slc
logo
Home   |    News
ජූනි 21, 2022
තිස්වසරකට පසු ශ්‍රී ලංකාව මව්බිමේදී ඔස්ට්‍රේලියාව පරදවති

sinhala editor

By Chamila Karawita

තුන් ඉරියව්වේම දක්ෂතාවයට අමතරව හරිම අවස්ථාවේදී නිවැරදි තීරණය ගැනීමට දසුන් ශානක ඇතුළු පිරිවර සමත්වීම නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (21 දා) පැවැති සිව්වැනි එක්දින තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. එක්දින ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ රැදී සිටින ඔස්ට්‍රේලියාවට එරෙහිව ලද  මෙම තරග යත් සමඟ තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම කැන්ගරුවන්ව 3-1 ක් ලෙස පරාජයට පත් කිරීමටද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ.

1992 වසරේදී අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ ඔස්ට්‍රේලියානුවන් පරාජය කිරීමෙන් පසු ගෙවී ගිය වසර 30 කට අධික කාලයේදී තම මව්බිමේදී ලද පළමු එක්දින තරගාවලි ජය වශයෙන් මෙම තරගාවලි ජයග්‍රහණය ඉතිහාස ගත විය. ඒ අතරතුර කාලයේදී ශ්‍රී ලංකාව 2011 වසරේදී ඔස්ට්‍රේලියාව පරාජය කිරීමට සමත්වූ නමුත් එම තරගාවලිය ශ්‍රී ලංකාවෙන් පිටත, ඔස්ට්‍රේලියාවේදී පැවැත්විණ.

ලකුණු 259 ක ඉලක්කයක් හඹා යෑමේදී ඩේවිඩ් වෝනර් ඇතුළු පිතිකරුවෝ අවශ්‍ය ලකුණු වේගය රඳවා ගනිමින් පන්දුවට පහර දීම නිසා තරගයේ පාලනය 36 වැනි පන්දුවාරය වන විටත් ඔස්ට්‍රේලියානුවන් සතු විය. එහෙත් ධනංජය ද සිල්වා විසින් ට්‍රෙවිස් හෙඩ්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ යළි තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 3 ක් ඇතුළත ග්ලෙන් මැක්ස්වෙල් සහ ඩේවිඩ් වෝනර් දවා ගනිමින් සියලු වාසි ශ්‍රී ලංකාවට හරවා ගත්හ.

මෙහිදී මැක්ස්වෙල් දවා ගැනීම වෙනුවෙන් තෙවැනි විනිසුරුගේ සේවය ලබා ගැනීමට තීරණය කිරීම තරගය සම්පූර්ණ කණපිට හැරීමට හේතුවිය. බැලූ බැල්මට එය පිට ඉන්නෙන් එපිට පතිත වූ පන්දුවක් සේ දිස් වූ බැවින් ප්‍රධාන විනිසුරු ලෙසින් කටයුතු කළ රුචිර පල්ලියගුරුගේ මහතා එය ප්‍රතික්ෂේප කර සිටියේය. එහෙත් මහීෂ් තීක්ෂණ විසින් සිදුකරන ලද ඉල්ලීම සලකා බැලූ ශ්‍රී ලංකා නායකයා එය තෙවැනි විනිසුරු වෙත යොමු කිරීමට ගත් තීරණය ශ්‍රී ලංකා වාසියට හිටියේය.

මේ සියල්ල සිදුවද්දී ලකුණු 189 කට කඩුලු 4 ක් ලෙසින් සටහන් වූ  ලකුණු පුවරුව පන්දු 8 කදී එකවරම ලකුණු 192 කට කඩුලු 7 ක් ලෙසින් සටහන් විය. නිරෝෂන් දික්වැල්ලගේ සුපිරි ස්ටම්ප් කිරීම හමුවේ පෙනි පෙනී තිබූ ශතකය වෝනර්ට අහිමිවූවේය. ඔස්ට්‍රේලියානු පිලේ එකම සවිය බවට පත් වුණු වෝනර් දැවී යන විට ලකුණු 99 ක් ලබා සිටියේය. වෝනර්ට පෙර ෆින්ච් ලකුණු නොලබා දැවී ගිය අතර මෙතෙක් එක්දින තරග ඉතිහාසයේ ආරම්භක පිතිකරුවන් යුගලයක් ලකුණු බිංදුවකටත් ලකුනු 99 කටත් දැවී ගිය පළමු අවස්ථාව වශයෙන් සටහන් විය.


මැතිව් කුනේමන් තරගය ජයග්‍රහණය සඳහා රැගෙන යෑමට දැඩි උත්සායක නිරත විය. දසුන් ශානක යැවූ අවසන් පන්දුවාරයේදී ලකුණු 19 ක අභියෝගයක් ඔස්ට්‍රේලියානුවන් හමුවේ පැවැති අතර එහිදී පළමු පන්දු 5 ට ලකුණු 14 ක් රැස් කිරිීමට කුනේමන් සමත්විය. අවසන් පන්දුවේ ඔස්ට්‍රේලියානු ජයග්‍රහණය සඳහා ලකුණු 5 ක් ලබා ගත යුතු වුවත් කුනේමන් එල්ල කරන ලද පහර එක්ස්ට්‍රා කවර්හි පන්දු රැකි චරිත් අසලංක රැක ගැනීම නිසා අවසන් පන්දුව දක්වා ජයග්‍රහණය දෙලිළටම අවිනිශ්චිතව තිබූ තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවිය.

මන්දගාමී තණතීරුවක වුවද ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් හොඳින් පන්දු යැවීමත් අනවශ්‍ය ලෙස කඩුලු අතර දිව යෑමේදී කඩුලු 3 ක් අහිමිවීමත් නිසා නියමිත පන්දුවාර 50 අවසන්වීමට පන්දු 6 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත්විය. ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් මහීෂ් තීක්ෂණ දුවද්දී දැවී යෑමකට හසුව ඉනිම හමාර වූ නමුත් ලකුණු 259 ක ඉලක්කයක් ඔස්ට්‍රේලියානුවන් වෙත ලබා දීමට ශ්‍රී ලංකාව සමත්විය.

වඩාත් මන්දගාමීව තිබෙන කොළඹ ආර්. ප්‍රේමදාස තණතීරුවේ දී පළමුව ලකුණු රැස් කිරීමේ කාර්යයේ නියැළුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 3ම ලකුණු 34 කදී බිඳ දැමීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ.

ගෙවී ගිව අවසන් වසර කීපයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථක භාවයට හේතුවූ කරුණක් වූයේ කඩා වැටීමකදී ශක්තීමත් කඩුලු අතර සම්බන්ධතා ගොඩ නැගීමට නොහැකිවීමය. එහෙත් එම ගැටලුවට කදිම විසඳුම් ලබා දුන් ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක සිව්වැනි කඩුල්ලට ලකුණු 101 ක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගත්හ. ඒ සදහා පන්දු 100 ක් වැය කළ දකුණත් සහ වමත් පිතිකරුවන් දෙදෙනාගෙන් ධනංජය ද සිල්වා ලකුණු 60 කදී ඉනිම නිමා කරගත්තත් සිය අන්තය ආරක්ෂා කරගත් චරිත් අසලංක මංගල එක්දින ශතකය කරා ඇදී ගියේය.

මුහුණ දුන් 99 වැනි පන්දුවේදී ශතකය සපුරාගත් අසලංක අංක 5 පිතිකරු ස්ථානයට වඩාත් සුදුස්සා තමන් බව යළි යළිත් ඔප්පු කිරීමට සමත්වූවේය. ග්ලෙන් මැක්ස්වෙල්ගේ සුපිරි උඩ පන්දු රැකීමත් සමඟ ධනංජයගේ ඉනිම ලකුණු 60 කදී නිමා වුවත් දුනිත් වෙල්ලාලගේ සමඟ එක්වූ අසලංක 6 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 57 ක් එක් කරමින් අවධානමෙන් මුදවා ගත්හ. අවසන් තරග 10 දීම අර්ධ ශතකයක් වාර්තා කර ගැනීමට අසමත්ව සිටි ධනංජය මුහුණ දුන් 52 වැනි පන්දුවේදී අර්ධ ශතකය ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා ඉනිමේ 48 වැනි පන්දුවාරය වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටි අසලංක ලොව අංක 1 ටෙස්ට්  පන්දු යවන්නා වන පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ දැවී යන විටත් ලකුණු 110 ක් රැස් කරගෙන සිටියේය.  පන්දු 106 කින් සමන්විත වූ අසලංකගේ ඉනිම හයේ පහරකින් සහ තවත් හතරේ පහර 10 කින් වර්ණවත් කරගත්තේය.

පෙර තරගයට ක්‍රීඩා නොකළ පැට් කමින්ස් සහ මිචෙල් මාෂ් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 2 බැගින් දවා ගත්තේ පන්දුවාරයකට ලකුණු 4.2 කට වඩා අඩුවෙන් තබා ගිනිමිනි. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් කඩුලු 2 ක් දවා ගත් අනෙක් පන්දු යවන්නා වූයේ මැතිව් කුනේමන් වූ නමුත් ඔහුගේ පන්දුවාරයකට ලකුණු 7 ක වේගයක් රඳවා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත්විය.

දසුන් ශානක ඉක්මනින් දැවී යෑමෙන් පසු පිටියට පිවිසි 19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ පරිණත පිතිකරුවකුගේ ලක්ෂණ විදහා පාමින් පන්දුවට පහර දීම තරගය නැරඹී දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණයට හේතුවිය.  සිය තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගිව සිටින වමත් යෞවනයා ලකුණු 21 කින් ශ්‍රී ලංකා ඉනිම පෝෂණය නොකරන්නට අසලංකට මීට වඩා අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදුවනවා නොඅනුමානය. 8 වැනි පිතිකරුවා ලෙසින් අසලංකගේ දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 256 ක් ලෙසින් සටහන් විය. ඒ වන විටත් වගකීමක් ගෙන පන්දුවට පහරදිය හැකි පිතිකරුවකු ලෙසින් නම් දරා සිටි වනිඳු හසරංග අනෙක් කඩුල්ලේ රැඳී සිටියත් ශ්‍රී ලංකාවට රැස් කරගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි. කඩුලු අතර දිව යෑමේදී සිදුවූ අනවබෝධය නිසා ජෙෆ්රි වැන්ඩර්සි සහ මහීෂ් තීක්ෂණ දෙදෙනාම දුවද්දී දැවී යෑම් වලට හසුවීම නිසා වනිඳුට තනිවම කිසිවක් කළ නොහැකි විය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest