slc
logo
Home   |    News
ජූනි 8, 2022
කැන්ගරුවෝ විස්සයි-20 තරගාවලිය දිනති

sinhala editor

By Chamila Karawita

ප්‍රතිවාදී පිලේ කඩුලු 6 ක් ලකුණු 46 ක් ඇතුළත දවා ගැනීමට වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුවත් පිතිකරුවන්ගෙන් සිදුවූ මඳි පාඩුව හේතුවෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 3 ක පරාජයක් අත්විඳ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (08 දා) රාත්‍රියේදී සිදුවිිය.

ලකුණු 125 ක ඉලක්කයක් හඹා යෑමේදී පළමු කඩුලු 7 ම ලකුණු 99 කදී බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත් 8 වැනි කඩුල්ලට එක්වූ මැතිව් වේඩ් සහ ජායි රිචර්ඩ්සන් ලකුණු 27 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ඔස්ට්‍රේලියානු පිල ජයග්‍රහණය කරා කරැගෙන ගියහ. ඔස්ට්‍රේලියානු ජයග්‍රහණය සනිටුහන් වන විට ලකුණු පුවරුවේ තවත් පන්දු 13 ක් ඉතිරිව තිබිණ. ඒ සමඟම දෙරට අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක පිල සමත්වූවේය.

ඔස්ට්‍රේලියානු පිල ජයග්‍රහණය වෙත කැඳවාගෙන ගිය මැතිව් වේඩ් පන්දු 26 කදී ලකුණු 26 ක්ද ජායි රිචර්ඩ්ස් පන්දු 20 කදී ලකුණු 09 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

මෙම හඹා යෑමේදී පළමු පන්දු 28 ඇතුළත වේගවත් ලකුණු 53 ක් එක් කිරීමට ඔස්ට්‍රේලියානු ඉදිරි‌ පෙළ පිතිකරුවන් තිදෙනා සමත් වුවත්, නායක ෆින්ච් සහ මිචෙල් මාෂ්ගේ කඩුලු දවා ගත් වනිඳු හසරංග ඔස්ට්‍රේලියානුවන් පහසුවෙන් අපේක්ෂා කර තිබූ ජයග්‍රාහී බලාපොරොත්තු ශ්‍රී ලංකාව දෙසට ඈඳා දීමට සමත්වූවේය.  

පළමුව නායකයාව කඩුල්ල මුවා කිරී‌මේ වරදට හසුකර ගත් විස්සයි-20 තරග අංශයේ ලොව අංක 1 පන්දු යවන්නා පසුව මිචෙල් මාෂ්ව (11) දවා ගත්තේ පළමු තරගයේ පරිදිම ක්‍රීඩාංගණයේ අතුරු සිදුරු නැතිව තරගය නැරඹීමට පැමිණ සිටි ක්‍රීඩා ලෝලීන්ගේ මනදොල සනසාලූවේය. මාෂ්ගේ නික්ම යෑමෙන් ලකුණු 5 ක් ලකුණු පුවරුවට එක්කාසු වද්දී නුවන් තුෂාර විසින් ස්ටීවන් ස්මිත්ගේ කඩුල්ල දවා ගැනීමට සමත්වීමත් සමඟ ශ්‍රී ලංකා බලාපොරොත්තු තවත් ඉහළ ගියේය.

අවසන් තරග කීපයේදීම ශ්‍රී ලංකාවට මහත් හිසරදයක් ගෙන දුන් පිතිකරුවා බවට පත්වූ වෝනර්වද පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් එක්ව දුවද්දී දවා ගැනීමකට දවා ගන්නා විට ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 64 කට කඩුලු 4 ක් ලෙස සටහන් විය.

ඉතාම නිවැරදි ඉලක්කයකින් යුතුව පන්දු යැවූ වනිඳු හසරංගගේ අවසන් පන්දුවාරයේ පිට පිට පන්ද දෙකකදී ග්ලෙන් මැක්ස්වෙල් සහ ඇෂ්ටන් ඒගාර්ගේ කඩුලු දවා ගනිමින් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු යළි ඉහළ නැංවූවේය. එහෙත් අභියෝගාත්මක ඉලක්කයක් කරා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට නොහැකිවීම නිසා ලකුණු 33 කට කඩුලු 4 ක් වශයෙන් වනිඳු දක්වන ලද දක්ෂතාවය ‘ගඟට ඉනි කපන්නයක්’ වූවේය. මෙය වනිඳුගේ විස්සයි-20 තරග දිවියේ දෙවැනි හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වූවේය.

තෙවැනි කඩුල්ලට එක්වූ චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස්ගේ ලකුණු 66 ක සම්බන්ධතාව හැරුණු කොට එකම පිතිකරු යුගලයක් හෝ පිටියේ සාර්ථක වීමට සමත් නොවීය. ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංක වේලාසනින්ම දැවී ගියද ඉනිමේ වගකීම කරට ගත් අසලංක-මෙන්ඩිස් යුගල 12 වැනි පන්දුවාරය වන විට ලකුණු පුවරුව ලකුණු 73 ක් දක්වා ඉහළ දැමූහ.

පළමු තරගයේ පරිදිම ඉතා විශ්වාසවන්තව පිත්ත හැසිරවූ වමත් පිතිකරු අසලංක, ඔස්ට්‍රේලියානුවන්ට අභියෝගයක් ගෙන දෙමින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 33 කදී ලකුණු 39 ක්ද කුසල් මෙන්ඩිස් පන්දු 36 කදී ලකුණු 36 ක්ද රැස් කළහ. මෙම කඩුල්ලේ සම්බන්ධතාවයේදී හැරුණු කොට සෙසු පිතිකරුවන්ට බලාපොරොත්තු වූ පහර කරා යෑමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදීම නිසා වැඩි ආශ්වාදයක් ලබා ගැනීමේ අවස්ථාව ඔවුනට අහිමිවිය.

මිචෙල් ස්ටාර්ක් වෙනුවට කණ්ඩායමට පැමිණි ජායි රිචර්ඩ්සන්ගේ සහ ග්ලෙන් මැක්ස්වෙල්ගේ ගොදුරු බවට පත් වෙමින් මොවුන් දෙදෙනාම පිටියෙන් ඉවත්වීමත් සමඟ ශ්‍රී ලංකාවට අද දිනයේදීත් අපේක්ෂිත ඉලක්කය කරා යෑමට නොහැකි විය. අවසානයේ ශ්‍රී ලංකා ඉනිම නියමිත පන්දුවාරය 20 අවසනදී සටහන් වූයේ කඩුලු 9 කට ලකුණු 124 ක් ලෙසිනි. ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වද්දී ප්‍රතිවාදී පිලෙන් ඒකම හෝ අතිරේක ලකුණක් වාර්තා නොවීම කැපී පෙනුණු අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතින් අතිරේක ලකුණු 02 ක් ලබාදී .

පළමු තරගයේදී ජොෂ් හැස්ල්වුඩ් ශ්‍රී ලංකා ඉනිමේ විනාශකාරකයා බවට පත් වද්දී අද දිනයේදී කණ්ඩායමට පැමිණ සිටි රිචර්ඩ්සන්ලා දෙදෙනා වුණු ජායි සහ කේන්, අවසන් කඩුලු 8 න් 7 කටම හිමිකම් කීවේය. මෙහිදී මොවුන් දෙදෙනා විසින් පන්දු 5 ක් ඇතුළතදී කඩුලු 4 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව යළිත් අසීරුතාවයට ඇද දැමූහ. 20 වැනි පන්දුවාරය යැවූ කේන් කඩුලු 3 ක් දවා ගනිද්දී ඊට පෙර පන්දුවාරයේ අවසන් පන්දුවේදී ජායි විසින් වනිඳු හසරංගව දවා ගත්තේය.  ශ්‍රී ලංකා ඉනිම හමාර වන විට කේන් රිචර්ඩ්සන්ගේ නම ඉදිරියෙන් ලකුණු 30 කට කඩුලු 4 කුත් ජායිගේ නම ඉදිරියෙන් ලකුණු 26 කට කඩුලු 3 කුත් සටහන්ව තිබිණ. දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 තරගය ලබන 11 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප.ව. 7.00 ට ආරම්භ වනු ඇත.

Active filters

Recent Posts

  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]
  • දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු […]

Pin It on Pinterest

USD United States (US) dollar