slc
logo
Home   |    News
අප්‍රේල් 7, 2022
කමිඳු මෙන්ඩිස් ලකුණු 800 සීමාව ඉක්මවයි

sinhala editor

Chamila Karawita reporting from Galle

ජැෆ්නා නායක ධනංජය ද සිල්වාගේ පන්දු හමුවේ කැන්ඩි ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී ගියද කණ්ඩායමේ බර කරට ගත් කැන්ඩි නායක කමිඳු මෙන්ඩිස් සහ ඕෂද ප්‍රනාන්දු තේ පානය වන විට කැන්ඩි ලකුණු පුවරුව ලකුණු 200 සීමාව ආසන්නයට රැගෙන ඒමට සමත් වූහ.  කඩුලු 2 කට ලකුණු 198 ක් ලෙස සටහන් වුණු කැන්ඩි ලකුණු පුවරුවේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 29 ක්ද ඕෂද ප්‍රනාන්දු ලකුණු 36 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටිති.

අද දිනයේ වූ සුවිශේෂීම සිදුවීම වනුයේ කැන්ඩි නායක කමිඳු මෙන්ඩිස් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ලකුණු 800 සීමාව පසු කිරීමට සමත්වීමයි. අවසන් මහ තරගයට පෙර ලකුණු 799 ක් ලබා සිටි කැන්ඩි නායකයා අද දිනයේදී එක් ලකුණක් ලබා ගැනීමත් සමඟ එම සීමාව ඉක්මවාලූවේය. මෙවර තරග වාරයේ 6 වැනි තරගයට ක්‍රීඩා කරන කමිඳු මේ වන විටත් රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 828 ක් වේ. මෙතෙක් තරගාවලියේ වැඩිම ශතක ලාභියා (04) බවට පත්ව සිටින කමිඳුගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 82.80 ක් ලෙස සටහන් වන අතර ප්‍රහාරාත්මක වේගය ටෙස්ට් තරගවලට වඩාත් උචිත වූ 58.10 ක අගයක් ගෙන තිබේ.  

දිනයේ දැවී ගිය පළමු කඩුල්ල වූයේ කමිල් මිශාර වන න අතර ඔහු කඩුලු රැකි නිශාන් මදුශ්ක හමුවේ උඩ පන්දුවක් දී දැවී ගියේය. දිවා විවේකයෙන් පසු මිශාරට රැස් කරගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. පන්දු 126 කට මුහුණ දුන් වමත් පිතිකරුවා පිටියෙන් ඉවත් වන විට මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 123 ක්ව පැවැතිණ.

උදෑසන වරුවේ පන්දු යවන්නන්ට එතරම් දායකත්වයක් ලබා නොදුන්නද දිවා භෝජනෙයන් පසු පන්දුවේ හැසිරීම දඟ පන්දු යවන්නන්ට වාසිදායක විය. එහිදී ප්‍රබල අභියෝගයක් ලබා දුන් නායක ධනංජය ද සිල්වා මෙතෙක් යවන ලද පන්දුවාර 61 න් 20 ක්ම ක්‍රියාත්මක කරන ලද්දේ තණතීරුවෙන් ලැබෙන දායකත්වය ප්‍රයෝජනයට ගනිමිනි.

බලාපොරොත්තු වූ පරිද්දෙන්ම කසුන් විදුරව දවා ගනු ලැබුවේ කඩුල්ල මුවා කිරීමේ වරදකට හසු කරමිනි. දිගින් දිගටම මැද ඉන්න ප්‍රදේශයට වැටී පිට ඉන්නෙන් ඉවතට දඟ කැවූ ධනංජය එකවරම කඩුල්ල තුළ වූ පන්දුවක් යොමු කරන ලද්දේ පිතිකරුවාට සිතා ගැනීමට අවස්ථාවක් නොතබමිනි. ලකුණු 71 කදී තම සුන් විදුර තම කඩුල්ල අහිමිකර ගන්නා විට පන්දු 124 කට මුහුණ දී තිබුණේය.

අනතුරුව ඉනිමේ වගකීම කරට ගත් කමිඳු මෙන්ඩිස් සහ ඕෂධ ප්‍රනාන්දු තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 64 ක සම්බන්ධතාවයක් ගොඩ නැංවූහ.

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී දිවා විවේකය තෙක් යවන ලද පන්දුවාර 34 ඇතුළත කඩුලු ආරක්ෂා කරගත් කමිල් මිශාර සහ කසුන් විදුර කැන්ඩි ලකුණු පුවරුව ලකුණු 113 ක් දක්වා ඉහළ නැංවූහ. දඟ පන්දු යවන්නන්ට පාරාදීසයක් බඳු ගාල්ල තරගයේ තීරණාත්මක සාධකය වන කාසියේ වාසිය දිනාගත් කැන්ඩි නායක කමිඳු මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ඉනිම ඇරැඹි ආරම්භක පිතිකරුවන් දෙදෙනා දවා ගැනීම වෙනුවෙන් හය වැනි පන්දුවාරයේ සිට දඟ පන්දු යවන්නන් යොදා ගැනුණත් සිය කඩුලු ආරක්ෂා කරගත් වමත් පිතිකරුවන් දෙදෙනාම දිවා විවේකය වන විට අර්ධ ශතක වාර්තා කර ගැනීමට සමත්වූහ.

නුවන් ප්‍රදීප් ආබාධයකට ගොදුරු වීම නිසා මෙම තරගයට නිපුන් මාලිංග සමඟින් අනෙක් වේග පන්දු යවන්නා ලෙස යොදා ගැනුනේ ජනිත් ලියනගේය. දඟ පන්දු යවන්නන්ට ලබා දෙන සහාය හේතුවෙන් කැන්ඩි පිල මෙම තරගයේදී දඟ පන්දු යවන්නන්ට මුල් තැන දෙමින් ප්‍රධාන දඟ පන්දු යවන්නන් තිදෙනකු සමඟින් අවතීර්ණ වූයේ නායක ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේටද දඟ පන්දු යවන්නන් ලෙස ප්‍රධාන භූමිකාවක් සිදුකිරීමට හැකි පසුබිමකදීය. එහිදී පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සිට අමතරව ගීත් කුමාර සහ සුධීර තිලකරත්නද දඟ පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට එක්ව සිටිති.

දඟ පන්දු යවන්නන් පස් දෙනෙකු සමඟින් අවතීර්ණ වුණු තරගයේදී අපහසුවකින් මනාසේ කල්පනාකාරීව පිත්ත හැසිරවූ කසුන් විදුරට මිශාරට පෙර අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය. නිපුන් මාලිංගට එරෙහිව පිට පිට හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ කසුන් විදුර මුහුණ දුන් 84 වැනි පන්දුවේදී අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය.

කැන්ඩි පළමු ඉනිම පන්දුවාර 61 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 198 යි – (කමිල් මිශාර 56, කසුන් විදුර 71, ඕෂද ප්‍රනාන්දු 36*, කමිඳු මෙන්ඩිස් 29*, ධනංජය ද සිල්වා 70/2)

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest