slc
logo
Home   |    News
ජූනි 16, 2022
පන්දු යවන්නන්ගේ කරමතින් ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය සම කරයි

sinhala editor

By Chamila Karawita

එක්දින තරගයකදී පන්දුවාර 43 කදී ලකුණු 216 ක් යනු එතරම් අසීරු ඉලක්කයක් නොවුණත් පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ධෛර්යවන්ත පන්දු යැවීමක නිරත වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඔස්ට්‍රේලියානු ඉනිමේ අවසන් කඩුලු 5 ම ලකුණු 19 ක් ඇතුළත දවාලමින්  ලකුණු 26 ක ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම අද (16 දා) රාත්‍රියේ රැගෙන ගියහ. මෙම ජයග්‍රහණයත් සමඟ අවසන් එක්දින තරග 3 සඳහා ශ්‍රී ලංකාව කොළඹට සේන්දු වන්නේ තරගාවලිය 1-1 ක් ලෙස හිස කෙළින් තබාගෙනය.

මන්දගාමී පල්ලකැලේ තණතීරුවේ පැවැති මෙම තරගයේ සමස්ථ පාලනය පන්දු යවන්නන් සතු වද්දී දෙපිළේම එකම පිතිකරුවකු හෝ අර්ධ ශතකයක් වාර්තා කිරීමට අසමත් වූහ. එහෙත් අවසානයේ සංචාරක පිලේ පන්දු යවන්නන්ට වඩා සත්කාරක පිලේ පන්දු යවන්නන් තරගයේ පාලනය අතට ගැනීම නිසා උද්වේගකර තරගාවසානයේ ශ්‍රී ලංකාවට ජය අත්විණ.

දුෂ්මන්ත චමීරගේ පන්දුවක් ඔස්ට්‍රේලියානු ඉනිමේ අවසන් පිතිකරුවා වූ මැතිව් කුනමන්ගේ  කඩුල්ලේ කෙළින්ම වැදෙමින් සත්කාරක කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ වන විට චාමික කරුණාරත්නගේ නම ඉදිරියෙන් ලකුණු 47 කට කඩුලු 3 ක් සටහන්ව තිබිණ.

වේග පන්දු යවන්නන් අතට තරගයේ පාලනය යෑමට පෙර ධනංජය ද සිල්වා මෙන්ම දුනිත් වෙල්ලාගේ දවා ගන්නා ලද කඩුලු 4 තරගයේ පාලනය අතට ගැනීමට ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් විය. ඊට අමතරව දුෂ්මන්ත චමීර පන්දුවාර 6.1 කදී ලකුණු 19 කට කඩුලු 2 ක් දවා ගැනීම ශ්‍රී ලංකාවට ජය මාවත විවර වීමට හේතුකාරක වූහ.

ස්ටීවන් ස්මිත් (28), ග්ලෙන් මැක්ස්වෙල් (30) සහ මිචෙල් ස්වෙප්සන් (02) චාමිකගේ පන්දු හමුවේ දැවී ගිය පිතිකරුවෝ වූහ. මේ අතරින් මැක්ස්වෙල්ගේ අත්‍යාවශ්‍යම කඩුල්ලට අමතරව ඇලෙක්ස් කේරිව දුවද්දී දවා ගැනීම වෙනුවෙන් ලබා දුන් දායකත්වය නිසා තරගයේ වීරයා සම්මානයෙන්ද චාමික කරුණාරත්න පිදුම් ලැබීය. මෙය චාමිකගේ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින්ද සනිටුහන් විය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 47.4 කදී කඩුලු 9 ක් දැවී රැස් ලකුණු 220 ක් රැස් කරන ලදුව තරගයට වර්ෂාවෙන් බාධා වූ හෙයින් ඔස්ටේලියානුවන්ගේ ඉලක්කය පන්දුවාර 43 කදී ලකුණු 216 ක් විය. එය හඹා යෑමේදී ඔස්ට්‍රේලියානු පිලට පන්දුවාර 37.1 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුනු 189 ක් පමණි. මෙම ජයග්‍රහණයේ ඇති තවත් සුවිශේෂීතාවක් වන්නේ ශ්‍රී ලංකාව සතු අංක 1 පන්දු යවන්නා වන වනිඳු හසරංග නොමැතිව වුවද තරගය ජය ගැනීමට සමත්වීම වේ.

හඹා යෑමේදී ඔස්ට්‍රේලියානුවන් ඉදිරියෙන් සිටීම පිළීගත කරුණක් වුවත් චාමික කරුණාරත්නගේ පන්දුවකට එල්ල කරන ලද පුල් පහර දසුන් ශානකගේ දෑත් අතර සිරවී යෑමත් සමඟ සියල්ල කණපිට හැරිණ. එහි ප්‍රතිඵලය වූයේ ඉතිරි කඩුලු 5 ම ලකුණු 19 ක් ඇතුළත බිඳ වැටීමයි.

පල්ලකැලේ ක්‍රීඩාගණයේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය අතර මඟ තාවකාලිකව නවතා දමන විට පන්දුවාර 47.4 කදී කඩුලු 9 කට ලකුණු 220 ක් ලබා සිටියේය. නම් දරා සිටි පිතිකරුවන් සියල්ල 44 වැනි පන්දුවාරය වන විට නරඹන්නන් වුවත් අවසන් කඩුල්ලට එක්වූ දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 21 නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පළමු තරගය මෙන් නොව දඟ පන්දු යවන්නන් කෙරෙහි විශ්වාස තබමින් දඟ පන්දු යවන්නන් තිදෙනකු සමඟින් අද තරගයට අවතීර්ණ විය. බලාපොරොත්තු වූ පීඩනය ශ්‍රී ලංකාවට එල්ල කළ ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නෝ දැවී ගිය කඩුලු 9 න් 5 ක්ම දවා ගැනීමට සමත්වූහ.

දඟ පන්දු යවන්නන්ට සහයෝගය දක්වනු ලබන පල්ලකැලේ තණතීරුව මතු පිට නව පන්දුවත් සමග ධනුෂ්ක ගුණතිලකව දවා ගත් වේග පන්දු යවන පැට් කමින්ස් මැද පෙළ සහ ඉනිමේ අවසන් භාගයේද කඩුලු 4 ක් දවාලමින් ශ්‍රී ලංකාව අසීරුවට ඇද දැමීය. වර්ෂාව ඇද හැළෙන විටත් සිය 9 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිටි කමින්ස් ලකුණු 35 ක් පමණක් ලබා දී තිබුණේය.

අද තරගයේදී මංගල එක්දින වරම් දිනාගත් මැතිව් කුනේමන් මංගල පන්දු යැවීම පන්දුවාර 10 කදී ලකුණු 48 කට කඩුලු 2 ක් ලෙසින් සටහන් කරගත්තේය. පළමු තරගයේදී ඔස්ට්‍රේලියානු ජයග්‍රහණයේ නියමුවා වූ ග්ලෙන් මැකිස්වෙල්ද ලකුණු 35 කට කඩුලු 2 ක් සහ තෙවැනි දඟ පන්දු යවන්නා ලෙසින් එක්වූ මිචෙල් ස්වෙප්සන් එක් කඩුල්ලක් ද දවා ගත්තේය.

වේග පන්දු යවන්නන් කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීම ඔස්ට්‍රේලියානුවන්ගේ සාමාන්‍ය සිරිත වුවත් මෙම තරගයේ ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 47.4 න් පන්දුවාර 32 ක්ම දඟ පන්දු යවන්නන් විසින් ක්‍රියාත්මක කිරීම කැපී පෙනිණ.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 35 කදී දවා ගැනීමට ඔස්ට්‍රේලියානුවන් සමත් වුවද තෙවැනි කඩුල්ලට එක්වූ කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා ලකුණු 67 ක සම්බන්ධතාවක් එක් කළහ. ඔස්ට්‍රේලියානු කඩුලු රකින්නාගේ දක්ෂ උඩ පන්දු රැකීම හමුවේ ධනංජයගේ ඉනිම ලකුණු 34 කදී නිමාවට පත්විය. ධනංජයගේ දැවී යෑමෙන් ලකුණු පුවරුවට ලකුණු 12 ක් එකතු වන අතර වාරයේදී කුසල් මෙන්ඩිස්ද දැවී යෑම ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් විය.

පළමු තරගයේදී එක්දින වරම් දිනාගත්තද පන්දුවට පහර දීමට අවස්ථාව නොලද දුනිත් වෙල්ලාලගේ අද පළමු වතාවට පන්දුවට පහර දීමට පිටියට පිවිසියේය. පළමු ඉනිම නිසාවෙන්දෝ පළමු පන්දු කීපයේදී ලකුණක් රැස් කිරීමට අසමත් වුණු වෙල්ලාලගේ පන්දු 35 කදී ලකුණු 20 ක් රැස් කර ගත්තේ මිචෙල් ස්වෙප්සන්ට හයේ පහරකින්ද සංග්‍රහ කරමිනි.

Active filters

Recent Posts

  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]
  • දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee