By Chamila Karawita
තෙවැදෑරුම් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය ජුනි 07 වැනිදා ප.ව. 7 ට ආරම්භ වනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සහභාගිවන්නේ බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගාවලියකට සහභාගිවීමෙන් අනතුරුව වුවත්, විස්සයි-20 සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් කීප දෙනෙකුම නිමාවූ අයි.පී. එල්. තරගාවලියට සහභාගාවීමෙන් අනතුරුව පැමිණ සිටීම විශේෂත්වයකි. වනිඳු හසරංග, භානුක රාජපක්ෂ, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ එම තරගාවලියේදී ක්‍රීඩා කළ අතර චාමික කරුණාරත්න කල්කටා නයිට් රයිඩර්ස් පිල සමඟ එකතුව සිටියේය.
දෙරට අතර විස්සයි-20 ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකාව ඉකුත් පෙබරවාරි මසදී ඔස්ට්‍රේලියාව හමුවේ 4-1 ක තරගාවලි පරාජයක් ලබා සිටියද මෙම තරගාවලිය ජය ගැනීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා විස්සයි-20 සහ ඒක්දින නායක දසුන් ශානකගේ අදහස වී තිබේ.
“ඇත්තටම එදාට වඩා තත්ත්වය අද ගොඩක් වෙනස් වෙලා තියෙනවා. මේ තරගාවලි පැවැත්වෙන්නේ අපේ රටේ අපේ දේශීය තත්ත්වයන් යටතේ. ඒ නිසා තරගාවලිය ජය ගැනීමේ ලොකු අවස්ථාවක් අපිට තියෙනවා. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තණතීරුව බැලුවත් එය සකස් කරලා තියෙන්නේ පන්දුවේ ඉපිලීම අඩුවෙන් වන විදියට. එය අපිට වාසිදායක තත්ත්වයක් ගෙන ඒවි” යැයි තරගය පිළිබඳව දසුන් ශානක අදහස් දක්වා සිටියේය.
නිත්‍ය කඩුලු රකින්නකු වෙනුවට එම සේවය කුසල් මෙන්ඩිස්ගෙන් ඉටු කර ගැනීමට අපේක්ෂා කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව එහි වගකීම කුසල් මෙන්ඩිස් වෙත පවරා තිබේ. එම තත්ත්වය මත තවත් විශේෂඥ පිතිකරුවකු හෝ පන්දු යවන්නකු කණ්ඩායමට එක් කර ගැනීමේ වක්‍රාකාර වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට සතුවනු ඇත.
මෙහිදී ශ්‍රී ලංකා ඉනිම ආරම්භය පැතුම් නිස්සංක සහ ධනුෂ්ක ගුණතිලක සමඟින් සිදුකිරීමට නියමිත අතර අංක 3 ස්ථානයේ වගකීම චරිත් අසලංකට පැවැරී තිබේ. ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව වූ ගැටලුවක් හේතුවෙන් පසුගිය තරගාවලි කීපයේදීම කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි භානුක රාජපක්ෂ ද නැවතත් කණ්ඩායමට පැමිණ සිටින අතර ඔහු කුසල් මෙන්ඩිස්ට පසු හෙවත් අංක 05 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණෙනු ඇත.
ලොව කොහේ ක්‍රීඩා කළද වේග පන්දු යවන්නන් පිළිබඳව වැඩි විශ්වාසයක් තබන ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගය සඳහාත් ඔවුන්ගේ ප්‍රබලතම වේග පන්දු බලඇණිය ක්‍රීඩා කරවනු ඇත. මිචෙල් ස්ටාර්ක් එහි ප්‍රධාන අවිය වන අතර, කේන් රිචර්ඩ්ස්, සහ ජොෂ් හැස්ල්වුඩ් ක්‍රීඩා කරනු ඇත. මීට අමතරව මිචෙල් මාෂ් සහ මාකස් ස්ටොයිනිස්ටද වේග පන්දු යවන්නන් ලෙසින් ක්‍රීඩා කිරීමේ හැකියාව පැවැතීම ඕනෑම ආකාරයකට සංයුතය සකසා ගැනීමට ඔස්ට්‍රේලියානුවන් විකල්ප ඉතිරිව තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් බිහිවූ සාර්ථකම වේග පන්දු යවන්නා බවට පත්ව සිටින ලසිත් මාලිංගගේ සේවය පන්දු යවන්නකු ලෙසින් කණ්ඩායමට අහිමිව ඇතත් ඔහු ආකාරයෙන් පන්දු යවනු ලබන වේග පන්දු යවන නුවන් තුෂාර සහ මතීෂ පතිරණ ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටිති. වඩාත් වටිනා කරුණ වන්නේ ඔවුන් දෙදෙනාගේ පුහුණුකරුවා ලෙසින් ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එකතුව සිටීමයි.
ගෙවී ගිය දින කීපයේදීම මාලිංග මොවුන් දෙදෙනා සමඟ ඉතාම ළඟින් කටයුතු කරනු දැක ගත හැකි වූ අතර ඊට මාධ්‍ය හරහා වැඩි ප්‍රතිචාරයක් ලැබීමද කැපී පෙනිණ. පන්දු යවන්නන් අතර වනිඳු හසරංග ප්‍රධානියා වන අතර ඔහුගේ සහායට මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරනු ඇත. දුෂ්මන්ත චමීර වේග පන්දු යවන්නන් අතර ප්‍රධානියා ලෙසින් අවසන් 11 දෙනා අතරට පැමිණීමට සමත්වද්දී නුවන් තුෂාර අනෙක් වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කරනු ඇත.
ගෙවී ගිය මාස කීපයේදීම ලද පරාජයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති එකම ගැටළුව වන්නේ පන්දු යවන්නන් ලෙස කටයුතු කරන්නේ කවුන්ද යන්න නොව පන්දුවට පහර දීමේදී පිතිකරුවන් එම අභියෝගයට කෙසේ මුහුණ දෙන්නේද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම වේ. ඒ මන්ද යත් අවසන් තරග බොහෝමයක ශ්‍රී ලංකා පිතිකරුවන් අතින් නිලකණු පන්දු වැඩි සංඛ්‍යාවක් සටහන් වීමය.
පළමු තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම – 1. පැතුම් නිස්සංක, 2. ධනුෂ්ක ගුණතිලක, 3. චරිත් අසලංක, 4. කුසල් මෙන්ඩිස්, 5. භානුක රාජපක්ෂ, 6. දසුන් ශානක (නායක), 7. වනිඳු හසරංග, 8. චාමික කරුණාරත්න, 9. දුෂ්මන්ත චමීර, 10. මහීෂ් තීක්ෂණ, 11. නුවන් තුෂාර.
ඔස්ට්‍රේලියානු පිල – එරන් ෆින්ච් (නායක), ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, ස්ටීව් ස්මිත්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, ඇස්ටන් ආගර්, මිචෙල් ස්ටාර්ක්, කේන් රිචඩ්සන්, ජෝෂ් හස්ලිවුඩ්