slc
logo
Home   |    News
ජූලි 8, 2022
දෙවැනි ටෙස්ට් තරගයේදීත් දඟ පන්දුව ගැන විශ්වාසය

sinhala editor

By Chamila Karawita

පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවේ සැලසුම වූයේ දඟ පන්දු යවන්නන් මත විශ්වාසය තබමින් ජයග්‍රහණය කරා යෑමට වුවත් ඒ සැලසුම ව්‍යර්ථ විය. අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 10 ක පරාජයක් ඔස්ට්‍රේලියානුවන් හමුවේ අත්විඳීමට සිදුවිය. කෙසේ වෙතත් හෙට (08 දා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම වී ඇත්තේ දඟ පන්දු යවන්නන් කෙරෙහි විශ්වාසය තබමින් තරග වැදීමය.

මේ පිළිබඳව අදහස් දැක්වීමේදී ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේ පිතිකරුවන් අසාර්ථක වූ නමුත් දඟ පන්දුව කෙරෙහි තවදුරටත් විශ්වාසය තබන බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මෙහිදී මුහුණ දෙන බරපතලම ගැටලුව වන්නේ සිය ප්‍රධානතම දඟ පන්දු යවන්නන් දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන තේරීම් වලට අහිමිවීමයි. ඒ අඩුව පුරවාලීම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ, ප්‍රභාත් ජයසූරිය, ලක්ෂාන් සඳකැන් සහ දුනිත් වෙල්ලාගේ කැඳවා තිබේ. මේ අතරින් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇති එකම පන්දු යවන්නා බවට පත්ව සිටින්නේ ලක්ෂාන් සදකැන් පමණි. කෙසේ වෙතත් මේ සියල්ලෝම අවසන් වරට රතු පන්දුවෙන් වූ තරගාවලියකට ක්‍රීඩා කරන ලද්දේ මීට මාස 3 කට පමණ ඉහත පැවැති නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේදී වේ. එම තරගාවලියෙන් පසු ගෙවී ගිය මාස කීපයේදීම සුදු පන්දුවෙන් වූ තරග සදහා පමණක් මොවුන් ක්‍රීඩා කර ඇති හෙයින් එයට හුරුවීමද අභියෝගයක් බවට පත්ව තිබේ.

පළමු ටෙස්ට් තරගයේදී කඩුල්ලක් දවා ගැනීමට අසමත් ලසිත් ඇඹුල්දෙණියව සංචිතයෙන් නිදහස් කර යවද්දී අනෙක් දඟ පන්දු යවන්නා වන ප්‍රවීන් ජයවික්‍රමද කොවිඩ් ආසාධනය වීම නිසා කණ්ඩායමෙන් ඉවත් කර තිබේ. ඒ අතරම ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සි මෙන්ම පළවු තරගයට ක්‍රීඩා කරන ලද අසිත ප්‍රනාන්දුද ඒ අතර වෙති.

“මේ වගේ උණාම හරි අමාරුවකට පත් වෙනවා. තරගයකට අපි සාමානයයෙන් සූදානම් වෙන්නේ දවස් දෙකකට විතර කළින. ඒත් අන්තිම මොහොතෙද් මේ වගේ දේවල් වුණාම අපට 11 දෙනා තෝරා ගැනීම සෑහෙන්න ප්‍රශ්නයක් වෙනවා” යැයි තමා මුහුණ දී සිටි අසීරුතාව පිළිබඳව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සදහන් කර සිටියේය.

ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට නොහැකිවීම බලපා ඇති දැවැන්තම ගැටලුව වේ. එහෙත් දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට එකතු කර ගැනීමේදී පන්දු යවන්නකුට අමතරව පිතිකරුවකුගේ වගකීමද ඉටු කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවේ. එහෙත් නැෂනල් සුපර්ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් දක්ෂතම ක්‍රීඩකයා හිමි සම්මානය දිනාගත් කමිදු මෙන්ඩිස්ද තරගාවලි කීපයක් තිස්සේ සිය ස්ථානය සොයමින් සිටින බව තේරීම් කමිටුව අමතක නොකළ යුතු වේ.

ඒ සමඟම කාලාන්තරයෙක් තිස්සේ වමත් දඟ පන්දු යවන්නකු ලෙස හොදින් දක්ෂතා අතර සිටි ප්‍රභාත් ජයසූරියද සංචිතයට එක්ව සිටි. දැනට කණ්ඩායමට එක් කර තිබෙන ක්‍රීඩකයින් අතර වැඩිම දේශීය තරග අත්දැකීමක් ඇති පන්දු යවන්නා වෙන්නේ ද ජයසූරියයි. ‌ඔහුද නිමාවට පත් වුණු නැෂනල් සුපර් ලීග් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් පිදුම් ලද අතර ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කිරීමට පෙර දිනයේදීද දේශීය සීමිත පන්දුවාර තරගාවලියේදී ලකුණු 17 කට කඩුලු 7 ක් දවා ගැනීමට සමත්වූවේය.

“අපිට දඟ පන්දු යවන්නන් කීප දෙනෙක්ම සිටිනවා. ධනංජය නැති නිසා අපිට මහීෂ් තීක්ෂණත් යොදා ගන්න පුලුවන්. ජයසූරියත් ඇන්ටිජන්ට් පරීක්ෂණයෙන් සමත් වුණොත් තරගයට යොදා ගැනීමේ හැකියාව තියෙනවා” යැයි ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා සංචිතය – දිමුත් කරුනාරත්න (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඔෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, කසුන් රාජිත, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, දුනිත් වෙල්ලාලගේ, කමිදු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු, ලක්ෂාන් සදකැන්, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මදුශංක, මහීෂ් තීක්ෂණ, ලක්ෂිත මානසිංහ.

ඔස්ට්‍රේලියානු සංචිතය – ඩේවිඩ් වෝනර්, උස්මාන් කවාජා, මානස් ලබුෂේන්, ස්ටීවන් ස්මිත්, කැමරන් ග්‍රීන්, ඇලෙක්ස් කේරි, ග්ලෙන් මැක්ස්වෙල්, පැට් කමින්ස් (නායක), මිචෙල් ස්වෙප්සන්, නේතන් ලයන්, මිචෙල් ස්ටාක්, ස්කොට් බෝලන්ඩ්, ජොෂ් හෙසල්වුඩ්, ට්‍රෙවිස් හෙඩ්, ජොෂ් ඉංග්ලිෂ්, මිචෙල් මාෂ්, සහ ජොනත් හෝලන්ඩ්.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest