slc
Home   |    News
ජූනි 19, 2022
පැතුම්ගේ විශිෂ්ඨ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

sinhala editor

By Chamila Karawita

ලකුණු 292 ක ඉලක්කයක්  යෑමේදී එය මුලුමනින්ම තමන්ගේ තරගයක් බවට පත් කරගත් පැතුම් නිස්සංකගේ මංගල එක්දින ශතකය සමඟ රැස් කරන ලද ලකුණු 137 ත්, කුසල් මෙන්ඩිස් සමඟ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 170 ක සම්බන්ධතාව ප්‍රධාන කොට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (19 දා) රාත්‍රියේ හැකියාව ලැබිණ. දෙපිළම 1-1 ක් ලෙස සමව සිටි තරගාවලියේ මෙම ජයග්‍රහණයත් සමඟ 2-1 ක් ලෙස තරගාවලිය පෙරමුණ ගැනීමටද දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හඹා යමින් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත්වූ මෙම ජයග්‍රහණය 49 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී  සපුරා ගනිද්දී  ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ කඩුලු 4ක් පමණක් ලබා දීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ වග බලා ගත්හ.

මෙය ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමක් හඹා යමින් ජය ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාව මෙන්ම ශ්‍රී ලංකාව තුළදී හඹා ගොස් ජය ගත් සිව්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවටද පත්වූවේය. ශ්‍රී ලංකා කණ්ඩායමක් මීට පෙර හඹා යමින් ජයගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්ව තිබුණේ 2012 වසරේදී හෝබාට්හි පැවැති තරගයේ කඩුලු 7 ක් දැවී රැස් කරන ලද ලකුණු 283 වේ.

ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය පතා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට අතුරු සිදුරු නැතිව එක්වූ ක්‍රීඩා ලෝලීන්ට කලකට අමතක නොවන ඉනිමක් දියත් කළ පැතුම් නිස්සංක 48 වැනි පන්දුවාරයේ පළමු පන්දුවට දැවී යනවිටත් පන්දු 147 කදී ලකුණු 137 ක් ලබා සිටියේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 කින් වර්ණවත් වුණු නිස්සංකගේ මෙම ශතකය ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවකු රැස් කරන ලද ඉහළම  පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් වීය. හිටපු නායක සනත් ජයසූරිය 2003 වසරේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී රැස් කරන ලද ලකුණු 122 මීට පෙර ශ්‍රී ලංකා පිතිකරුවකු රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්විය.

මස්පිඬු වල ඇතිවූ ආබාධිත තත්ත්වයක් මත ඉනිම නතර කොට කුසල් මෙන්ඩිස් ක්‍රීඩාගාරයට නොයන්නට වසර 3 කට පසු එක්දින තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවන් යුගලයක් ශතක සම්බන්ධතාවක් පවත්වන ලද පළමු තරගය බවටද අද තරගය පත්වීමට වැඩිම ඉඩ කඩක් තිබිණ. ලකුණු 87 ක් ලබා සිටියදී මෙන්ඩිස් ඉවතට යන විට ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සඳහා පන්දු 72 කදී ලකුණු 80 ක් අවශ්‍යව පැවැතිණ. මුහුණ දුන් 39 වැනිදුවේදී අර්ධ ශතකය සපුරා ගත් දකුණත් පිතිකරුවා කලව ආශ්‍රිත මස් පිඬු ඉරී යෑමක් හේතුවෙන් පිටියෙන් යන විටත් නිස්සංක සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 170 සඳහා පන්දු 181 ක් පමණක් වැය කර තිබුණි.  එම සම්බන්ධතාව ශ්‍රී ලංකා කණ්ඩායමක් හඹා ගොස් ජය ගත් තරගයකදී වාර්තා කරන ලද තෙවැනි ඉහළතම ලකුණු සම්බන්ධතාව ලෙසින්ද සටහන් විය. නිස්සංකට වඩා ප්‍රවේග කාරී වූ කුසල්ගේ අර්ධ ශතකය වාර්තාවීමෙන් පන්දු 9 කට පසු නිස්සංක සිය අර්ධ ශතකය සපුරා ගත්තේ මුහුණ දුන් 65 වැනි පන්දුවේදීය.

ධනූෂ්ක ගුණතිලක ආබාධයකට ගොදුරුව සිටි නිසා ශ්‍රී ලංකා ඉනිම ඇරැඹි නිරෝෂන් දික්වැල්ල ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගත්තත් වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට මැක්ස්වෙල් අවස්ථාව ලබා නොදුන්නේය. ලකුණු 24 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුව මිචෙල් මාෂ් අතින් අත ඇරුණද ඉන් ඵල ප්‍රයෝජනයක් නොගත් වමත් පිතිකරුවා මැක්ස්වෙල්ගේ ඊළඟ පන්දුවේදීම දැවී ගියේ කිසිදු ප්‍රයෝජනයක් ලබා ගැනීමට පෙරය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම මට්ටු කිරීම සදහා ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 7 දෙනෙකුගේ සහාය ලබා ගත්තද ‘ඒ’ කණ්ඩායමේ සිට ජාතික කණ්ඩායමට උසස්වීමක් ලද ට්‍රේවිස් හෙඩ්ව නවතාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකිවීම නිසා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු පිල ලකුණු 292 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව හමුවේ තැබීය.

මන්දගාමී වූත් වැඩි දඟ කැවීමකින් යුත් ප්‍රේමදාස තණතීරුවේදී ලකුණු 121 ක් ඇතුළත ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනෙකු දැවී ගොස් සිටියදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් ඇලෙක්ස් කේරිට එක්වූ ට්‍රෙවිස් හෙඩ් පන්දු 80 කදී ගොඩනංවන ලද ලකුණු 72 ක සම්බන්ධතාව ඔස්ට්‍රෙලියානු පිලට ලකුනු 300 සීමාව ආසන්නයට යෑමට ප්‍රධාන අඩිතාලම බවට පත්විය.

ජෙෆ්රි වැන්ඩර්සි ප්‍රමුඛ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ ඔස්ට්‍රෙලියානු ඉදිරි පෙළ පිතිකරුවන් අසීරුතාවයෙන් මුහුණ දෙද්දී ට්‍රෙවිස් හෙඩ් නොසැළී සිය අන්තය ආරක්ෂා කර ගත්තා පමණක් නොව 6 වැනි සහ 7 වැනි කඩුලු වෙනුවෙන් සාර්ථක සම්බන්ධතා එක් කරමින් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රෙලියානු කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව කරා සිය කණ්ඩායම රැගෙන යෑමට සමත්වූහ. අද තරගයට පෙර තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එක්දින තරග 17 කට සහභාගිව ඇති ඔස්ට්‍රෙලියානුවෝ රැස් කර ඇති ඉහළම කුණු සංඛ්‍යාව වූයේ 1996 වසරේදී සිම්බාබ්වේ පිලට එරෙහිව කඩුලු 7 ක් දැවී රැස් කරන ලද ලකුණු 263 විය.

පිටියට ආ විගසම වෙල්ලාලගේ පන්දුවකට උඩ පන්දුවක් ලබා දුන්නද එය ධනංජය ද සිල්වාගේ අතින් ගිලිහී යෑමෙන් තවදුරටත් පිටියේ රැඳී සිටීමට වරම් ලබාගත් මැක්ස්වෙල් පන්දු 18 කදී ලකුණු 33 ක් රැස් කළේය. වෙල්ලාගේ අති විශිෂ්ඨ උඩ පන්දු රැකීමත් සමඟ පිටියෙන් ඉවත් වන විටත් හය වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී වේගවත් ලකුණු 40 ක් එක් කිරීමට මැක්ස්වෙල් දායකත්වය ලබා දුන්නේය.

වඩාත් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ ජෙෆ්රි වැන්ඩර්සිගේ මැක්ස්වෙල්ගේ කඩුල්ලත් සමඟ සිය පන්දුවාර 10 දී ලකුණු 49 කට කඩුලු 3 ක් වශයෙන් අහවර කරගත්තේය. මැක්ස්වෙල්ගේ කඩුල්ලට අමතරව තමා යන වල පන්දු 8 ක් ඇතුළත දවාගත් මානස් ලබුෂේන් (29( සහ නායක ඇරන් ෆින්ච් (62) කඩුල්ද ඇතුළත් විය.

මැක්ස්වෙල්ගේ පිටවීමත් සමඟ කැමරන් ග්‍රීන්ට එක්වූ ට්‍රවිස් හෙඩ් පන්දු 33 කදී වේගවත් ලකුණු 58 ක් එක් කළේ අඩු ලකුණු සංඛ්‍යාවකට ඔස්ට්‍රේලියානුවන් සීමා කිරීමට ශ්‍රී ලංකාව තබා තිබූ සියලු බලාපොරොත්තු සුළඟේ පා කර හරිමිනි. පළමු පන්දුවාර 40 අවසන් වන විට ලකුණු 193 ක්ව තිබූ ලකුණු පුවරුවට අවසන් පන්දු 60 දී ලකුණු 98 ක්  එක් කිරීමට මොවුන් තිදෙනාගේ අනුකම්පා විරහිත පිතිහරඹයට හැකි විය.

හෙඩ්ට අමතරව ඔස්ට්‍රේලියානු ඉනිම වර්ණවත් කළ අනෙක් පිතිකරුවා වූයේ කඩුලු රකින ඇලෙක්ස් කේරිය. ඔහු  පන්දු 52 කදී අර්ධ ශතකය පෙනී පෙනී දැවී ගියේ ධනංය ද සිල්වාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදහකට හසුවීමෙනි. පන්දු යැවීමට පැමිණි මුල් පන්දුවාර කීපයේදී ඉතාමත් හොඳින් පන්දු යැවීමේ නිරතවුවද අර්ධ ශතකය වාර්තා කිරීම වෙනුවෙන් හෙඩ් එල්ල කරන ලද හයේ පහරත් සමඟ වෙල්ලාගේ දැඩි ප්‍රහාරයකට ලක්වූයේය. පළමු පන්දුවාර 9 ලකුණු 35 ට සීමා කළ තිබූ වෙල්ලාලගේගේ අවසන් පන්දුවාරයට හයේ පහර 3 ක් සමඟ ලකුණු 21 ක් රැස් කිරීමට ට්‍රෙවිස් හෙඩ් සමත්වීම නිසා ඔහුගේ පන්දු යැවීම පන්දුවාර 10 කදී ලකුණු 56 කට එක් කඩුල්ලක් ලෙසින් ‌ඉහළ ගියේය.

දෙරට අතර පෑවත්වෙන සිව්වැනි එක්දින තරගය මෙම මස 21 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වේ.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest