slc
logo
Home   |    News
ජූලි 23, 2022
දෛවෝපගත තරගයකදී ‘ටෙස්ට් ශතකය’ සපුරන ‘ඇන්ජලෝ මැතිව්ස්’

sinhala editor

By Chamila Karawita

ඒ 2009 වසරය. දිනය හරියටම ජූලි 04 වැනිදාය. පාකිස්තානු පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ටෙස්ට් තරගය සුවිශේෂී වූයේ කරුණු කීපයක්ම ඒ සඳහා මුල් වූ බැවිනි. ශ්‍රී ලංකාව සතු ප්‍රධානම දඟ පන්දු යවන්නා වුණු මුත්තයියා මුරලිදරන් ආබාධයකට මුහුණ දීම නිසා හදිසියේම කණ්ඩායමට කැඳවන ලද රංගන හේරත්, පැය 20 කට ආසන්න ගුවන් ගමනකින් පසු කෙළින්ම ගාල්ල ජාත්‍යන්තර පිටියට පිවිස, එම ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම ඉන් ප්‍රධාන විය. ටෙස්ට් පිටියට සමු දී සිටි පාකිස්තානු කණ්ඩායම නියෝජනය කළ සුපිරි පිතිකරුවකු වූ මොහොමඩ් යුසුෆ් (එවකට යුසුෆ් යොහානා) දෙවැනි වතාවටත් ටෙස්ට් වරම් දිනාගත් තරගය බවට මෙම තරගය පත්වීම අනෙක් කරුණයි. ඊටත් අමතරව පාකිස්තානු පිල වෙනුවෙන් මොහොමඩ් අමීර්, මොහොමඩ් රාවුෆ් මෙන්ම සයිඩ් අජ්මාල් මංගල ‌ටෙස්ට් වරම් ලබද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් නම් තරුණයා ටෙස්ට් හිස් වැස්ම පැළඳීම, එම ටෙස්ට් තරගය තුළ වූ සෙසු ප්‍රධාන කරුණු වූහ.

විශ්වාසවන්තම පන්දු යවන්නා රහිතව සිව්වැනි ඉනිමේදී ලකුණු 168 ක ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කර ගැනීම ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් වන බව කල් තියාම පෙන්නුම් කරන ලද්දේ තරගයේ තෙවැනි දිනය අවසන් වන විටත් පාකිස්තානු පිල කඩුලු 2 කට ලකුනු 71 ක් වශයෙන් අවසන් කර තිබූ හෙයිනි. එහෙත් සිව්වැනි උදෑසන එය වෙනත්ම පිටුවකට රංගන හේරත් රැගෙන ගියේ පාකිස්තානු දෙවැනි ඉනිම ලකුණු 117 කට සීමා කරමින් ශ්‍රී ලංකාව ලකුනු 50 ක ජයක් කරා රැගෙන යමිනි.

එම තරගය පැවැත්වී වසර 13 කාලයකින් පසු ශ්‍රී ලංකාව යළිත් හෙට (24 දා) ගාලේදී පාකිස්තානය හමුවේ. ඒ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමටය. එදා පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ මංගල ටෙස්ට් තරගයේදීම තම ටෙස්ට් දිවියට ජයග්‍රාහී ප්‍රවේශයක් එක්කරගත් ඇන්ජලෝ මැතිව්ස්ට  ඒ හා සමානවූ විශේෂත්වයක් ගෙන දෙන තරගයක් බවට හෙට තරගය පත්ව තිබේ. ඒ සිය ටෙස්ට් තරග දිවියේ ‘100 වැනි ටෙස්ට් තරගය’ හෙට තරගය බවට පත්ව තිබෙන බැවිනි.  

යන්තමින් අවුරුදු 22 ක් ලබා සිටියදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් හිස් වැස්ම දිනාගැනීමට සමත් වූ මේ අසහාය තුන් ඉරියව් ක්‍රීඩකයා වසර 13 කට පසු පාකිස්තානයට එරෙහිවම සිය ටෙස්ට් ශතකය සම්පූර්ණ කිරීම විශේෂත්වයක් ලෙසින් සඳහන් කළ හැක. ඒකද මංගල ටෙස්ට් වරම් දිනාගත් ගාල්ලේදී වීම දෛවෝපගතය.

එදා සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ලද අප කථා නායකයා ශ්‍රී ලංකාව වෙනුවෙන් අද්විතීය ජයග්‍රහණය රැසකට දායකත්වය දැක්වීමට සමත් වී සිටියි. ඉන් ප්‍රධානම ඉනිමක් ලෙස සැලකිය හැක්කේ 2014 වසරේදී හෙඩිංග්ලිහි රැස් කරන ලද ලකුණු 160 ය. ශ්‍රී ලංකා කණ්ඩායමක් මීට ඉහත එංගලන්තයට එරෙහිව එංගලන්තයේ ටෙස්ට් තරග ජයක් ලබා සිටියත් (1999 වසරේදී) තරගාවලි ජයක් ලබා ගත්තේ මැතිව්ස් එදා රැස් කරන ලද එම සුවිශේෂී ඉනිමත් ප්‍රධාන කොටය. එම වටිනා ඉනිම ඔහුට එම තරගයේ වීරයා සම්මානය පමණක් නොව තරගාවලියේ වීරයා සම්මානය පවා පිදුම් ලැබීය.

ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ ඉකුත් මැයි මසදී පැවැති ටෙස්ට් තරගයේදීත් බංග්ලාදේශ පිලට දැඩි හිසරදයක් ගෙන දුන් පිතිකරුවා වූයේ ඇන්ජලෝ මැතිව්ස්වය. ඒ චැටෝග්‍රෑම්හි පැවැති ටෙස්ට් තරගයේදී ලකුණු 199 ක් ලබා ගැනීම නිසාය. මැතිව්ස් මීට පෙර ද්විත්ව ශතකයක් ලබා ඇතත් (2020 වසරේදී සිම්බාබ්වේට එරෙහිව හරාරේහිදී) එදා ඔහුට ද්විත්ව ශතකය ලකුණකින් අහිමිවිය. ද්විත්ව ශතකය ලබා ගැනීමට තරම් මැතිව්ස් වාසනාවන්ත නොවුණත් එම දැවී යෑමද මැතිව්ස්ගේ නම ඉදිරියෙන් වාර්තාවක් නිර්මාණය වූයේ වසර 145 ක ටෙස්ට් තරග ඉතිහාසයේ ලකුණු 99 කට සහ ලකුණු 199 කට දැවී ගිය ලොව පළමු පිතිකරුවාගේ වාර්තාව තම නම ඉදිරියේ ලියා ගනිමිනි. (මැතිව්ස් ඊට පෙර 2009 වසරේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 99 කට දැවී ගොස් තිබේ)

බංග්ලාදේශයට එරෙහි පැවැති පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුවත් මීර්පූර්හි පැවැති ටෙස්ට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. එම තරගයේදීත් මැතිව්ස්ගේ පිත්ත පිළිතුරු ලබා දුන්නේ නොදැවී ලකුණු 145 ක් වාර්තා කරමිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 99 කට ක්‍රීඩා කර ඇති මැතිවිස් ලකුණු 6876 ක් ලබා සිටියි. එහි ඉනිමක සාමාන්‍ය 45.23 කි. ටෙස්ට් ශතක 13 ක් සහ අර්ධ ශතක 38 ක් මැතිව්ස්ගේ නම ඉදිරියෙන් සටහන්ව තිබේ.

ඇන්ජලෝ මැතිව්ස්ගේ මුල්ම ක්‍රිකට් පුහුණුකරුවා වන්නේ ටිරෝන් මැතිව්ස් මහතාය.  තවත් විදියකින් නම් ඒ මැතිව්ස්ගේම පියාණන්ය. ඔහුගේ ගුරුහරුකම් මැද ක්‍රිකට් ක්‍රීඩාවේ ‘අ’ යන්න කියවන මැතිව්ස්, මරදාන ශාන්ත ජෝෂප් විදුහලට අවතීර්ණවීමෙන් පසු කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයකු වීමේ‌‌ පෙර නිමිති පහළ කරන ලද්දේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට වයස අවුරුදු 16 ක් තරම් වයසේදී ක්‍රීඩා කිරීම සදහා සුදුසුකම් ලැබීම හරහාය. යොවුන් ලෝක කුසලාන තරගාවලි 2 කට ක්‍රීඩා කිරීමට වරම් ලබන මැතිව්ස් 2006 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේද ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකයා ලෙසින්ද කටයුතු කරන්නේය.

මැතිව්ස්, කෙතරම් දක්ෂයකු වූවේයද කිවහොත් ශ්‍රී ලංකා පිලේ පතාකයින් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සිටියදීම, සෑම අංශයකම ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙසින් කටයුතු කළේය. 2013 දී ශ්‍රී ලංකා පිලේ නායකත්වයට පත් අප කථා නායකයා මෙතෙක් ශ්‍රී ලංකා පිළ මෙයෙවීමට වරම් ලද ළාබාලතම නායකයාගේ වාර්තාවට අදටත් හිමිකම් කියා සිටියි. මහේල ජයවර්ධනගෙන් පසුව නායකත්වයේ සුක්ඛානම අතට ගත් මැතිව්ස්, 2015 වසරේදී පැවැති පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව මෙහෙයවූවේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 34 කදී නායකත්වය හොබවා සිටින මැතිව්ස් ඉන් තරග 13 කදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගොස් තීබේ. ඉන් ප්‍රධානම ජයග්‍රහණයක් වූයේ ඔස්ට්‍රේලියානුවන්ව පළමු වතාවට 3-0 ක් ලෙසින් පූර්ණ තරගාවලි පරාජයකට ලක් කිරීමට සමත්වීම විය. ඔස්ට්‍රේලියානුවන් සමස්ථ ආසියාවේදීම පළමු වතාවට පරාජය වීම සනිටුහන් වූයේ 2016 වසරේ පැවැති එම තරගාවලි පරාජය විය.

ශ්‍රී ලංකා පිලේ නායකත්වයට පත්ව වසරක් පමණ කාලයක් ගත වීමෙන් පසු මැතිව්ස් නායකත්වයට සුදුසු බව පෙන්නුම් කරන ලද්දේ ඔහු මෙහෙයවන ලද එක්දින තරග 32 න් 20 ක්ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යමිනි. එම ජයග්‍රහණ අතරට 2014 වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාවද අයත් විණ. මෙම ජයග්‍රහණ රැල්ල හේතුවෙන් 2014 වසරෙදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද වසරේ ලෝක ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙසින්ද මැතිව්ස් නම් කෙරිණ.

මැතිව්ස්ගේ පළමු ලෝක කුසලාන තරගාවලිය වන්නේ එංගලන්තයේ පැවැති දෙවැනි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය විය. එම තරගාවලියේ ශ්‍රී ලංකාව පාකිස්තානය හමුවේ පරාජයට පත්වීම නිසා අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදු වුවත් මැතිව්ස් යනු කෙතරම් භයානකයෙක්ද යන්න වූ මතක ඉතිරි කරලීමට අප කතා නායකයා සමත්වූවේය. එම තරගාවලිය යටතේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරගයේදී පන්දු රකිමින් සිටින අතරතුරදී මැතිව්ස් දක්වන ලද ඇදහිය නොහැකි පන්දු රැකීම ඉන් ප්‍රධාන විය. එම පන්දු රැකීම කෙතරම් වික්ෂිප්තත්වයක් ගෙන දුන්නේද කිවහොත් ක්‍රිකට් නීති පොත පවා එම තරගයෙන් පසු සංශෝධනය කිරීමට ක්‍රිකට් නීති සම්පාදනය කරන්නන් වන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයට (එම්.සී.සී.) සිදුවිය. එනම් උඩ පන්දුවක් රැක ගත හැක්කේ පන්දු රකින්නකුගේ පළමු ප්‍රයත්නය හතරේ සීමාව ඇතුළතදී සිදුවිය යුතුය යන්නය.

දෙවැනි අවස්ථාවද බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිවමය. එහෙත් ඒ අවසන් පූර්ව තරගයේදීය. හදිසියේම පන්දුව අතට ගත් දකුණත් මඳ වේග පන්දු යවන්නා ආරම්භක පන්දු යවන්නා වූවේය. තම පළමු පන්දු 6 ඔහු අවසන් කළේ ලකුණු 01 කට කඩුලු 3 ක් ලෙසිනි. ක්ෂේවියර් මාර්ෂල්, ලෙන්ඩ්ල් සීමන්ස් සහ ඩ්වයින් බ්‍රාවෝ මැතිව්ස්ගේ දෝලනය හමුවේ ලකුණු නොලබා දැවී ගිය පිතිකරුවෝ වූහ.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ අසහාය පිතිකරුවකු වන කුමාර් සංගක්කාරට සිය ක්‍රිකට් දිවියේ සමුගැන්මට පෙර සැබෑ කර ගැනීමට අරමුණු දෙකක් වීය. ඉන් එකක් ඔස්ට්‍රේලියාවට එරෙහිව, ඔවුන්ගේ නිජබිමේදී එක්දින තරගාවලි ජයග්‍රහණයක් අත්කර ගැනීමය. සිය හිටපු නායකයාගේ බලාපොරොත්තුව සඵල කර දීමට මැතිව්ස් සමත්වූවේය ලසිත් මාලිංග සමඟ එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලෝක වාර්තාගත ලකුණු සම්බන්ධතාවයක් පවත්වමිනි. ‘මෙල්බර්න් පුදුමය’ ලෙසින් අදටත් ක්‍රිකට් ලොව සැලකෙන්නේ එදා, 2010/11 වසරේදී මැතිව්ස් සහ ලසිත් මාලිංග 9 වැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද වාර්තා ගත ලකුණු 132 ක සම්බන්ධතාවත් සමග වාර්තා කරන ලද තරග ජයග්‍රහණය වේ. එක් කඩුල්ලක තියුණු ජයක් ලෙසින් එම තරගයේ ජය ශ්‍රී ලංකාව වාර්තා කරන විට මැතිව්ස් නොදැවී ලකුණු 77 ක් ලබා සිටියේය. ඔහුට අනගි සහායක් ලබා දුන් ලසිත් මාලිංග, එක්දින ක්‍රිකට් දිවියේ එකම සහ අවසාන අර්ධ ශතකය එදා වාර්තා කිරීමට සමත්වූවේය.

දිගින් දිගටම ආබාධවලට ගොදුරුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ හෙයින් වෛද්‍ය මතය වූයේ පන්දු යැවීමෙන් හැකිතාක් දුරට වැළකී සිටින ලෙසයි. එහෙත් ඒ වන විටත් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින කඩුලු 100 ක් සහ එක්දින ලකුණු 3000 සීමාව ඉක්මවාලීමට සමත් සිව්වැනි ක්‍රීඩකයා බවට පත්ව සිටියේය. සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා සහ ටී. එම්. ඩිල්ෂාන් යන ක්‍රීඩකයින් මැත්ව්ස්ට පෙර එම සීමා ඉක්මවා ලූ ක්‍රීඩකයෝ වූහ.

මැතිව්ස් තවමත් 35 වැනි වියේය. ‘වයස යනු ඉලක්කමක් පමණකැයි’ විශ්වාසය තබා සිටින මැතිව්ස් තම ශක්තිමත් භාවය රැක ගැනීම සඳහා ඔහු නිරන්තරයෙන්ම උනන්දු වන්නේය. ඔහුට විවේකයක් නැත. කොවිඩ් සමයේදීද ඔහු වඩාත් කාර්යය බහුල වූයේ සිය ශාරීරික යෝග්‍යතාවයට මුල් තැන ලබා දීම සඳහා වැඩි කාලයක් වෙන් කර දීම නිසාය. “අවුරුදු 40 ද සිටින ජේම්ස් ඇන්ඩර්සන් තවමත් වේග පන්දු යවන්නකු ලෙස දක්වන ලබන දක්ෂතාවය මාව තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදවීමට මා හේතුවක් කරගෙන තියෙනවා” යැයි පවසන මැතිව්ස් ශාරීරික යෝග්‍යතාව මත යමින් තවත් වසර කීපයක් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කර සිටියි.

ඕනෑම ක්‍රීඩකයෙකුට පෞද්ගලික ඉලක්ක තිබෙනවා සේම මැතිව්ස්ටද එය එකසේ පොදු කරුණකි. ටෙස්ට් ලකුණු 10,000 සීමාව ඉක්මවාලීම මැතිව්ස්ගේ ඉලක්ක අතර ඉදිරියෙන්ම තිබෙන අභියෝගය වේ. “ටෙස්ට් ලකුණු 10,000 ක් ලබා ගැනීමට ලැබුණොත් එය ගොඩක් සතුටට කරුණක් වෙනවා” යැයි දැනට තමන් සතු එකම අරමුණ ගැන මැතිව්ස් අදහස් දක්වා සිටියේය. “මෙය ගොඩක් දෙනෙක්ට ලැබී නැති අවස්ථාවක්. එය මට ලබා ගත යුතු දෙයක්” හෙතෙම සෙනසුරාදා පසුවරුවේදී මාධ්‍යවේදීන් හමුවේ සදහන් කර සිටියේය.

මැතිව්ස්ගේ අරමුණ කරා යෑමට ඔහුට තවත් ලකුණු 3124 ක් රැස් කර ගත යුතු වේ. ඔහු දැනටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 6876 ක් ලබා ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභී පිතිකරුවන්ගේ ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ පසුවන්නේය. කුමාර් සංගක්කාර (12,400), මහේල ජයවර්ධන (11,814), සහ සනත් ජයසූරිය (6973) මැතිව්ස්ට ඉදිරියෙන් සිටින පිතිකරුවෝ වෙති.

හෙටින් ඇරඹෙන දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට අතශාවශ්‍යම කරුණක් බවට පත්ව සිටින්නේ පාකිස්තානුවන් දැනටමත් ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත්වීම නිසාය. ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමත් සමග ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණෙන ශ්‍රී ලංකාව පාකිස්තානය හමුවේ ලද පරාජයත් සමග මේ වන විට එහි 6 වැනි ස්ථානය දක්වා පහළ බැස සිටියි.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar