ආරම්භයේ සිටම පිතිකරුවන් අතර ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීමට අවස්ථාව ලබා නොදුන් ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ දිනයේ තවත් පන්දුවාර 29 ක් යැවීමට ඉතිරි තිබියදී ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 212 කට නවතාලීමට අද (29 දා) සමත්වූහ.
තේ පානයෙන් මද වේලාවකට පසු ශ්‍රී ලංකා ඉනිම හමාර වන විට දැවී ගිය කඩුලු 10 න් 8 ක්ම දඟ පන්දු යවන්නන් වූ නේදන් ලයන් සහ මිචෙල් ස්වෙප්සන් දවා ගැනීමට සමත්වූහ. මොවුන් දෙදෙනා අතරින් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු පිට දඟ පන්දු යවන ලයන්, ලකුණු 90 ක් ඇතුළත ශ්‍රී ලංකා පිතිරුවන් 5 දෙනෙකු දවා ගනිද්දී ස්වෙප්සන් ලකුණු 55 කට කඩුලු 3 ක් දවා ගත්තේය. 2011 වසරේදී ගාල්ලේදී ටෙස්ට් වරම් දිනාගත් නේදන් ලයන් පළමු ඉනිමේ කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වූවා සේම ඊට වසර 11 කට පසු ගාල්ලේ පැවැති තරගයේදී යළිත් කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වීම කැපී පෙනිණි. එදා යවන ලද පළමු පන්දුවේදීම ලොව අංක 1 ටෙස්ට් පිතිකරුවා බවට පත්ව සිටි කුමාර් සංගක්කාරගේ කඩුල්ල දවා ගැනීමට ගනිමින් වාර්තා පොත් අතරට සිය නම ඇතුළත් කර ගැනීමට සමත්වූ පිට දඟ පන්දු යවන්නා අද සිය 109 වැනි තරගයට ක්‍රීඩා කරද්දී සිය පෞද්ගලික කඩුලු සංඛ්‍යාව 427 දක්වා ඉහළ දමා ගෙන සිටියි.
දිවා ආහාරයෙන් පසු ඇරැඹී තරගයේදී දිමුත් කරුණාරත්න දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ඇරැඹිණ. ලයන්ගේ ගොදුරක් වෙමින් දිමුත් දැවී යෑමත් සමඟ ලකුණු පුවරුවට ලකුණු 69 ක් එකතුවන අතර වාරයේදී කඩුලු 4 ක් දවා ගනිමින් පීඩනය තර කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ.
අනතුරුව නිරෝෂන් දික්වැල්ල ට එක්වූ රමේෂ් මෙන්ඩිස් 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාවයේ ගොඩ නංවන ලද ලකුණු 54 ක සම්බන්ධතාව වැඩිම ලකුණු සම්බන්ධතාව ලෙසින් සටහන් විය. මැතිව්ස් සහ දික්වැල්ල අතර වූ පස්වැනි කඩුල්ලේ ලකුණු 42 හැරුණු කොට ශ්‍රී ලංකා ණ්ඩායමේ කිසිම පිතිකරුවකු ස්ථාවරත්වයක් පෙන්නුම් කිරීමට අපොහොසත් වූහ.
50 වැනි ටෙස්ට් තරගය බවට අද තරගය පත්වීම නිසා ඇන්ජලෝ මැතිව්ස්ගෙන් සිය ටෙස්ට් තොප්පිය ලබා ගත් දික්වැල්ල නිර්භිත පිතිහරඹයක නියැළෙමින් සුභදායී තත්ත්වයක් පෙන්නුම් නොකළ ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යෑමේ පෙරමුණ ගනු ලැබුවේ සිය 21 වැනි අර්ධ ශතකයට හිමිකම් කීයමිනි. කඩුලු ත්රිත්තවයක් අභිමුවදී පන්දුවට පහර දීමට පැමිණි කඩුලු රකින දකුණත් පිතිකරුවා තමන් සතු ස්වීප්, රිවර් ස්වීප්, ස්ලොග් ස්වීප් පහර එල්ල කරමින් මුහුණ 42 වැනි පන්දුවේදී අර්ධ ශතකය සපුරා ගත්තේය.
මොවුන් දෙදෙනාගේ සබඳතාව ප්‍රධාන කොට තේ පානය සඳහා තරගය නිමා කරන විට කඩුලු 6 කට ලකුණු 191 ක් දක්වා ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන යෑමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. ලයන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රැක කේරි අතට උඩ පන්දුවක් දී දික්වැල්ල දැවී යන විට පන්දු 59 කදී ලකුණු 58 ක් රැස් කරගෙන සිටියේය. ඔහුට අනගි සහසායක් ලබා දුන් මෙන්ඩිස් ලකුනු 22 ක් ලබා ගනිද්දී ඉන්මේ එකම හයේ පහර ලසිත් ඇඹුල්දෙණිය විසින් එල්ල කළේය.
ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 59 කදී සියලු දෙනා දැවී ලකුණු 212 යි – (නිරෝෂන් දික්වැල්ල 58, රමේෂ් මෙන්ඩිස් 22, පැතුම් නිස්සංක 23, දිමුත් කරුණාරත්න 28, ඇන්ජලෝ මැතිව්ස් 39, ධනංජය ද සිල්වා 14, නේදන් ලයන් 90/5, මිචෙල් ස්වෙප්සන් 55/3)