slc
Home   |    News
ජූනි 12, 2022
දසුන් ශානක තනි අතට ගෙන ශ්‍රී ලංකාව දිනවයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

අතුරු සිදුරු නැතිව පල්ලකැලේ ක්‍රීඩාංගණයට රැස්වූ ක්‍රීඩා ලෝලීන්ට කලකට අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 25 කදී රැස් කරන ලද රැස් කරන ලද වේගවත් සහ නොබිඳුණු ලකුණු 54 ක ඉනිම හේතුවෙන් ලෝක ශූර ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (11 දා) රාත්‍රියේ සමත්වය. ඒ සමඟම දෙරට අතර තරගාවලිය 2-1 ක් ලෙස ගෞරවාන්විතව අවසන් කර ගැනීමටද ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවූවේය.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාර 5 එළඹෙත්ම තරගයේ ජයග්‍රහණය නොපෙනන ඈතකට රැගෙන යෑමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ. එහි තවත් භයානකම පැතිකඩ වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවන් පස් දෙනෙකුම තරග නරඹන්නන් බවට පත්ව සිටීමයි. කඩුලු 5 කට ලකුණු 102 ක් ලෙසින් සටහන්ව තිබූ ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ඉලක්කය බවට පත්වූයේ පන්දු 30 කදී ලකුණු 75 කි.

උඩුගං බලා පීනීමක් වැනි ලකුණු හඹා යෑමේදී ජායි රිචර්ඩ්සන් විසින් වනිඳු හසරංගව දවා ගැනීම, ශ්‍රී ලංකාවට තවත් පාඩුවක් විය. පළමු පන්දුවාර 3 ලකුණු 03 කට සීමා කිරීමට සමත් ජොෂ් හේසල්වුඩ්ට 17 වැනි පන්දුවාරය යැවීමට පන්දුව භාර දෙන විට සිදුවන්නට යන විපත ගැන ඔස්ට්‍රේලියානු නායකයා හීනෙකින් හෝ නොසිතන්නට ඇත. පළමු පන්දුවට මුහුණ දුන් චාමික කරුණාරත්න ලකුණකින් පැති මාරු කරගැනීමත් සමඟ පුදුමය දනවන ඉනිම ඇරැඹිණ. ඒ ඉතිරි පන්දු 5 ට ලකුණු 21 ක් ලබා ගැනීමට දසුන් සමත්වීමයි. එම පන්දුවාරයෙන් අනතුරුව ජායි රිචර්ඩ්සන් යැවූ 18 වැනි පන්දුවාරයේදී ලකුණු 18 ක් උදුරා ගත් දසුන් සහ චාමික යුගල අවසන් පන්දුවාරයට ජයග්‍රාහී ඉලක්කය ලකුණු 19 ක් දක්වා වූ පරතරයකට අඩු කරගත්හ.

සුලු අතපසුවීමක් යනු විස්සයි-20 තරගයකදී අත්වන ප්‍රතිඵලය අති භයානක බව ඔස්ට්‍රේලියානුවන් හොඳින්ම දන්නා කරුණක් වුවත්, අවසන් පන්දුවාරය යැවූ කේන් රිචර්ඩ්සන් වයිඩ් පන්දු 3 කින් ප්‍රතිවාදී ලකුණු පුවරුව ඉහළ දමා දුන්නේය. පළමු පන්දු 2 වයිඩ් පන්දු බවට පත්වීම නිසා ශ්‍රී ලංකා ඉලක්කය පන්දු 6 කදී ලකුණු 17 ක් විය. ඊළඟ පන්දු දෙකේදී පිතිකරුවන් දෙදෙනා එක් ලකුණ බැගින් රැස් කර ගැනීමට සමත්වද්දී නැවතත් පන්දුවට පහරදීමේ අවස්ථාව උදාවූයේ දසුන් ශානකටය. තෙවැනි පන්දුවට බැක්වර්ඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ දසුන් ඊළඟ පන්දුව ලෝන්ග් ඔ්ෆ් කළාපයට ඉහළින් හතරේ සීමාව කරා හරවා යැවුවේය. ඒ සමඟම පරතය පන්දු 2 කදී ලකුණු 7 ක් විය.  ඊලඟ පන්දුව ඉදිරියේ එළා ඇති දැවැන්ත දර්ශන තිරය වෙත පන්දුව හයේ පහරක් ලෙසින් හරවා යැවුවේ ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි ඔල්වරසන් මධ්‍යයේය. ඒ සමඟම දසුන් විස්සයි-20 තරග දිවියේ පස්වැනි අර්ධ ශතකයද සම්පූර්ණ කරගත්තේය. පීඩනය කොතෙක්ද යත් අවසන් පන්දුවද වයිඩ් පන්දුවක් වශයෙන් රිචර්ඩ්සන් යොමු කළ හෙයින් ශ්‍රී ලංකා ජයග්‍රහණය 20 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී සනාථ වූවේය.

තරගය නිමා වන විට දසුන්ගේ නම ඉදිරියෙන් පන්දු 25 කදී ලකුණු 54 ක් සටහන්ව තිබිණ. හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 කින් සමන්විත වූ නායකයාගේ ඉනිමේ පළමු පන්දු 12 ටම ඔහු රැස් කරගෙන සිටියේ ලකුණු 6 ක් පමණි. ඉතිරි ලකුණු 48 ම පන්දු 13 කදී රැස් කරන ලද ඒවා වීම කැපී පෙනිණ. ඔහුට කදිම සහායක් ලබා දුන් චාමික කරුණාරත්න පන්දු 10 කදී ලකුණු 14 ක් ලබා සිටියේය.

ඔස්ට්‍රේලියානු ඉනිමේ හරි අඩක් අවසන් වද්දී පන්දු 3 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත්වීමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් එතෙක් පවත්වාගෙන ආ වේගයේ කිසියම් අඩුවීමක් දක්නට ලැබුණි. 10 වැනි පන්දුවාරය අවසන් වන විට ලකුණු 82 ක් ලෙසින් සටහන් වුණු ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව 15 වැනි පන්දුවාරය වන විටත් සටහන්ව තිබුණේ කඩුල 4 කට ලකුණු 117 ක් වශයෙනි.

ග්ලෙන් මැක්ස්වෙල් (16), ඩේවිඩ් වෝනර් (39) සහ ජොෂ් ඉංග්ලිස් (00) යන තිදෙනාම මුලු ලකුණු සංඛ්‍යාව 85 දී දැවී ගියහ. එහෙත් ස්ටීවන් ස්මිත්, මාකස් ස්ටොයිනිස් සහ මැතිව් වේඩ් දෙදෙනා අවසන් පන්දුවාර 5 ඇතුළතදී ලකුණු 59 ක් රැස් කිරීමට සමත්වීම නිසා නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 5 කට ලකුණු 176 ක් රැස් කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියාව ලැබිණ.

මෙහිදී මාකස් ස්ටොයින්ස් සමග පන්දු 34 කදී ලකුණු 48 ක් එක් කළ ස්මිත් මැතිව් වේඩ් සමග එක්ව ලකුණු 43 ක් ගොඩ නංවන ලද්දේ පන්දු 24 ක් පමණක් වැය කරමිනි. ඩීප් කවර් කළාපය හරහා එල්ල කරන ලද වේගවත් හයේ පහරද සමඟ ස්ටීවන් ස්මිත් සිය ඉනිම නොබිඳිව පන්දු 27 කදී ලකුණු 37 ක් ලබා ගනිමිනි.

පිට පිටම තෙවැනි වතාවටත් සාර්ථක ආරම්භකා ලබා දුන් නායක ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් පන්දු 34 කදී ලකුණු 43 ක් රැස් කළහ. වෝර්ට වඩා වේගවත් වුණු ෆින්ච් පන්දු 20 කදී ලකුණ 29 ක් රැස් කළේය. මහීෂ් තීක්ෂණගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව වෝනර් පිටියෙන් ඉවතට යන විට පන්දු 33 කදී ලකුණු 39 ක් රැස් කරගෙන සිටියේය.

ස්මිත්ට සහාය ලබා දුන් ස්ටොයිනිස් පන්දු 23 කදී ලකුණු 38 ක් රැස් කළේය. හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වුණු ස්ටොයින්ස් වනිඳු හසරංගගේ පන්දුවකට දැවී ගිය පිතිකරවකු ලෙසින් ප්‍රධාන විනිසුරු කුමාර් ධර්මසේන සංඥා කළේය. එහෙත් තෙවැනි විනිසුරුගේ සහාය ලබා ගැනීමේදී පා ආවරණයේ වැදීමට පෙර පිත්තේ පිටත දාරයේ පන්දුව වැදී තිබීම නිසා ස්ටොයිනිස්ට තවදුරටත් පිටියේ රැදී සිටීමට වාසනාව තිබිණ. එහෙත් ජයවික්‍රමගේ පන්දුවකට ස්ටම්ප් වීමකට හසුව ස්ටොයින්ස් පිටියෙන් ඉවත්ව ගියේ එකම ලකුණක් හෝ ලබා ගැනීමට පෙරාතුවය.

මෙම තරගය නැරඹීම සඳහා අතුරු සිදුරු නැතිව පිටියට රැස්ව සිටි ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ සිය දැවැන්ත පහර කරා ගිය විස්සයි-20 තරග අංශයේ ලෝක ශූර ක්‍රීඩකයෝ රැස්කරගත් ලකුණු 176 න්  94 ක්ම හයේ පහර 5 කින් සහ හතරේ පහර 16 කින් ලබා ගත්හ.

දෙරට අතර ආරම්භ වන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 14 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ වේ.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest