slc
Home   |    News
ජූනි 29, 2022
පළමු දිනයේ කඩුලු 13 ක් බිඳ වැටෙයි

sinhala editor

By Chamila Karawita

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (29 දා) ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගයේ දිනය අවසාන වනවිට දෙපිළේම කඩුලු 13 ක් බිද වැටීම කැපී පෙනිණ. ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 212 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 98 ක් ලබා සිටියි.

කඩුලු 7 ක් අතැතිව ලකුණු 114 ක් පිටුපසින් ඔස්ට්‍රේලියානුවන් සිටින විට උස්මාන් කවාජා න්දු 86 කදී ලකුණු 47 ක්ද ට්‍රෙවිස් හෙඩ් ලකණු 06 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටිති. පළමු දිනය ඇතුළත දෙපිළේම කඩුලු 13 ක් දැවී යෑම, වක්‍රාකාරයෙන් එය දින 5 ක තරගයක් නොව ඊට කළින් නිමාවට පත්වන තරගයක් වීමට බොහෝ විට ඉඩ ඇති බවට පෙර නිමිති පළ කිරීමකි.

පළමු දිනයේ යැවීමට නියමිත පන්දුවාර 90 න් පන්දුවාර 59 කදී ශ්‍රී ලංකා ඉනිම හමාර වීම නිසා ඔස්ට්‍රේලියානුවන්ට පළමු දිනයේදී ආරක්ෂා වීමට තවත් පන්දුවාර 29 ක් ඉතිරිව තිබිණ.  ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය සඳහා ප්‍රධාන දඟ පන්දු යවන්නන් තිදෙනකු කැඳවමින් අවතීර්ණ වුවත්, රමේෂ් මෙන්ඩිස් හැරුනු කොට ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට දැඩි අභි‌යෝගයක් එල්ල කිරීමට වැන්ඩර්සි සහ ඇඹුල්දෙනියට නොහැකි විය.

පිට දඟ පන්දුවෙන් ප්‍රභල පීඩනයක් එල්ල කිරීමට රමේෂ් මෙන්ඩිස් සමත්වීම නිසාම එය ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට දැඩි කරදරයක් විය. ඒ නිසාම අර්ධ ශතකයට ආසන්නව සිටින උස්මාන් කවාජා සීමා ඉරෙන් ඉදිරියට පැමිණ පහරක් එල්ල කිරීමට යෑමෙදී ස්ටම්ප් කිරීමේ අවස්ථාවක් ලබා දුන්නේය. නොසිතූ ලෙස පන්දුවේ සිදුවූ ඉපිලීම හේතුවෙන් කඩුල්ල පිටුපස සිටි නිරෝෂන් දික්වැල්ලට හරියාකාරව පන්දුව ග්‍රහණය කර ගැනීමට නොහැකි විය. එම අවස්ථාවේ වාසිය ශ්‍රී ලංකාව මත ලැබුණේ නම් කවාජාගේ ඉනිම ලකුණු 36 දීි නිමාවට පත්වනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී ලබා ගත් සාර්ථකම ප්‍රවේශය වූයේ ස්ටීවන් ස්මිත්ගේ කඩුල්ල දවා ගැනීමට සමත්වීමයි. කඩුලු අතර දිව යෑමේදී දික්වැල්ල පන්දුව රැගෙන කුසල් මෙන්ඩිස් වෙත එවීම නිසා ස්මිත්ගේ ඉනීම ලකුණු 6 කට සීමා විය.

තේ පානයෙන් මද වේලාවකට පසු ශ්‍රී ලංකා ඉනිම හමාර වන විට දැවී ගිය කඩුලු 10 න් 8 ක්ම දඟ පන්දු යවන්නන් වූ නේදන් ලයන් සහ මිචෙල් ස්වෙප්සන් දවා ගැනීමට සමත්වූහ. මොවුන් දෙදෙනා අතරින් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු පිට දඟ පන්දු යවන ලයන්, ලකුණු 90 ක් ඇතුළත ශ්‍රී ලංකා පිතිරුවන් 5 දෙනෙකු දවා ගනිද්දී ස්වෙප්සන් ලකුණු 55 කට කඩුලු 3 ක් දවා ගත්තේය. 2011 වසරේදී ගාල්ලේදී ටෙස්ට් වරම් දිනාගත් නේදන් ලයන් පළමු ඉනිමේ කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වූවා සේම ඊට වසර 11 කට පසු ගාල්ලේ පැවැති තරගයේදී යළිත් කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වීම කැපී පෙනිණි. එදා යවන ලද පළමු පන්දුවේදීම ලොව අංක 1 ටෙස්ට් පිතිකරුවා බවට පත්ව සිටි කුමාර් සංගක්කාරගේ කඩුල්ල දවා ගැනීමට ගනිමින් වාර්තා පොත් අතරට සිය නම ඇතුළත් කර ගැනීමට සමත්වූ පිට දඟ පන්දු යවන්නා අද සිය 109 වැනි තරගයට ක්‍රීඩා කරද්දී සිය පෞද්ගලික කඩුලු සංඛ්‍යාව 427 දක්වා ඉහළ දමා ගෙන සිටියි.

දිවා ආහාරයෙන් පසු ඇරැඹී තරගයේදී දිමුත් කරුණාරත්න දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ඇරැඹිණ. ලයන්ගේ ගොදුරක් වෙමින් දිමුත් දැවී යෑමත් සමඟ ලකුණු පුවරුවට ලකුණු 69 ක් එකතුවන අතර වාරයේදී කඩුලු 4 ක් දවා ගනිමින් පීඩනය තර කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ.

අනතුරුව නිරෝෂන් දික්වැල්ල ට එක්වූ රමේෂ් මෙන්ඩිස් 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාවයේ ගොඩ නංවන ලද ලකුණු 54 ක සම්බන්ධතාව වැඩිම ලකුණු සම්බන්ධතාව ලෙසින් සටහන් විය. මැතිව්ස් සහ දික්වැල්ල අතර වූ පස්වැනි කඩුල්ලේ ලකුණු 42 හැරුණු කොට ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිම පිතිකරුවකු ස්ථාවරත්වයක් පෙන්නුම් කිරීමට අපොහොසත් වූහ.

50 වැනි ටෙස්ට්  තරගය බවට අද තරගය පත්වීම නිසා ඇන්ජලෝ මැතිව්ස්ගෙන් සිය ටෙස්ට් තොප්පිය ලබා ගත් දික්වැල්ල නිර්භිත පිතිහරඹයක නියැළෙමින් සුභදායී තත්ත්වයක් පෙන්නුම් නොකළ ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යෑමේ පෙරමුණ ගනු ලැබුවේ සිය 21 වැනි අර්ධ ශතකයට හිමිකම් කීයමිනි. කඩුලු ත්‍රිත්තවයක් අභිමුවදී පන්දුවට පහර දීමට පැමිණි කඩුලු රකින දකුණත් පිතිකරුවා තමන් සතු ස්වීප්, රිවර් ස්වීප්, ස්ලොග් ස්වීප් පහර එල්ල කරමින් මුහුණ 42 වැනි පන්දුවේදී අර්ධ ශතකය සපුරා ගත්තේය.

මොවුන් දෙදෙනාගේ සබඳතාව ප්‍රධාන කොට තේ පානය සඳහා තරගය නිමා කරන විට කඩුලු 6 කට ලකුණු 191 ක් දක්වා ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන යෑමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. ලයන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රැක කේරි අතට උඩ පන්දුවක් දී දික්වැල්ල දැවී යන විට පන්දු 59 කදී ලකුණු 58 ක් රැස් කරගෙන සිටියේය. ඔහුට අනගි සහසායක් ලබා දුන් මෙන්ඩිස් ලකුනු 22 ක් ලබා ගනිද්දී ඉන්මේ එකම හයේ පහර ලසිත් ඇඹුල්දෙණිය විසින් එල්ල කළේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 59 කදී සියලු දෙනා දැවී ලකුණු 212 යි – (නිරෝෂන් දික්වැල්ල 58, රමේෂ් මෙන්ඩිස් 22, පැතුම් නිස්සංක 23, දිමුත් කරුණාරත්න 28, ඇන්ජලෝ මැතිව්ස් 39, ධනංජය ද සිල්වා 14, කුසල් මෙන්ඩිස් 03, දිනේෂ් චන්දිමාල් 00, ජෙෆ්රි වැන්ඩර්සි 06, ලසිත් ඇඹුල්දෙණිය 06, අසිත ප්‍රනාන්දු 02*, නේදන් ලයන් 90/5, මිචෙල් ස්වෙප්සන් 55/3, පැට් කමින්ස් 25/1, මිචෙල් ස්ටාර්ක් 31/1)

ඔස්ට්‍රේලියාව පළමු ඉනිම පන්දුවාර 25 කදී කඩුලු 3 ට ලකුණු 98 යි – (උස්මාන් කවාජා 47*, ඩේවිඩ් වෝනර් 25, මානස් ලබුෂේන් 13, ස්ටීවන් ස්මිත් 06, ට්‍රෙවිස් හෙඩ් 06*, රමේෂ් මෙන්ඩිස් 35/2)

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest