slc
logo
Home   |    News
ජූනි 28, 2022
සිංහ – කැන්ගරු ටෙස්ට් සටන හෙට ඇරඹෙයි  

sinhala editor

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රීකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 2 කින සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ‘වෝන් – මුරලි’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන මෙම ටෙස්ට් තරගය අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන ‌’ටෙස්ට් ලෝක ශූරතාවලියට ඇතුළත් තරගාවලියක් බැවින් දෙපිළටම මෙම තරගාවලියේ අවසානය ඉතා වැදගත් වනු ඇත.

බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමෙන් පසු ටෙස්ට් ලෝක ශූරතා ප්‍රසාද ලකුනු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හෙට මුණ ගැසෙන්නේ එම සටහනේ පෙරමුණේ පසුවන ඔස්ට්‍රේලියානු කණ්ඩායම වේ. ටෙස්ට් ‌ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් තවත් මාස 12 කට ආසන්න කාලයක් ඉතිරිව තිබෙන බැවින් මෙම තරගාවලිය ජය ගැනීමට හැකියාව ලැබුණහොත් එම සටහනේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇත.

දෙරට අවසන් වතාවට ශ්‍රී ලංකාවේදී මුණ ගැසුණු අවස්ථාවේදී තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. එම ජයග්‍රාහී මතකයත් සමඟ වර්තමානයේ කණ්ඩායම තුළ දැක ගත හැකි හදිසි පිබිදීම හේතුවෙන් හෙටින් ඇරඹෙන තරගාවලිය පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමද වැඩි බලාපොරොත්තු තබා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා පිල බොහෝ විට දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමඟින් අවතීර්ණවීමට වැඩි ඉඩ කඩක් පවතිනු ඇත. මෙරට තණතීරුවලදී දඟ පන්දුව හමුවේ ඔස්ට්‍රේලියානු පිතිකරුවන් මුහුණ දීමේදී දැඩි අසිරුතාවයකට පත්වීම සාමාන්‍ය තත්ත්වයක් බැවින්, එම උපාය හෙට තරගයේදීද යොදා ගැනීමට නියමිතව තිබේ.

“අපි තාම අවසන් 11 තීරණය කළා නෑ. නමුත් 12 ක් අපි නිවේදනය කරලා තියෙනවා. එතැනට දඟ පන්දු යවන්නන් තිදෙනකු සහ වේග පන්දු යවන්නන් දෙදෙනකු ඇතුළත් වෙලා ඉන්නවා. හෙට උදේට බලලා අපි තීරණය කරනවා. ගොඩක් වෙලාවට මම හිතනවා විකට් එක ගොඩක් වෙලාවට දඟ පන්දු යවන්නන් එක්ක වැඩිපුර යන්න වෙයි” යැයි තරගය පිළිබඳව දිමුත් කරුණාරත්න අදහස් දක්වා සිටියේය.

“ඔස්ට්‍රේලියානු කණ්ඩායම දිහා බැලුවහම ඔවුන් පසුගිය කාලේ ඉතා හොඳ දියුනුවක් ලබලා තියෙනවා. විශේෂයෙන්ම පාකිස්තානය සමඟ ක්‍රීඩා කරපු තරගාවලිය දිහා බැලුවහම” යැයි ඔස්ට්‍රෙලියානු පිලේ දක්ෂතා සම්බන්ධව තක්සේරුවක් ලබා දෙන ශ්‍රී ලංකා නායකයා, 2016 තරගාවලියත් 2022 තරගාවලියත් පිළිබඳව සිය පන්දු යවන්නන්ගේ දක්ෂතා ගැන සංසන්දනය කර සිටියේ මේ අයුරිනි. “2016 අපි දිනනකොට අපිට රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා හිටියා. දැන් කණ්ඩායම ගත්තොත් නවක දඟපන්දු යවන්නෝ තුන් දෙනෙක් ඉන්නේ. නමුත් අපි හරි දේ කළොත් මම හිතනවා අපිට ගොඩක් දුරට තරගාවලිය ජයග්‍රහණය කරන්න පුලුවන්” යැයි දිමුත් විශ්වාස මුඛයෙන් සඳහන් කර සිටියේය.

එක්දින තරගාවලිය තුළදී ජෙෆ්රි වැන්ඩර්සිගේ පන්දු හමුවේ ඔස්ට්‍රේලියානු පිතිකරුවන් කිසියම් පසුබෑමක් පෙන්නුම් කළ හෙයින් හෙට තරගයේ තේරීම් සදහා වැන්ඩර්සි පිළිබඳව අවධානය යොමු වීම පුදුමයක් නොවේ. එහෙත් වැන්ඩර්සි කණ්ඩායමට පැමිණීමේදී වමත් දඟපන්දු යවන්නන් දෙදෙනා වන ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රම දෙදෙනාගෙන් එක් අයකුට ස්ථාන අහිමිවනු ඇත. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අවසන් වරට ගාල්ලේ පැවැති තරගාවලියේදී රමේෂ් මෙන්ඩිස් ඉතා හොඳින් පන්දු යැවූ බැවින් ඔහු හෙට තරගයට ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩ කඩක් පවතිනු ඇත.

ෂේන් වෝන්ට අනුස්මරණය කරන්න විශේෂ උත්සවයක්

ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් දෙදෙනා බවට පත්ව සිටින මුත්තයියා මුරලිදරන් සහ එම සටහනේ දෙවැනියා බවට පත්ව සිටින්නේ ඔස්ට්‍රේලියාවේ ෂේන් වෝන් බැවින් ඔවුන්ට උපහාරයක් ලෙසින් මෙම තරගාවලිය ‘වෝන් – මුරලි’ කුසලාන වෙනුවෙන් පවත්වනු ඇත. මෙම වසර මැදදී ෂේන් වෝන් අභාවප්‍රාප්ත වීම නිසා ඔහු අනුස්මරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ උත්සවයක් සංවිධානය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ බලධාරීන් මෙන්ම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් හි ප්‍රධාන විධායක නිලධාරියා වන නික් හොක්ලි මහතාද ඒ වෙනුවෙන් හෙට උදෑසන ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණය වෙත පැමිණීමට නියමිතය.

2004 වසරේ ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයට මුහුණ දුන් අවස්ථාවේදී විනාශයට පත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම වෙනුවෙන් ෂේන් වෝන් පෞද්ගලිකව මැදිහත් වූවා පමණක් නොව සුනාමියෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්ද විශේෂ අරමුදල් රැස් කිරීමට‌ ෂේන් වෝන් සෘජුවම දායකත්වය දැක්වීය. එබැවින් දෙරට අතර පළමු ටෙස්ට් තරගයට පෙර ඔහුව අනුස්මරණය කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධි විධාන යොදා තිබේ.

ශ්‍රී ලංකා සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඔෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, ලසිත් ඇඹුල්දෙණිය, ජෙෆ්රි වැන්ඩර්සි, රමේෂ් මෙන්ඩිස්, කසුන් රාජිත, නිරෝෂන් දික්වැල්ල, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කාරුණාරත්න, ඩිල්ෂාන් මදුශංක, කමිඳු මෙන්ඩිස්.

ඔස්ට්‍රේලියානු සංචිතය – ඩේවිඩ් වෝනර්, උස්මාන් කවාජා, මානස් ලබුෂේන්, ස්ටීවන් ස්මිත්, කැමර්න් ග්‍රීන්, ග්ලෙන් මැක්ස්වෙල්, ඇලෙක්ස් කේරි, මිචෙල් ස්‌වෙප්සන්, පැට් කමින්ස් (නායක), නේතන් ලයන්, මිචෙල් ස්ටාර්ක්, ඇෂ්ටන් ඒගාර්, ස්කොට් බෝලන්ඩ්, ජොෂ් හෙසල්වුඩ්, ට්‍රෙවීස් හෙඩ්, ජොෂ් ඉංග්ලිස්, මිචෙල් මාෂ්.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar