිනිත්තු කීපයක් ගත වද්දී මුළු ක්‍රීඩාංගණයම වසා දැමීමට ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලයට සිදුවිය.

දිගින් දිගටම තරගය ආරම්භයට බාධා පැමිණීම නිසා තේ පානයද වේලාසනින් හෙවත් ප.ව. 2.20 වන විටම ලබා ගැනීමට විනිසුරුවන් තීරණය කළහ. අවස්ථා කීපයකදී වර්ෂාව නැවතී ඇතත් තෙවැනි දිනට තරගය අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කරන විටත් ක්‍රීඩාංගණය අවට මන්දාරම් අහස් කුසකි. තරගය කොයි මොහොතේ ආරම්භ කෙරෙනු ඇත්දැයි දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ක්‍රීඩා ගාරයට වී අහස දෙස බලා සිටියද තරග ආරම්භයට කාලගුණය කාරුණික නොවිණ.

අවසන් කඩුලු 4 ඉක්මනින් දවා ගනිමින් පළමු ඉනිමේ වැඩි වාසියක් ලබා ගැනීමට සැලසුම් කර තිබුණද ඊට වඩා හොඳින් තරගයට අවතීර්ණ වූ සද්දන්ත සිරුරැත් රැකීම් කෝන්වෝල් ප්‍රමුඛ බටහිර ඉන්දීය කොදෙව් පසු පෙළ පිතිකරුවෝ සත්කාරකයින්ගේ බලාපොරොත්තු සුන් කළහ. කඩුලු රකින්නා වන ජොෂුවා දා සිල්වා සමඟ එක්වූ කෝන්වෝල් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් තබමින් මුලු ලකුණු සංඛ්‍යාව 200 ඔබ්බට රැගෙන ගියහ.

සුරංග ලක්මාල් යැවූ 80 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී කෝන් වෝල්ගේ ඉනිම ලකුණු 39 කදී හමාර වුවත් තරගයද නවතා දැමීමට සිදුවූයේ වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසාය. එම අවස්ථාවේ සංචාරකයින්ගේ ලකුණු පුවරුව කඩුලු 9 කට ලකුණු 224 ක් ලෙසින් සටහන්ව තිබුණත් සත්කාරකයෝ ලකුණු 162 පරතරයකින් පෙරමුණ ගෙන සිටිති. වර්ෂාව හේතුවෙන් තරගය අතර මඟ නවතා දමන විට තෙවැනි දිනට තවත් පන්දුවාර 52 ක් යවා අවසන් කළ යුතු වේ.

කෝන්වෝල් පිටියට පැමිණීමට පෙර හත්වැනි කඩුල්ලට එක් වූ ජේසන් හෝල්ඩර් සහ කයිල් මේයර්ස් ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩ නංවමින් පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහරදීමේ අවධානමෙන් සිය කණ්ඩායම මුදවා ගැනීමේ මූලික මෙහෙයුම සිදුකළහ.

දිමුත් කරුණාරත්නගේ විශිෂ්ඨ උඩ පන්දු රැකීම නිසා එම සම්බන්ධතාවය බිඳ වැටිණ. දිනයේ බිඳ වැටුණු පළමු කඩුල්ල වූයේ ලකුණු 45 ක් ලබා සිටි කයිල් මේයර්ය. එම කඩුල්ල කඩුල්ල දවා ගැනීම වෙනුවෙන් සිය නුහුරු අතට පනිමින් ශ්‍රී ලංකා නායකයා රැක ගත් උඩ පන්දුව අග්‍රගන්‍යයේ විය. දිනෙන් දින දියුණුවෙන් දියුණුව කරා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තුළ වූ උනන්දුව, ඒ හරහා ලබා සිටින වර්ධනය කෙතරම්ද යන්න එම උඩ පන්දු රැකීමෙන් මොනවට පිළිබිඹු විය.

තෙවැනි දිනයේදී ශ්‍රී ලංකා පිලෙන් කැපී පෙනුණු පළමුවැනි අවස්ථාව ලෙස එම උඩ පන්දු රැකීම සටහන්විය. ඊට පසු කැපී පෙනුණේ ජේසන් හෝල්ඩර් දවා ගැනීම වෙනුවෙන් දුෂ්මන්ත චමීර ගුවනට පැණ රැක ගත් උඩ පන්දුව විය. දඟ පන්දු යවන්නන්ගේ අමතර ඉපිලීමකින් යුතු පන්දු හමුවේ මෙම කඩුලු 2 දැවී යෑමද කැපී පෙනිණ.

දැවී ගිය කඩුලු 2 ම අනපේක්ෂිත ඉපිලීමකින් යුතු පන්දු හමුවේ දැවී ගියා විනා වැටී තිබුණු තැනින් නැගී සිටීම එකම අරමුණ බවට පත්වී තිබුණු කොදෙව් පසු පෙළ පිතිකරුවන් එකම දුර්වල පහරක් එල්ල නොකිරීමට වග බලා ගත්හ.

කඩුලු අතර දිව යෑමට මැළිතාවයක් දැක්වන කෝන්වෝල්ගේ ඉනිම ප්‍රහාරාත්මක එකකි. ලකුණු 39 සඳහා  පන්දු 58 ක් වැය කළ කෝන්වෝල් හතරේ පහර 5 ක් සහ හයේ පහරකින් සිය ඉනිම පුරවා ගත්තේය. දඟ පන්දු යවන්නන් හමුවේ ප්‍රහාරාත්මක පිතිහරඹයක් පවත්වාගෙන ඒම නිසා කෝන්වෝල්ව නවතා ලීම අරමුණු කොට පරණ පන්දුවෙන් පන්දු යැවීම සඳහා ශ්‍රී ලංකා නායකයා වේග පන්දු යවන්නන් කැඳෙව්වේය. එහිදී සාර්ථක වුණු සුරංග ලක්මාල් කෝන්වෝල් දවා ගත්තේය. 

දෙවැනි දිනට සාපේක්ෂව තරමක වේගයෙන් පන්දුවට පහර දුන් හෝල්ඩර් සහ මේයර්ස් දුර්වල පන්දු හමුවේ පහර එල්ල කිරීමට නොපැකිළිණ. තියුණු ලෙසින් දඟ කැවෙන තණතීරුවේදී වඩාත් උපායශීලී වූ ජේසන්-මේයර් යුගල පහර එල්ල කිරීමේදී දඟ කැවීමට පෙර හෝ පන්දුවේ දඟ කැවීම අවසන් අවස්ථාව වන තෙක් සිට පහර එල්ල කළහ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හිස රදයක් බවට පත්ව සිටින ජොෂුවා දා සිල්වා පන්දු 70 කට මුහුණ දෙමින් ලකුණු 11 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියි.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest