slc
Home   |    News
දෙසැම්බර් 3, 2021
ලකුණු 164 ක සුපිරි ජයත් සමඟ ‘සෝබර්ස්-තිසේරා’ කුසලාන ශ්‍රී ලංකාව රඳවා ගනියි

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිමේදී රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5 බැගින් දවා ගැනීමට සමත්වීම නිසා දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 164 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03 දා) සමත්විය. ඒ සමඟම 2-0 ක් ලෙස තරගාවලියද ජයගත් දිමුත් කරුණාරත්න ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සෝබර්ස් – තිසේරා කුසලානද ශ්‍රී ලංකාවේම රඳවා ගැනීමට සමත්වූහ.

2023 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුසන් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරග මාලාවේ ශ්‍රී ලංකාව සහභාගිවුණු පළමු තරගාවලිය බවට පත් වුණු මෙම තරගාවලියේ තරග 2 ම ජය ගැනීමට සමත්වීම නිසා ශ්‍රී ලංකා පිල මේ වන විට ප්‍රසාද ලකුණු 24 ක් ලබා ගෙන සිටියි.

ජය පැරදුමෙන් තොර තරගාවසානයක් බලාපොරොත්තුවෙන් කොදෙව් පිතිකරුවන් ක්‍රීඩා කළද දිවා ආහාරයෙන් පසු එකම පන්දුවාරයකදී කඩුලු 3 ක් දවා ගත් රමේෂ් මෙන්ඩිස් ඒ සියලු බලාපොරොත්තු සුළඟේ පා කර යැවීය. පළමුව ෂායි හෝප් සහ රොස්ටන් චේස් දවා ගත් රමේෂ්, මෙම ටෙස්ට් තරග මාලාවේ තෙවැනි වතාවටත් කඩුලු ත්‍රිත්වයක් අභිමුවට පැමිණියේය. එහෙත් අනතුරුව පිටියට පිවිසි කයිල් මේයර්ස් කඩුලු ත්‍රිත්වයෙන් බේරීමට සමත් වූ නමුත් ඔහුට පිටියේ රැඳී සිටීමට අවස්ථාව උදාවූයේ තවත් පන්දු 3 ක් පමණි.

එතැන් පටන් කඩා වැටීම පමණක් තිබු කොදෙව් ඉනිම තේ පානයට පෙර අවසන් කිරීමට රමේෂ් සහ ඇඹුල්දෙණිය දෙදෙනා සමත්වූහ. අවසන් කඩුලු 8 ලකුණු 40 කදී බිඳ දැමූ දඟ පන්දු යවන්නන් දෙදෙනා කොදෙව් දෙවැනි ඉනිම පන්දුවාර 56.1 කදී ලකුණු 132 කට සීමා කළහ.

සමස්ථ තරගයේදී ලකුණු 136 කට කඩුලු 11 ක් දවා ගත් රමේෂ් මෙන්ඩිස් තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගද්දී දෙවැනි ඉනිමේදී අගනා ශතකයක් වාර්තා කළ ධනංජය ද සිල්වා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම තරගයේ දවා ගන්නා ලද කඩුලු 11 ත් සමඟ මෙන්ඩිස් කොදෙව් පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරග දෙකේදී කඩුලු 18 ක් බිඳ හෙළීමට සමත්වූවේය. දිනය ආරම්භයේදී කොදෙව් පිලට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දෙනු ඇතැයි අපේක්ෂිත වුවත් නැවතත් සිය ඉනිම ඇරැඹි ශ්‍රී ලංකා පිල වෙනුවෙන් 9 වැනි කඩුල්ලට ලකුණු 124 ක වාර්තා ගත සම්බන්ධතාවක් එක් කිරීමට ධනංජය ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය සමත්වූහ. ඔවුන් විසින් අද බිඳ හෙළන ලද්දේ තිලාන් සමරවීර සහ අජන්ත මෙන්ඩිස් විසින් 2010 වසරේදී ඉන්දියාවට එරෙහිව සරා පිටියේ පැවැති තරගයේ ලබා ගන්නා ලද ලකුණු 118 ක සම්බන්ධතාව විය. ඇඹුල්දෙණියගේ දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකාව ඉනිම අත්හිටුවමින් කොදෙව් පිල හමුවේ ලකුණු 297 ක ඉලක්කයක් ලබා දුන්නේය. ඉනිම නතර කරන විටත් ධනජය ද සිල්වා නොදැවී ලකුණු 155 ක් ලබා සිටිද්දී ඇඹුල්දෙණිය ලකුණු 39 ක් ලබා සිටියේය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest