slc
Home   |    News
ජූලි 16, 2022
පාකිස්තානුවෝ පිතිකරුවන් ග්‍රහණයට ගනිති

sinhala editor

ලකුණු 08 ක් ඇතුළත ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනකු දවා ගැනීමට පාකිස්තානු පන්දු යවන්නන් සමත්වීම නිසා ගාල්ලේදී අද (16 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේ මුල් සැසියේ පූර්ණ වාසිවාසිය සංචාරකයින් සතු විය. ගාල්ල තණතීරුව පළමුව පන්දුවට පහර දීමේදී වැඩි වාසියක් ලබා දෙන බව සාමාන්‍ය තත්ත්වය වුවත්, තරගය මුලුමනින්ම කණ පිට හරවා ගත් යසීර් ෂා ප්‍රමුඛ පාකිස්තානු පන්දු යවන්නෝ දිවා විවේකය සදහා නතර කරන විට ශ්‍රී ලංකා පිලේ කඩුලු 4 ක් ලකුණු 80 ක් ඇතුළත දවා ගැනීමට සමත්වී සිටියහ.

දිමුත් කරුණාරත්න වේලාසනම දැවී ගියත් දෙවැනි කඩුල්ලට එක්වූ ඕෂධ ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව ගොඩ ගැනීමේ කාර්යයෙහි නිරත වූහ. එහෙත් මුලු ලකුණු සංඛ්‍යාව 60 දී කුසල් මෙන්ඩිස් දවා ගැනීමට යසීර් ෂා සමත්වීමත් සමඟ සියල්ල කණ පිට හැරිණ. ලකුණු 49 ක දෙවැනි කඩුල්ලේ සබඳතාවද බිද වැටෙමින් මෙන්ඩිස් දැවී යෑමත් දිවා විවේකයට තරගය නතර කිරීමට සදහා ගතවූ මිනිත්තු කීපයේදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 80 කට කඩුලු 4 ක් ලෙසින් සටහන් විය.

මාස 11 කට පසු පාකිස්තානු ටෙස්ට් පිලට කැදවීම් ලැබුණු යසීර් ෂා, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගනිමින් ප්‍රධානම හානිය කරන ලද පන්දු යවන්නා බවට පත්වූවේය.

විටින් විට කණ්ඩායමටත්, එළියටත් විසිවුණු ඕෂධ ප්‍රනාන්දුට කණ්ඩායම තුළ ස්ථාවරත්වය තහවුරු කර ගැනීම සඳහා අද දිනයේ හොද අවස්ථාවක් නිර්මාණය වී තිබුණි. එහෙත් කඩුල්ලට ඈතින් ඇදී ගිය පන්දුවට පිත්ත පමණක් හුවා දැක්වීම නිසා, ඔහු කඩුල්ල අහිමි කර ගත්තේ ලකුණු 35 ක් ලබා සිටියදීය. පන්දු 49 ක් පුරා විහිදුණු ඕෂධගේ ඉනිම හතරේ පහර 5 කින් වර්ණවත් විය.

ඔස්ට්‍රේලියානු තරග සංචරයේ පැවැති ටෙස්ට් තරග 2 ට ඔ්ෂධ ඇතුළත් නොවුණත් පළමු තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් සහ දෙවැනි තරගයේදී පැතුම් නිස්සංකට කොවිඩ් ආසාධනය වීම නිසා පන්දුවට පහර දීම සදහා ආදේශක ක්‍රීඩකයා බවට ඕෂධ පත්විය. එහෙත් ඔහුට පළමු ටෙස්ට් තරගයේදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 12 ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 08 ක් ලබා කඩුල්ලේ රැඳී සිටිති.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 25 කදී කඩුලු 4 ට ලකුණු 80 යි – (ඕෂධ ප්‍රනාන්දු 35, දිමුත් කරුණාරත්න 01, කුසල් මෙන්ඩිස් 21, ඇන්ජලෝ මැතිව්ස් 00, දිනේෂ් චන්දිමාල් 12*, ධනංජය ද සිල්වා 08*, යසීර් ෂා 26/2, හසන් අලී 15/1, ෂහීන් අෆ්‌රිඩි 28/1)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest